Skip to content

යොවුන් සිතේ ගැටලු

ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ මං ඉවර කරන්නේ කොහොමද?

ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ මං ඉවර කරන්නේ කොහොමද?

 “මං පාන්දර එක වෙන කල් නිදි මරාගෙන ගෙදර වැඩ කරනවා. ඒක ලේසි නැහැ. ඇඳට යන්නමයි හිතෙන්නේ.”—ඩේවිඩ්.

 “සමහර දවස්වල මං පාන්දර හතරහමාර වෙන කල් පාඩම් කරනවා. ඊටපස්සේ නිදාගෙන හයට නැඟිටලා ඉස්කෝලේ යනවා. පිස්සු හැදෙනවා.”—තෙරේසා.

 ගෙදර වැඩ වැඩිකමට ඔයා හෙම්බත් වෙලාද ඉන්නේ? එහෙමනම් මේ ලිපිය ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

 ගුරුවරු ගෙදර වැඩ දෙන්නේ ඇයි?

 ගෙදර වැඩ කරන එකෙන් . . .

  •   ඔයාගේ දැනුම වැඩි වෙනවා

  •   වගකීමෙන් වැඩ කරන්න ඔයා ඉගෙනගන්නවා

  •   ඔයාට තියෙන කාලය ඥානවන්ත විදිහට පාවිච්චි කරන්න ඔයා පුරුදු වෙනවා

  •   පන්තියේදී ඉගෙනගත්ත දේවල් හොඳින් තේරුම්ගන්න සහ අදාළ කරගන්න ඔයාට හැකියාව ලැබෙනවා a

 “ගුරුවරු ගෙදර වැඩ දෙන්නේ ඉගෙනගත්ත දේවල් හොඳට හිතට අරන් ප්‍රයෝජනයට ගන්න ශිෂ්‍යයන්ට උදව් කරන්නයි. ගෙදර වැඩ දුන්නේ නැත්නම් උගන්වන දේ එක කනකින් අහලා අනිත් කනෙන් පිට කරන්න ශිෂ්‍යයන් පෙලඹෙයි.”මරී.

 විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව කියන විෂයන් ඔයාට උදව් වෙනවා ගැටලු විසඳන්න තියෙන හැකියාව දියුණු කරගන්න. ඒ හැකියාව දියුණු වෙද්දී මොළයේ තියෙන නියුරෝන අතර ඇති බන්ධනයන් තවත් ශක්තිමත් වෙනවා වගේම අලුත් බන්ධනයනුත් ඇති වෙනවා කියලා විශාරදයන් කියනවා. එහෙම බලද්දී ගෙදර වැඩ කරන එක හරියට මොළයට කරන ව්‍යායාමයක් වගේ.

 ගෙදර වැඩ කරන එකේ ප්‍රයෝජන ඔයාට තේරුණත් නැතත් ඔයාට ලැබෙන ගෙදර වැඩ කරන්නම වෙනවා. ඒත් සතුටු වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. ලැබෙන ගෙදර වැඩවල ප්‍රමාණය අඩු කරගන්න ඔයාට බැරි වුණත් සමහරවිට ගෙදර වැඩ කරන්න වැය කරන කාලය අඩු කරගන්න ඔයාට පුළුවන් වෙයි. ඒ කොහොමද කියලා අපි දැන් බලමු.

 යෝජනා

 ගෙදර වැඩ කරන්න කලින් ඒවා කරන්න යන විදිහ ගැන හොඳට කල්පනා කළොත් හෙම්බත් වෙන්නේ නැතුව ගෙදර වැඩ ටික කරගන්න ඔයාට පුළුවන් වෙයි. මේ යෝජනා අත්හදා බලන්න.

  •   1වෙනි යෝජනාව: සැලසුම් කරන්න. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි” කියලා බයිබලයේ කියලා තියෙනවා. (හිතෝපදේශ 21:5) ඔයාට අවශ්‍ය හැම දෙයක්ම ළඟ තියාගන්න. එතකොට සැරෙන් සැරේ, නැඟිට නැඟිට ගිහින් දේවල් හොයන්න ඔයාට සිද්ධ වෙන එකක් නැහැ.

