Skip to content

යොවුන් සිතේ ගැටලු

ටැටූ එකක් කොටාගත්තාට කමක් නැද්ද?

ටැටූ එකක් කොටාගත්තාට කමක් නැද්ද?

 හුඟක් අය ඒකට ආස ඇයි?

 “සමහර ටැටූස් හරිම කලාත්මකයි” කියලා යෞවනයෙක් වන රයන් කියනවා.

 ටැටූ එකක් කොටාගන්න ඒ කියන්නේ පච්චයක් කොටාගන්න කෙනෙක් පෙලඹෙන්නේ ඒ ගැන එයාට හැඟෙන විදිහ අනුවයි. උදාහරණයකට ජිලියන් කියන යෞවනිය මෙහෙම කියනවා. “මං පුංචි කාලේ මාත් එක්ක ඉස්කෝලේ ගිය ළමයෙක්ගේ අම්මා මැරුණා. එයා යෞවන වයසට ආවාම එයාගේ අම්මාගේ නම එයාගේ බෙල්ලේ කොටාගත්තා. ඒ වගේ ටැටූ එකක් නම් හරිම ෂෝක් කියලයි මට හිතෙන්නේ.”

 ඔයා ටැටූ එකක් ගහගන්න තීරණය කරන්නේ මොන හේතුව නිසා වුණත් කවදාවත් මකන්න බැරි ටැටූ එකක් ඔයාගේ ඇඟේ කොටාගන්න කලින් ඔයා ඒ ගැන හුඟක් හිතන්න ඕනේ. මොන වගේදේවල් ගැනද හිතන්න ඕනේ? හරි තීරණයක් ගන්න ඔයාට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

 මොන වගේ දේවල් ගැනද හිතන්න ඕනේ?

 ශරීරයට හානි වෙනවාද? ඒ ගැන එක වෙබ් අඩවියක මෙහෙම කියනවා. “ටැටූ එකක් කොටද්දී හම තුවාල වෙන නිසා විෂබීජ ඇතුල් වෙලා ලොකු තුවාලයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක වටේ ඉදිමෙනවා. එහෙම නැත්නම් එතන තියෙන පටක වැඩිලා හම ඉස්සිලා පේනවා. ඒ විතරක් නෙවෙයි, ටැටූ ගහන්න පාවිච්චි කරන උපකරණ නිසා ලේවලින් බෝවෙන ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන්.”—Mayo Clinic.

 අනිත් අය ඔයා ගැන මොනවා හිතයිද? ඔයාගේ පෙනුමෙන් ඔයා මොන වගේ කෙනෙක්ද කියලා අනිත් අය තේරුම්ගන්නවා. ඔයා වැඩ කරන්නේ වැඩිහිටියෙක් වගේද, පුංචි ළමයෙක් වගේද, ඔයා විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක්ද, වගකීමක් භාර දෙන්න බැරි කෙනෙක්ද කියලත් ඔයාගේ පෙනුමෙන් අනිත් අය තේරුම්ගන්නවා. “ටැටූ එකක් ගහගෙන ඉන්න කෙනෙක්ව දැක්කාම මට හිතෙන්නේ එයා මත්පැන් බොන, පාටිවලට ආස කෙනෙක් කියලයි” කියලා යෞවනියක් වන සමැන්තා කියනවා.

 වයස 18ක් වන මෙලනි ඒක දකින්නේ වෙන පැත්තකින්. “ටැටූ එකක් නිසා කෙනෙක්ගේ නියම ලස්සන නැති වෙනවා කියලයි මට නං හිතෙන්නේ. තමන් ඇත්තටමමොන වගේ කෙනෙක්ද කියලා පෙන්නන්න අකමැති අය තමයි ටැටූ ගහගන්නේ.”

 හැමදාමත් ඔයා ඒකට කැමති වෙයිද? කාලයක් යනකොට ඔයා මහත් වෙද්දී, වයසට යද්දී හම ඇදෙන නිසා ඒ ටැටූ එක කැත වෙන්න පුළුවන්. “අවුරුදු ගාණකට කලින් ටැටූස් ගහගත්ත අයව මං දැකලා තියෙනවා. දැන්නං ඒ ටැටූස් දිහා බලන්නවත් හිතෙන්නේ නැහැ” කියලා යෞවනයෙක් වන ජෝසෙෆ් කියනවා.

