Skip to content

යොවුන් සිතේ ගැටලු

බව්තීස්ම වෙන්නම ඕනෙද? – 3වෙනි කොටස: බව්තීස්ම වෙන්න මට තියෙන බාධාව මොකක්ද?

බව්තීස්ම වෙන්නම ඕනෙද? – 3වෙනි කොටස: බව්තීස්ම වෙන්න මට තියෙන බාධාව මොකක්ද?

 ඔයාගේ ජීවිතේ යෙහෝවා දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන එක ගැන හිතද්දීම ඔයාට ලොකු බයක් දැනෙනවාද? එහෙනම් ඒ බයෙන් ගොඩ එන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.

මේ ලිපියෙන්

 බව්තීස්ම වුණාට පස්සේ මගේ අතින් බරපතළ වරදක් වෙයිද?

 ඇයි එහෙම හිතෙන්නේ? බරපතළ වරදක් කරපු නිසා ඔයා දන්න කෙනෙක්ව සභාවෙන් අයින් කරලා ඇති. (1 කොරින්ති 5:11-13) සමහරවිට ඔයාටත් එහෙම වෙයිද කියලා ඔයාට බයක් දැනෙනවා ඇති.

 “බව්තීස්ම වුණාට පස්සේ මගේ අතින් ලොකු වරදක් වෙයිද කියලා මට ගොඩක් බය හිතුණා. එහෙම වුණොත් ඒක මගේ අම්මාටයි, තාත්තාටයි කොහොම බලපායිද කියලා මට හිතුණා.”—රෙබෙකා.

 බයිබලේ කියන දේ: ‘දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා! එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.’—යෙසායා 55:7.

 මේ ගැන හිතන්න: බරපතළ වරදක් කරලා ඒ ගැන පසුතැවෙන්නේ නැති අයව සභාවෙන් අයින් කරනවා තමයි. හැබැයි නිහතමානීව තමන් අතින් වුණ වරද පිළි අරන් ඒක හදාගන්න උත්සාහ කරන අයට යෙහෝවා දෙවියන් දයාව පෙන්නනවා.—ගීතාවලිය 103:13, 14; 2 කොරින්ති 7:11.

 මේකත් මතක තියාගන්න: පව්කාරකම උරුම වෙලා තිබුණත් දෙවියන්ගේ උදව්වෙන් වැරදි පෙලඹීම්වලට විරුද්ධ වෙන්න ඔයාට පුළුවන්. (1 කොරින්ති 10:13) අනික ඔයා කරන්නේ මොනවාද කියලා තීරණය කරන්නේ අනිත් අය නෙවෙයිනේ, ඔයාමනේ.

 “බව්තීස්ම වුණාට පස්සේ මගේ අතින් ලොකු වරදක් වෙයිද කියලා මුලදී මං ගොඩක් බය වුණා. හැබැයි පස්සේ මට තේරුණා බව්තීස්ම වෙන එක කල් දාන එකෙනුත් මං කරන්නේ වරදක්නේ කියලා. ඉස්සරහාට මෙහෙම වෙයි, අරහෙම වෙයි කියලා හිතලා අද කරන්න ඕන දේවල් කල් දාන එක කිසි තේරුමක් නැති වැඩක්.”—කෙරන්.

 මේක මතක තියාගන්න: බරපතළ වරදකට වැටෙන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්. සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ට ඒ දේ කරන්න පුළුවන් වෙලා තියෙනවා.—ෆිලිප්පි 2:12.

 තව උදව් ඕනෙද?වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?” කියන ලිපිය බලන්න.

 බව්තීස්ම වුණ කෙනෙක්ගෙන් යෙහෝවා බලාපොරොත්තු වෙන දේවල් මට කරගන්න බැරි වෙයිද?

 ඇයි එහෙම හිතෙන්නේ? යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තියෙන ආසාව නිසා පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් ඈත් වෙලා දුර පළාතකට ගිය යෞවනයන්ව ඔයා දන්නවා ඇති. සමහරවිට අනිත් අය ඔයාගෙනුත් ඒ දේම බලාපොරොත්තු වෙයිද කියලා ඔයාට හිතෙනවා ඇති.

 “බව්තීස්මයත් එක්ක හුඟක් විදිවලින් යෙහෝවාට සේවය කරන්න අවස්ථා ලැබෙනවා. හැබැයි සමහරු තාම ඒවා භාරගන්න සුදානම් නෑ. තවත් අය ආස වුණත් එයාලා ඉන්න තත්වය නිසා එයාලට ඒ දේවල් කරගන්න බෑ.”—මරී.

 බයිබලේ කියන දේ: “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.”—ගලාති 6:4.

 මේ ගැන හිතන්න: ඔයාව අනිත් අය එක්ක සසඳන්න එපා. ඒ වෙනුවට මාක් 12:30 කියන විදිහට “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න.”

