හිතෝපදේශ 21:1-31

21  රජෙකුගේ සිත යෙහෝවා දෙවිගේ අතේ තිබෙන දිය පහරක් මෙනි.+ ඔහු කැමති කැමති අතට එය හරවන්නේය.+  මිනිසෙකුට තමාගේ සියලු ක්‍රියා හරියයි පෙනේ.+ නමුත් යෙහෝවා දෙවි මිනිසාගේ සිතුම් පැතුම් සෝදිසි කර බලයි.+  පූජාවට වඩා යෙහෝවා දෙවිට වටින්නේ ධර්මිෂ්ඨකම හා යුක්තියයි.+  උඩඟු ඇස් හා අහංකාර සිතක්+ තිබීම පාපයකි. ඒවා දුෂ්ටයන්ට පහනක් මෙනි.+  උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.+ එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.+  බොරු ගොතමින් වංචා කරමින් රැස් කරගත් වස්තුව සුසුමක් මෙන් විගස අතුරුදහන් වී යයි.+ එසේ වස්තු රැස් කරගන්නා මරණයට අත වනයි.+  දුෂ්ටයෝ යුක්තිය එපා කරන්නෝය.+ අනුන්ට කරන අපරාධ ඔවුන්ටම සිදු වී ඔවුන් විනාශ වී යයි.+  දෙවිව නාඳුනන කෙනෙකුගේ ක්‍රියා වංකය.+ නමුත් නිර්දෝෂ තැනැත්තාගේ ක්‍රියා අවංකය.+  අඬදබර කරන බිරිඳක සමඟ එක ගෙයි වාසය කරනවාට වඩා+ වහල උඩ වාසය කිරීම හොඳය.+ 10  දුෂ්ටයා නපුරු දේ කිරීමට බොහෝ සෙයින් ආශා කරයි.+ ඔහු තමාව ඇසුරු කරන අයට කිසි අනුකම්පාවක් නොපෙන්වයි.+ 11  සමච්චල් කරන්නාට දඬුවම් කරන්න. අද්දැකීම් අඩු තැනැත්තා එය දැක ප්‍රඥාවන්ත වෙයි.+ ප්‍රඥාවන්ත තැනැත්තෙකුට කාරණා හොඳින් අවබෝධ කර දෙන්න. එවිට ඔහු දැනුම් තේරුම් ඇතුව ක්‍රියා කරයි.+ 12  ධර්මිෂ්ඨ තැනැත්තාණන්* දුෂ්ටයාගේ නිවස ගැන සෝදිසියෙන් සිටියි.+ ඔහු දුෂ්ටයන්ව පාගා දමා විනාශයට පමුණුවයි.+ 13  අසරණයා පිහිට පතන විට යමෙකු කන් වසාගෙන සිටින්නේ නම්+ ඔහු කරන කන්නලව්වලටත් පිළිතුරු නොලැබෙන්නේය.+ 14  රහසින් දෙන තෑග්ගක් නිසා කෝපය පහ වී යයි.+ අල්ලසකින්+ උදහස පවා නිවා දැමිය හැක. 15  යුක්තිය ඉටු කිරීම ධර්මිෂ්ඨයාට ප්‍රීතියකි.+ එහෙත් නපුරු දේ කරන අයට අත් වන්නේ භයානක විනාශයකි.+ 16  සිහිබුද්ධිය අත්හරින්නා+ මිනී වළට යන්නේය.+ 17  විනෝදකාමී ජීවිතයකට ඇලුම් වන්නා දුගීකමට පත් වෙයි.+ වයින්වලටත් තෙල්වලටත් අධික ආශාවක් ඇති කරගන්නා කිසිදා පොහොසත් නොවෙයි.+ 18  ධර්මිෂ්ඨයාව බේරාගැනීමට දුෂ්ටයාව භාර දෙනු ලැබේ.+ ප්‍රතිපත්තිගරුක අයගේ ජීවිත ගලවාගැනීමට ද්‍රෝහිකම් කරන අයව දෙනු ලැබේ.+ 19  අඬදබර කරන බිරිඳක සමඟ ජීවත් වීමට වඩා කාන්තාරයක තනිව විසීම හොඳය.+ 20  ප්‍රඥාවන්තයාගේ නිවසේ අගනා වස්තුවලින්ද තෙල්වලින්ද අඩුවක් නැත.+ නමුත් අඥානයා ඒවා නැති නාස්ති කර දමයි.+ 21  ධර්මිෂ්ඨකමටත් කරුණාවටත්* ප්‍රිය කරන තැනැත්තාට+ ජීවනයද යුක්තියද ගෞරවයද ලැබෙයි.+ 22  ප්‍රඥාවන්තයෙක් බලවත් නුවරක පවුරට නැඟ එහි වැසියන්ගේ විශ්වාසයට හේතු වූ බලකොටු පවා බිඳ දමයි.+ 23  තම වචන කල්පනාකාරීව හසුරුවන තැනැත්තා දුක් කරදරවලින් තම ජීවිතය ආරක්ෂා කරගනියි.+ 24  හිස උදුම්මාගෙන විගස කෝපය පිට කරන තැනැත්තාව හඳුන්වන්නේ උද්ධච්ච, පුරසාරම් දොඩන්නෙකු ලෙසය.+ 25  අලසයා වැඩ නොකරයි.+ ඒ නිසා ඔහුගේ ආශාවන් ඔහුව මරණයට ළඟා කරයි. 26  දවස පුරාම ඔහුගේ ආශාවන් ඔහු තුළම දැවෙයි. එහෙත් ධර්මිෂ්ඨයා නොමසුරුව දෙන්නේය.+ 27  දුෂ්ටයන් ඔප්පු කරන පූජා පිළිකුලකි.+ එසේනම්, නින්දිතව හැසිරීමෙන් අනතුරුව ඔප්පු කරන පූජාවක් ඊට වඩා කොපමණ පිළිකුලක් වේද!+ 28  බොරු සාක්ෂිකරුවෙක් විනාශ වී යයි.+ එහෙත් හොඳ අවධානයකින් සවන් දෙන තැනැත්තා සැමදා ජීවත් වෙයි.+ 29  දුෂ්ටයා කිසි භයක් නැතුව ක්‍රියා කරයි.+ එහෙත් සාර්ථක වන්නේ ප්‍රතිපත්තිගරුක තැනැත්තාය.+ 30  යෙහෝවා දෙවිට විරුද්ධව යොදාගත හැකි ප්‍රඥාවක්වත් උපායක්වත් උපදේශයක්වත් නැත.+ 31  යුධ දවස සඳහා අශ්වයාව සූදානම් කර ඇත.+ නමුත් ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා දෙවිය.+

පාදසටහන්

මෙහි සඳහන් කරන්නේ, යෙහෝවා දෙවි ගැනයි.
හෝ, “ළැදි ප්‍රේමය.”