     ඒ වගේම ගෙදර වැඩ කරද්දී ඒකට හොඳ අවධානයක් දෙන්න පුළුවන් තැනක් තෝරගන්න. සමහර අය කැමති ගෙදර ඉඳන් ආලෝකය හොඳට තියෙන, පාඩුවේ වැඩ කරන්න පුළුවන් කාමරයක ගෙදර වැඩ කරන්න. තවත් අය කැමති ගෙදරින් පිට තැනක ඒ කියන්නේ පුස්තකාලයක් වගේ තැනකට ගිහින් ගෙදර වැඩ කරන්න.

     “කාලසටහනක් හදාගන්න එක හුඟක් වටිනවා. එතකොට කාලයෙන් හොඳට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන වැඩ පැවරුමත් ඒක භාර දෙන්න ඕන දිනයත් මතක තියාගෙන වැඩ කරන්න. මොකද අන්තිම මොහොතේ කඩිමුඩියේ දේවල් කරන්න ගියොත් ඔයාට අනවශ්‍ය පීඩනයක් ඇති වෙයි.”—රිචර්ඩ්.

  •   2වෙනි යෝජනාව: පිළිවෙළකට වැඩ කරන්න. ‘සෑම දෙයක්ම පිළිවෙළකට සිදු විය යුතුයි’ කියලා බයිබලයේ කියනවා. (1 කොරින්ති 14:40) ඒක හිතේ තියාගෙන ඔයා මුලින්ම කරන්න ඕන පැවරුම් මොනවාද, ඊළඟට කරන්න ඕන මොනවාද කියලා තීරණය කරන්න.

     සමහර අය ආසයි අමාරු පැවරුම් ටික මුලින්ම ඉවර කරන්න. තවත් අය ආසයි ලේසි ඒවා මුලින්ම ඉවර කරන්න. ලේසි ඒවා ඉක්මනට ඉවර කරන්න පුළුවන් නිසා ඒකෙන් එයාලට තෘප්තියක් දැනෙනවා. ඔයාට වැඩියෙන්ම ගැළපෙන්නේ මොන විදිහද කියලා ඔයා තීරණය කරන්න.

     “ඔයාට කරන්න තියෙන වැඩත් ඔයා ඒවා කරන්න යන අනුපිළිවෙළත් ලියාගන්න. එතකොට ගෙදර වැඩ කරද්දී ඔයා හෙම්බත් වෙන එකක් නැහැ.”—හයිඩි.

  •   3වෙනි යෝජනාව: වැඩ පටන්ගන්න. ‘කම්මැළි නොවී වෙහෙස මහන්සි වී වැඩ කරන්න’ කියලා බයිබලයේ කියනවා. (රෝම 12:11) වෙන දේවල් කරන්න ඔයාට කොච්චර ආස හිතුණත් ගෙදර වැඩ කරන්න තියෙන වෙලාවේ ඒවා කරන්න එපා.

     වැඩ කල් දාන අයට නම් වෙලාවට ගෙදර වැඩ ටික ඉවර කරගන්න බැරි වෙයි. අන්තිම මොහොතේ හදිස්සි වෙලා වැඩ කරන්න ගියාම වැඩ හරියට කෙරෙන්නෙත් නැහැ. අනවශ්‍ය පීඩනයකුත් කනස්සල්ලකුත් දැනෙයි. ඒ නිසා ගෙදර වැඩ ලැබුණු ගමන්ම ඒවා කරන්න පටන්ගන්න.

     “ගෙදර වැඩක් හරි පැවරුමක් හරි ලැබුණාම ගෙදර ආපු ගමන්ම මං ඒක කරන්න පටන්ගත්තා. ඒ නිසා පස්සේ මට ඒ ගැන කරදර වෙන්න ඕන වුණේ නැහැ. ඒක මගේ අනිත් වැඩවලට බාධාවක් වුණෙත් නැහැ.”—සෙරීනා.

     මෙහෙම කරලා බලන්න: හැමදාම එකම වෙලාවට ඔයාගේ ගෙදර වැඩ ටික කරන්න. එහෙම කරද්දී ඔයාවම හික්මවගන්නත් වෙලාවට වැඩ කරන්නත් ඔයා පුරුදු වෙයි.

