Skip to content

යොවුන් සිතේ ගැටලු

යාළු වෙන එක - 3වෙනි කොටස: මේක මෙතනින් නවත්තමුද?

යාළු වෙන එක - 3වෙනි කොටස: මේක මෙතනින් නවත්තමුද?

 ඔයා දැන් යාළු වෙලා ටික කාලයක්ද? දැන් දැන් ගැළපෙන්නේ නැති පැති පේන්න අරන්ද? එහෙමනම් මේ සම්බන්දේ දිගටම කරගෙන යනවාද? නැත්නම් මෙතනින් නවත්තනවාද? අන්න ඒ තීරණේ ගන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.

මේ ලිපියෙන්

 දෙන්නා අහසට පොළොව වගේ කියලා හිතුණොත්

 යාළු වෙලා ටික කාලයක් යද්දී ඔය දෙන්නාටම හිතෙන්න පුළුවන් ‘මේ මුලින් හිටපු කෙනා නෙවෙයිනේ’ කියලා. කාලයක් යද්දී දෙන්නාට දෙන්නා ගැළපෙන්නේ නැති තැන් තියෙනවා කියලා පේන්න ගනියි. උදාහරණෙකට . . .

  •   එක් කෙනෙක් ආස මුහුදු වෙරළට යන්න. හැබැයි අනිත් කෙනා ආස කඳු නඟින්න යන්න.

  •   එක් කෙනෙක් ආස කොයි වෙලෙත් කට්ටිය එක්ක එකතු වෙලා විනෝදෙන් ඉන්න. හැබැයි අනිත් කෙනා ආස තනියෙන් නිවිහැනහිල්ලේ ඉන්න.

  •   එක් කෙනෙක් හැම දේම හංගනවා. අනිත් කෙනා අවංකවම වෙන හැම දේම කියනවා.

 මේ තත්වයන් තුන එකකට එකක් වෙනස්. පළවෙනි එකේ පෙන්නන විදිහට දෙන්නා ආස දේවල් ගැළපෙන්නේ නැහැ. දෙවෙනි එකේ පෙන්නන විදිහට දෙන්නාගේ පෞද්ගලිකත්වය දෙවිදිහක්. තුන්වෙනි එකේ පෙන්නන විදිහට දෙන්නාගේ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම වෙනස්.

 හිතන්න දෙයක්: ඒ පැති තුනෙන් මොන පැත්තද බැන්දාට පස්සේ ඔයාලට අමාරු වෙන්න පුළුවන්? ඔයාලා එක වහළක් යටට ගියොත් මොන පැත්තෙන්ද ඔයාලා දෙන්නාම වෙනස්කම් කරගන්න ඕන?

 සැමියෙකුයි, බිරිඳකුයි ආස දේවල්, එයාලාගේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඔයාලට පුළුවන් බැන්දාම සතුටින් ඉන්න. දෙන්නාට දෙන්නා ගැළපෙන්න නම් හිතන පතන විදිහ එක වගේම වෙන්න ඕනෙ නැහැ. මොකද සමහර වෙලාවට දෙන්නා කැමති දේවල්, දෙන්නාගේ පෞද්ගලිකත්වයන් වෙනස් වෙද්දීත් ප්‍රයෝජන තියෙනවා. a

 හැබැයි ඔය දෙන්නාට එකම ප්‍රතිපත්ති තියෙන එක වැදගත්. ඒ කියන්නේ ඔයාලාගේ විශ්වාසයන්, සදාචාරය සම්බන්ධ දේවල්, ඔයාලා හරි වැරැද්ද ගැන හිතන විදිහ වගේ දේවල්. ඒවා වෙනස් කියන්නේ ඔයාලාගේ සම්බන්දෙට රතු සිග්නල් එකක් තමයි.

 උදාහරණෙකට හිතන්න ඔයා එක ආගමක, එයා තව ආගමක කියලා. එහෙම වෙද්දී වෙන්න පුළුවන් දෙයක් ගැන විවාහය ගැන කතා කරන එක පොතක මෙහෙම කියනවා. “මහත්තයායි, නෝනායි එකම ආගමේ නෙවෙයි නම් එයාලා දික්කසාද වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.”—Fighting for Your Marriage.

 බයිබල් ප්‍රතිපත්තිය: “දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න.”—2 කොරින්ති 6:14.

 හරි තීරණේ ගන්න වෙද්දී

 බයිබලේ කියනවා විවාහ වෙන අයට “දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා” කියලා. (1 කොරින්ති 7:28) ඉතින් යාළු වෙලා ඉන්න කාලෙම දුෂ්කරතා එකක් දෙකක් මතු වෙද්දී ඇයි මෙහෙම වෙන්නේ කියලා පුදුම වෙන්න එපා.