 ඔයා යෙහෝවාට සේවය කරන්න ඕනෙ ඔයාගේ මුළු හදවතින්ම මිසක් තව කෙනෙක්ගේ හදවතකින් නෙවෙයි. ඔයා ඇත්තටම යෙහෝවාට ආදරෙයි නම් ඔයාගේ උපරිමය ඔහුට දෙන්න ඔයා පුළුවන් හැම දේම කරයි.

 “බව්තීස්මය කියන්නේ බැරෑරුම් තීරණයක්. හැබැයි ඒක බරක් නෙවෙයි. යෙහෝවාට ආදරේ කරන අයව ඔයාගේ යාළුවන් කරගත්තොත් එයාලා ඔයාට උදව් කරයි. බව්තීස්ම වුණ කෙනෙක්ගෙන් යෙහෝවා බලාපොරොත්තු වෙන දේවල් ඔයා වැඩියෙන් කරන තරමටම ඔයාගේ සතුට තවත් වැඩි වෙයි. හැබැයි ඔයා බව්තීස්ම වුණේ නැත්නම් කවදාවත් ඒ සතුට අද්දකින්න ලැබෙන්නේ නෑ.”—ජූලියා.

 මේක මතක තියාගන්න: යෙහෝවා ඔයාට පෙන්නලා තියෙන ආදරේ ගැන හිතේ තියෙන අගය තව වැඩි කරගන්න. එතකොට ඔයාගේ උපරිමය ඔහුට දෙන්න ඔයා පෙලඹෙයි.—1 යොහන් 4:19.

 තව උදව් ඕනෙද?මම වගකීමෙන් වැඩ කරන කෙනෙක්ද?” කියන ලිපිය බලන්න.

 යෙහෝවාට සේවය කරන්න තරම් මං වටිනවාද?

 ඇයි එහෙම හිතෙන්නේ? යෙහෝවා දෙවියන් තමයි මුළු විශ්වයේම පාලකයා. ඔහුත් එක්ක බලද්දී අපේ කිසි වටිනාකමක් නැහැ. ඉතින් ඔයාට හිතෙනවා ඇති ‘ඇත්තටම යෙහෝවා මං ගැනත් හිතනවා ඇද්ද’ කියලා.

 “මගේ අම්මායි, තාත්තායි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඉතින් මට කොයි වෙලෙත් හිතුණා මට යෙහෝවාගේ යාළුවෙක් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ දෙන්නා නිසා මිසක් යෙහෝවා මාව ඔහුට ළං කරගත්ත නිසා නෙවෙයි කියලා.”—නැටලි.

 බයිබලේ කියන දේ: “කෙනෙක් මා ළඟට එන්නේ මාව එවූ මගේ පියාණන් ඔහු තුළ ඒ සඳහා ආශාවක් ඇති කළොත් පමණයි.”—යොහන් 6:44.

 මේ ගැන හිතන්න: ඔයා බව්තීස්මය ගැන හිතන එකෙන්ම පැහැදිලි වෙනවා යෙහෝවාගේ යාළුවෙක් වෙන්න ඔහු ඔයාගේ හිතෙත් ආසාවක් ඇති කරලා තියෙනවා කියලා. ඉතින් ඇයි ඒක තව කල් දාන්නේ?

 ඔයා මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. තමන්ට ළං කරගන්නේ කාවද කියලා තීරණය කරන්නේ වෙන කවුරුත් නෙවෙයි, යෙහෝවාමයි. බයිබලෙත් කියලා තියෙනවා “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලා.—යාකොබ් 4:8.

 “යෙහෝවා ගැන දැනගෙන ඔහුගේ යාළුවෙක් වෙන්න පුළුවන් වෙලා තියෙන එකෙන්ම තේරෙනවා ඔහු ඔයාට ආදරෙයි කියලා. ඉතින් යෙහෝවාට සේවය කරන්න ඔයා වටින්නේ නැහැ කියලා ඔයාට හිතෙද්දීම යෙහෝවා කවදාවත් එහෙම හිතන්නේ නෑ කියලා මතක් කරගන්න.”—සෙලීනා.

 මේක මතක තියාගන්න: බව්තීස්ම වෙන්න ඕන කරන සුදුසුකම් ඔයා අත්කරගෙන තියෙනවා නම් ඒකෙන් පැහැදිලි වෙනවා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ඔයාට සුදුසුකම් තියෙනවා කියලා. ඒ වගේම යෙහෝවා ඔයාගේ නමස්කාරය ලබන්න වටිනවා කියලත් අමතක කරන්න එපා.—එළිදරව් 4:11.

 තව උදව් ඕනෙද?යාච්ඤා කරන්න ඕනෙ ඇයි?” කියන ලිපිය බලන්න.