Skip to content

යොවුන් සිතේ ගැටලු

ඔයා ආශ්‍රය කරන්නේ එකම යාළුවෝ කට්ටියක්වද?

ඔයා ආශ්‍රය කරන්නේ එකම යාළුවෝ කට්ටියක්වද?

 “මගේ යාළුවෝ සෙට් එකත් එක්ක ඉද්දී තමයි මම සතුටින් ඉන්නේ. අනිත් අයව ආශ්‍රය කරන්න මට හරිම අමාරුයි.”—ඇලන්.

 “අඳුරන්නේ නැති කෙනෙක් එක්ක කතා කරන්න මට අමාරුයි. ඒ නිසා මට ඉන්නේ යාළුවෝ ටිකදෙනයි. මං කොහොමත් කැමති නැහැ ගොඩක් යාළුවෝ තියාගන්න.”—සාරා.

 ඔයාත් සාරායි, ඇලනුයි වගේ එක යාළුවෝ කට්ටියක්ව විතරද ආශ්‍රය කරන්නේ? අලුත් අයව යාළුවන් කරගන්න ටිකක් අමාරුයි කියලා ඔයාට හිතෙනවාද?

 එහෙමනම් මේ ලිපියේ තොරතුරු ඔයාට ගොඩක් උදව්වෙයි.

 එක යාළුවෝ කට්ටියක් විතරක් ආශ්‍රය කළොත් . . .

 එකම යාළුවෝ කට්ටියක් විතරක් ආශ්‍රය කරන එකේ වරදක් නැහැ. යාළුවෝ සෙට් එකක් එක්ක ඉද්දී ඔයා තනි වෙලා නැහැ කියලත් ඔයාගේ උදව්වට කවුරු හරි ඉන්නවා කියලත් ඔයාට හිතෙයි.

 “හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්නකොට හිතට සතුටක් දැනෙනවා. අනික තරුණ කාලේ කවුරුත් කැමති නැහැනේ කොන් වෙලා පැත්තකට වෙලා ඉන්න.”—කැරන්, 19යි.

 ඔයා දැනගෙන හිටියාද? යේසුස්ට ගොඩක් යාළුවෝ හිටියා. නියෝජිතයන් 12දෙනාවත් යේසුස් සැලකුවේ එයාගේ යාළුවන් හැටියට. හැබැයි ඒ 12දෙනා අතරින් පේතෘස්, යාකොබ් සහ යොහන් තමයි යේසුස්ගේ කිට්ටුම යාළුවන් වුණේ.—මාක් 9:2; ලූක් 8:51.

 අලුත් යාළුවන් ඇති කරගන්නේ නැතුව එකම යාළුවෝ සෙට් එකක් විතරක් ආශ්‍රය කරන එකේ තියෙන අවාසි මොනවාද?

  •   හොඳ යාළුවන්ව ඇති කරගන්න තියෙන අවස්ථා ඔයාට අහිමි වෙන්න පුළුවන්.

     “අපි ගොඩක් වෙලාවට කිට්ටු වෙන්නේ අපි වගේම ගතිගුණ තියෙන අයට. ඒකෙන් වෙන්නේ අලුත් යාළුවෝ ඇති කරගෙන අලුත් අද්දැකීම් ලබන්න තියෙන අවස්ථාව අපිට නැති වෙන එකයි.”—ඉවෑන්, 21යි.

  •   ඔයා උඩඟු කෙනෙක් කියලා අනිත් අය හිතන්න පුළුවන්.

     “ඔයා විශේෂ යාළුවෝ සෙට් එකක් එක්ක විතරක් ආශ්‍රය කරද්දී අනිත් අය හිතන්න ඉඩ තියෙනවා ඔයා එයාලාව ගණන් ගන්නේ නැහැ කියලා.”—සාරා, 17යි.

  •   අනිත් අයට හිරිහැර කරන්න ඔයාත් පෙලඹෙන්න පුළුවන්.