 එයා කරන සමහර පුංචි පුංචි දේවල් ඔයාට සෙට් වෙන්නේ නැති වෙයි. ඒත් ‘මේක නං කවදාවත් කෙරෙන දෙයක් නෙවෙයි’ කියලා හිතන්න එපා. ඒ වෙනුවට ඔයා හිතන්න ඕන ‘ඒවා ගැන එයාත් එක්ක හිමින් සීරුවේ කතා කරලා විසඳගන්න පුළුවන්ද’ කියලයි. බැන්දාට පස්සෙත් ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න එන්න පුළුවන් නිසා ඔයාලා දැන් ඉඳන්ම එහෙම කරන එක වැදගත්.

 බයිබල් ප්‍රතිපත්තිය: ‘එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න. එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.’—එෆීස 4:32.

 අනිත් අතට ඔයාලා යාළු වෙලා ඉන්න කාලේ දිගින් දිගටම දෙන්නා අතරේ ලොකු ලොකු ප්‍රශ්න වෙලා ඔයාලා නිතරම රණ්ඩු කරනවා නම්? ඒක සමහරවිට දෙන්නා ගැළපෙන්නේ නැහැ කියන්න ලකුණක් වෙන්න පුළුවන්. ඔයාලා දෙන්නාත් ඒ වගේ නම් හොඳම දේ කල් ඇදඇද ඉන්නේ නැතුව ඕක ඔතනින්ම නතර කරලා දාන එකයි.

හැම දෙයක්ම ඉවර වෙන්නේ වලියකින් නම්, මොනවා හරි දෙයක් ගැන කතා කළොත් මූණ එල්ලගත්ත ගමන් නම් ඒක ඔයාලා ගැළපෙන්නේ නැහැ කියන්න සිග්නල් එකක් වෙන්න පුළුවන්

 මේක මතක තියාගන්න: ඔයා බඳින්න යන කෙනාගේ සෑහෙන්න අවුල් තැන් තියෙනවා කියලා දැනෙනවා නම් එහෙම නැත්නම් ඔයා දැන්මම බඳින්න ලෑස්ති නැහැ කියලා හිතෙනවා නම් ඒ හැඟීම් ඔහේ ගණන් නොගෙන ඉන්න එපා.

 බයිබල් ප්‍රතිපත්තිය: “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝපදේශ 22:3.

 තීරණේ සම්බන්දේ නතර කරන එක නම්

 බැඳීමක් බිඳෙද්දී ඒක ලොකු වේදනාවක්. ඒත් ඔයාලා දෙන්නා අතරේ කොයි වෙලෙත් ප්‍රශ්න නම්? ඔයාලා දෙන්නාටම හරි එක් කෙනෙක්ට හරි මේක දිගටම කරගෙන යන්න බැහැ කියලා දැනෙනවා නම්? එහෙමනම් හොඳම දේ සම්බන්දේ ඔතනින්ම නතර කරන එකයි.

 ඒත් කොහොමද ඒක කරන්නේ? එයාව හම්බ වෙන්නේ නැතුව ඉන්න හොඳ හේතුවක් තියෙනවා නම් විතරක් මෙසේජ් එකකින්, ඊ-මේල් එකකින් “අපි මේක නවත්තමු” කියලා කිව්වාට කමක් නැහැ. හැබැයි හොඳම දේ දෙන්නාටම ලේසි වෙලාවක, ලේසි තැනක හම්බ වෙලා ඒ ගැන කතා කරලා තීරණේකට එන එකයි.

 බයිබල් ප්‍රතිපත්තිය: “එකිනෙකා සමඟ ඇත්ත කතා කරන්න.”—සෙකරියා 8:16.

 ඔයාගේ සම්බන්දේ කැඩුණා කියන්නේ ඔයා කිසිම වැඩකට නැති කෙනෙක් කියන එකද? නැහැ. මතක තියාගන්න, ඔයා කෙනෙක් එක්ක යාළු වෙනවා කියන්නේ එයාව ඔයාට ගැළපෙනවාද නැද්ද කියලා බලන එකටයි. ඔයාගේ සම්බන්දේ පුපුරලා ගියත් ඒකෙනුත් ඔයාගේ ජීවිතේට හුඟක් පාඩම් එකතු කරගන්න පුළුවන්.

 මේ ගැන හිතන්න: ‘මේකෙන් මං මොකක්ද ඉගෙනගත්තේ? මේ වෙච්ච දේවලින් මං හදාගන්න ඕන පැති දකින්න මට පුළුවන් වුණාද? මං ආයෙත් කෙනෙක් එක්ක යාළු වුණොත් මීට වඩා වෙනස් විදිහට වැඩ කරන්න මට පුළුවන්ද? ඒ මොන පැතිවලින්ද?’

a මේ වගේ ප්‍රශ්න සැමියෙක්ට සහ බිරිඳකට බලපාන්න පුළුවන් විදි ගැන තවත් හොඳින් තේරුම්ගන්න “මේ ඔබේ පවුලටයි - දෙන්නාගේ අදහස් හිතුවට වඩා වෙනස්ද?” සහ “පවුලේ හැමෝටම මඟ පෙන්වීම් - නුරුස්සන ගතියෙත් හොඳ පැත්ත දකින්න” කියන ලිපි බලන්න.