  •   4වෙනි යෝජනාව: කරන වැඩේට අවධානය දෙන්න. “වටපිට නොබලා ඔබේ දීප්තිමත් දෙනෙත්වලින් ඉදිරියම බලා සිටින්න” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 4:25) ඒ උපදෙස පිළිපදින්න නම් ඔයා පාඩම් කරන වෙලාවෙදී වෙන දේවලට විශේෂයෙන්ම ෆෝන්, ටැබ් වගේ දේවලට අවධානය දෙන එකෙන් වැළකිලා ඉන්න ඕනේ.

     ගෙදර වැඩ කරන අතරතුරේ ඉන්ටර්නෙට් එකේ සැරිසරන්න ගියොත් නැත්නම් මෙසේජ් යවන්න ගියොත් පැයෙන් ඉවර කරන්න පුළුවන් වැඩේට ඔයාට පැය දෙකක්ම යයි. හැබැයි ඔයා වැඩේට හොඳ අවධානයක් දුන්නොත් පීඩනය අඩු කරගන්න විතරක් නෙවෙයි වෙලාව ඉතුරු කරගන්නත් ඔයාට පුළුවන් වෙයි.

     “ගෙදර වැඩ කරන වෙලාවේ ෆෝන්, කොම්පියුටර්, වීඩියෝ ගේම්ස්, ටීවී වගේ දේවල් නිසා අවධානය එක තැනක තියාගන්න මට හරි අමාරුයි. ඉතිං මම ඒ වෙලාවට මගේ ෆෝන් එකයි, අනිත් උපකරණ ටිකයි ඕෆ් කරලා දානවා.”—ජොයල්.

  •   5වෙනි යෝජනාව: සමබර වෙන්න. බයිබලයේ මෙහෙම කියනවා. “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි.” (ෆිලිප්පි 4:5) අවශ්‍ය වෙනකොට පොඩි විවේකයක් ගත්තොත් ගෙදර වැඩ කරන එක ඔයාට බරක් වගේ දැනෙන එකක් නැහැ. ගෙදර වැඩ කරන අතරතුරේදී ඇවිදින්න, දුවන්න එහෙමත් නැත්නම් බයිසිකල් පදින්න පුංචි වෙලාවක් ගන්න.

     ඒ හැම යෝජනාවක්ම අදාළ කරගත්තාට පස්සෙත් ඔයාට ලැබෙන ගෙදර වැඩ ඉවර කරගන්න බැරි වුණොත් ඔයාගේ ගුරුවරු එක්ක ඒ ගැන කතා කරන්න. ඔයාගේ උපරිමය කරන්න ඔයා අවංක වෑයමක් දරනවා කියලා එයාලට තේරුණොත් සමහරවිට පොඩි වෙනසක් කරන්න එයාලා පෙලඹෙයි.

     “ගෙදර වැඩ නිසා අනවශ්‍ය පීඩනයක් ඇති කරගන්න එපා. ඔයාගේ උපරිමය කරන්න. හැබැයි ගෙදර වැඩ නිසා ඔයාගේ සතුට, සැනසීම නැති කරගන්න එපා.”—ජූලියා.

 මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න.

  •   ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්න මට අවශ්‍ය දේවල් මොනවාද?

  •   ගෙදර වැඩ කරන්න මට හොඳම වෙලාව මොකක්ද?

  •   මට ගෙදර වැඩට හොඳ අවධානයක් දෙන්න පුළුවන් වෙන්නේ කොහේ ඉඳන් වැඩ කළොත්ද?

  •   වැඩ කල් දාන එක වළක්වගන්න මට පුළුවන් කොහොමද?

  •   මොන වගේ දේවල් නිසා මගේ අවධානය වෙනතකට යන්න පුළුවන්ද?

  •   ඉලෙක්ට්‍රෝනික උපකරණ නිසා හරි වෙනත් දේවල් නිසා හරි මගේ අවධානය වෙනතකට යන එක වළක්වගන්න මට පුළුවන් කොහොමද?

  •   මම සමබර වෙන්නේ කොහොමද?

 මතක තියාගන්න ඕන දෙයක්: ඔයාගේ ගෙදර වැඩ පැවරුමට ඇතුළත් වෙන්නේ මොනවාද කියලා තේරුම්ගන්න එක වැදගත්. ප්‍රශ්න තියෙනවා නම් පන්තියෙන් යන්න කලින් ඔයාගේ ගුරුවරයාගෙන් ඒ ගැන අහන්න.

a ඒ කරුණු අරගෙන තියෙන්නේ ජීන් ෂොන්ගේ පොතකින්.—School Power.