     “ඔයා අනිත් අයට චණ්ඩි පාට් දාන කෙනෙක් නෙමෙයි වෙන්න ඇති. ඒත් ඔයාගේ ක්ලික් එකේ අය එහෙම කරද්දී ඒකේ වරදක් නැහැ, ඒක ජොලියට කරන දෙයක් විතරයි කියලා ඔයාත් හිතන්න පටන්ගනියි.”—ජේම්ස්, 17යි.

  •   ක්ලික් එකේ ඉන්න තියෙන ආසාව නිසා ඔයා ඕනම දෙයක් කරන්න පෙලඹෙන්න පුළුවන්.

     “ක්ලික් එකේ ඉන්න එක් කෙනෙක් වැරදි දෙයක් කරද්දී අනිත් අයත් නිකම්ම ඒකට හවුල් වෙනවා. මොනා හරි කරලා ක්ලික් එකේ ඉන්නනේ ඕනේ.”—මාටිනා, 17යි.

 ඔයාට කරන්න පුළුවන් දේ

  •   ඔයා ගරු කරන ප්‍රතිපත්ති ගැන හිතන්න.

     මෙහෙම හිතලා බලන්න. ‘මම ජීවිතය ගත කරන්න උත්සාහ කරන්නේ මොන වගේ ප්‍රතිපත්තිවලට එකඟවද? ඒ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න යාළුවෝ මට උදව් කරනවාද නැද්ද? මං මෙච්චර කල් රැකගත්ත ප්‍රතිපත්ති යාළුවෝ නිසා පාවලා දෙනවාද?’

     බයිබල් ප්‍රතිපත්තිය: “මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.”—1 කොරින්ති 15:33, පාදසටහන.

     “ඔයා ගරු කරන ප්‍රතිපත්තිවලට ගරු කරන්නේ නැති යාළුවන්ව ඔයා ආශ්‍රය කරද්දී ඔයා කවදාවත් කරන්නේ නැහැ කියලා හිතපු දේවල් පවා කරන්න පෙලඹෙන්න පුළුවන්.”—එලන්, 14යි.

  •   මුල් තැන දෙන්නේ කොයි දේටද කියලා හිතන්න.

     මෙහෙම හිතලා බලන්න. ‘මම මුල් තැන දෙන්නේ යාළුවන් එක්ක තියෙන බැඳීමටද නැත්තං මම ගරු කරන ප්‍රතිපත්තිවලටද? මගේ යාළුවෙක් වැරදි දෙයක් කරනවා නම් මං කරන්නේ මොනවාද?’

     බයිබල් ප්‍රතිපත්තිය: “මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන සියලුදෙනාටය.”—එළිදරව් 3:19.

     “සමහර වෙලාවට ක්ලික් එකේ යාළුවෙක් වරදක් කරද්දී ඒ ගැන හෙළි කරන එක එයාට කරන ද්‍රෝහිකමක් කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒ නිසා ඔයා වරද හංගන්න ඉඩ තියෙනවා.”—මෙලනි, 22යි.

  •   අලුත් යාළුවන් ඇති කරගන්න එක ගැන හිතන්න.

     මෙහෙම හිතලා බලන්න. එච්චර අඳුරන්නේ නැති අයවත් යාළුවෙක් කරගන්න උත්සාහ කරන එකෙන් මට මොන වගේ ප්‍රයෝජන ලැබෙයිද?

     බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.

     “හැදිච්ච පරිසරය නිසා සමහර අය ඔහේ පැත්තකට වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් ඒ වගේ කෙනෙක්ව යාළුවෙක් කරගන්න කවුරුත් වැඩිය කැමති නැහැ. ඒත් ඒ වගේ අය අතරෙත් හොඳ යාළුවෝ ඉන්න පුළුවන්.”—බ්‍රයන්, 19යි.

 මේක මතක තියාගන්න. එකම යාළුවෝ සෙට් එකක් ඉන්න එකේ වරදක් නැහැ. ඒත් ඒ සෙට් එකට විතරක් ඇලිලා ඉන්නේ නැතුව අලුත් යාළුවන් ඇති කරගන්න. එහෙම කළොත් ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ ඔයාටමයි. බයිබලයේ මෙහෙම කියනවා. “දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි.”—ලූක් 6:38.