 “ටැටූ මෝස්තර ඉක්මනින්ම යල් පනිනවා. මුලින් හුඟක් වටිනවා කියලා හිතුණත් කාලයක් යද්දී ඒකේ කිසි වටිනාකමක් නැහැ කියලා හැඟෙන්න පුළුවන්” කියලා අවුරුදු 21ක් වයස ඇලන් කියනවා.

 එයා කියපු දේ හරි. සාමාන්‍යයෙන් ඕන කෙනෙක් වයසින් මුහුකුරා යද්දී එයා හිතන විදිහ, ආස කරන දේවල් වෙනස් වෙනවා. ඒත් තරුණ කාලේ ආසාවට කොටාගත්ත ටැටූ එක නම් ආයෙත් මකන්න බැහැ. “තරුණ කාලේ තියෙන පිස්සුවට ටැටූ ගහගෙන පස්සේ ඒ ගැන හිත හිත පසුතැවෙන්න මට කිසිම උවමනාවක් නැහැ” කියලා තරීසා කියන යෞවනිය කියනවා.

 අදාළ වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

 අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් තීරණයක් ගන්න කලින් හැම දේම කිරලා මැනලා බලන්න හොඳට කාලය ගන්නවා. (හිතෝපදේශ 21:5; හෙබ්‍රෙව් 5:14) ඒ නිසා ටැටූ එකක් ගහගන්න කලින් මේ බයිබල් ප්‍රතිපත්ති ගැන හොඳට හිතලා බලන්න.

  •  කොලොස්සි 3:20: “දරුවෙනි, සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. මන්ද එසේ කිරීමෙන් ස්වාමීන් සතුටු වෙයි.”

      ඔයා තාමත් ඉන්නේ දෙමාපියන් එක්ක නම් එයාලා කියන දේ ඔයා ඇහුවේ නැත්නම් මොනවා වෙන්න පුළුවන්ද?

  •  1 පේතෘස් 3:3, 4: “ඔබේ බාහිර අලංකාරයට එනම්, කොණ්ඩය ගෙතීමට, රන් ආභරණවලින් සහ වටිනා ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටීමට මුල් තැන නොදෙන්න. ඒ වෙනුවට ඔබේ හදවත එනම්, ඔබේ ඇතුළාන්තය අලංකාරවත් කරගන්න. කිසිදා දිරා නොයන තැන්පත් මෘදු ස්වභාවයකින් සැරසී සිටින්න.”

      “ඇතුළාන්තය අලංකාරවත් කරගන්න” එක ගැන බයිබලයේ ඒ තරම් කාවද්දලා තියෙන්නේ ඇයි?

  •  1 තිමෝති 2:9: ‘ස්ත්‍රීන් තුළ විනීතකමද හොඳ සිහිකල්පනාවකින් ක්‍රියා කරන ආකාරයද පිළිබිඹු විය යුතුයි.’

      “විනීතකම” කියන්නේ මොකක්ද? ටැටූ එකක් කොටාගන්නවාට වඩා විනීතකම අනිත් අයගේ සිත්ගන්නවා කියන්නේ ඇයි?

  •  රෝම 12:1: ‘ඔබේ ශරීර ජීවමාන, ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කරන්න. ඔබ එසේ කළොත් බුද්ධිමත් ලෙස දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න ඔබට හැකි වනු ඇත.’

      ඔයා ඔයාගේ ශරීරයට සලකන විදිහ ගැන දෙවියන් සැලකිලිමත් වෙන්නේ ඇයි?

 ඒ කාරණා ගැන හොඳට හිතුවාට පස්සේ ටැටූ ගහගන්නේ නැතුව ඉන්න හුඟක් අය තීරණය කරලා තියෙනවා. ටැටූ එකකට වඩා ඇත්තටම වටින දෙයක් එයාලා හොයාගෙන තියෙනවා. කලින් සඳහන් කරපු තරීසා ඒ ගැන කිව්වේ මෙහෙමයි. “ඔයාට හුඟක් වටින කෙනෙක් ගැන ටැටූ එකක් ගහගන්නවාට වඩා ඔයාට එයාව කොච්චර වටිනවාද කියලා කියන්න. ඔයා ආස කරන කියමනක් ගැන ටැටූ එකක් ගහගන්නවාට වඩා ඒ කියමනට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඔයා විශ්වාස කරන දේ ටැටූ එකකින් ප්‍රදර්ශනය කරනවාට වඩා ඔයා ජීවත් වෙන විදිහෙන් ඒක පෙන්වන්න.”