Skip to content

යොවුන් සිතේ ගැටලු

TV එකෙයි සඟරාවලයි ඉන්න අයව අනුකරණය කරන එක හරිද? - 2වෙනි කොටස: පිරිමි ළමයින්ට

TV එකෙයි සඟරාවලයි ඉන්න අයව අනුකරණය කරන එක හරිද? - 2වෙනි කොටස: පිරිමි ළමයින්ට

 ගොඩක් චරිතවල දකින්නේ මොන වගේ අයද?

 පහත ලැයිස්තුවල තියෙන ලක්ෂණ දිහා බලලා ප්‍රශ්නවලට උත්තර දෙන්න.

1වෙනි ලැයිස්තුව

2වෙනි ලැයිස්තුව

කැරලිකාරයි

ගරු කරනවා

ආත්මාර්ථකාමියි

විශ්වාසවන්තයි

දරුණුයි

අනුකම්පා කරනවා

කම්මැලියි

කඩිසරයි

නොසැලකිලිමත්

වගකීමෙන් වැඩ කරනවා

රවට්ටනවා

අවංකයි

  1.   ඔයා ෆිල්ම්වල, TV එකේ, සඟරාවල දකින පිරිමි ළමයින්ට තියෙන්නේ කොයි ලැයිස්තුවේ ලක්ෂණද?

  2.   ඔයා කැමති අනිත් අය ඔයාව කොයි ලැයිස්තුවේ ලක්ෂණ තියෙන කෙනෙක් හැටියට දකිනවාටද?

 ඔයා 1වෙනි ප්‍රශ්නෙට උත්තරේ 1වෙනි ලැයිස්තුවෙනුත් 2වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2වෙනි ලැයිස්තුවෙනුත් තෝරන්න ඇති. ඒකෙන් පේන්නේ ඔයා TV එකෙයි සඟරාවලයි දකින පිරිමි ළමයි වගේ නොවෙන්න පුළුවන් කියලයි. අනිත් එක ඔයා 1වෙනි ලැයිස්තුවේ ලක්ෂණ තියෙන අය වගේ වෙන්න ඕන කියලා හිතන්නත් එපා. ඒකට හේතුව බලමු.

  •   TV එකෙයි ෆිල්ම්වලයි පිරිමි ළමයින්ව පෙන්වන්නේ දරුණු, කැරලිකාර අය විදිහටයි. TV එකෙයි, ෆිල්ම්වලයි, ක්‍රීඩාවලයි ඉන්න ජනප්‍රිය පිරිමි ළමයි “සවිශක්තිය තියෙන දරුණු පුද්ගලයන්. . . . ඒකෙන් දෙන්න හදන පණිවිඩය තමයි පිරිමියා කැරලිකාර චණ්ඩියෙක් නම් එයායි නියම වැඩකාරයා” කියලා පොතක සඳහන් වෙනවා.—Why Boys Don’t Talk—and Why It Matters.

     හිතන්න දෙයක්: ඒ වගේ කේන්ති ගන්න කැරලිකාර කෙනෙක්ට පුළුවන්ද හොඳ යාළුවෙක් වෙන්න, පෑහිලා වැඩ කරන කෙනෙක් වෙන්න, හොඳ සැමියෙක් වෙන්න? කේන්ති ගියාම වැඩි ශක්තියක් ඕන කේන්තිය පිට කරන්නද නැත්නම් පාලනය කරගන්නද? ඔයා අවබෝධය තියෙන කෙනෙක් කියලා පේන්නේ කොයි විදිහට ක්‍රියා කළොත්ද?

     බයිබලේ දෙන උපදෙස: “ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය. තමාවම පාලනය කරගන්න තැනැත්තා නුවරක් අල්ලාගන්නා කෙනෙකුටත් වඩා බලවත්ය.”—හිතෝපදේශ 16:32.

    ඔයාට කේන්තිය පාලනය කරගන්න පුළුවන් නම් ඔයාගේ හිත දක්ෂ සෙබළෙක්ගේ හිතටත් වඩා ශක්තිමත්

  •   මාධ්‍යයෙන් පෙන්වන්නේ පිරිමි අය කාමුකත්වයෙන් උමතු වෙලා ඉන්න අය විදිහටයි. “ෆිල්ම්වලයි, TV එකෙයි පෙන්නන පිරිමි ළමයි ඇඳුම් මාරු කරනවාට වඩා පෙම්වතියන්ව මාරු කරනවා” කියලා වයස අවුරුදු 17ක ක්‍රිස් කියනවා. වයස අවුරුදු 18ක් වන ගැරීත් මෙහෙම කියනවා. “මාධ්‍යයෙන් පෙන්නන්නේ පිරිමි ළමයි කාමුකත්වයෙන් උමතු වෙලා ඉන්නවා කියලයි.” උදාහරණයකට, පිරිමි ළමයින්ගේ එකම අරමුණ පාටියකට ගිහින් වෙරි වෙනකම් බීලා ලිංගික සම්බන්ධකම් පවත්වන එකයි කියලා සමහර ෆිල්ම්වල පෙන්වනවා.

     හිතන්න දෙයක්: ඔයා කැමති ෆිල්ම්වලයි, TV එකෙයි පෙන්වනවා වගේ කෙනෙක් වෙන්නද? නියම පිරිමිකම කියන්නේ ගෑනු අයව ලිංගික භාණ්ඩ විදිහට සලකන එකද නැත්නම් ඒ අයට ගෞරවයෙන් සලකන එකටද?

     බයිබලේ දෙන උපදෙස: “සෑම කෙනෙකුම තමාගේ ශරීරය ශුද්ධව හා ගෞරවනීය ආකාරයකින් පාලනය කරගත යුතු අන්දම ගැන දැන සිටිය යුතුයි. . . . කිසිවෙකු කාමාශාවෙන් දැවිදැවී නොසිටිය යුතුයි.”—1 තෙසලෝනික 4:4, 5.

  •   මාධ්‍යයෙන් පෙන්වන්නේ පිරිමි ළමයි කිසි වගකීමෙන් වැඩ කරන්නේ නැති අය හැටියටයි. ජනප්‍රිය චිත්‍රපටිවලයි, TV එකෙයි යෞවනයන්ව හුඟක් වෙලාවට පෙන්වන්නේ කම්මැලි, කිසි වැඩක් හරියට කරන්නේ නැති අය විදිහටයි. සමහර වැඩිහිටියන්ට පිරිමි ළමයින්ට තියෙන හැකියාවන් ගැන විශ්වාසයක් නැත්තෙත් ඒ නිසා වෙන්න පුළුවන්. කලින් සඳහන් කරපු ගැරී මෙහෙමත් කියනවා. “මට අවුරුදු 16ක් වුණාම රැකියාවක් හොයාගන්න එක ලේසි වුණේ නැහැ. මොකද මගේ පළාතේ ඉන්න ව්‍යාපාරිකයන් වැඩට ගන්න කැමති වුණේ ගෑනු අයවයි. ඒගොල්ලෝ හිතන්නේ යෞවනයන් වගකීමෙන් වැඩ කරන්නේ නැති එහෙමත් නැත්නම් විශ්වාස කරන්න බැරි අය කියලයි.”

     හිතන්න දෙයක්: යෞවනයන් වගකීමෙන් වැඩ කරන්නේ නැති, විශ්වාස කරන්න බැරි අය කියලා හංවඩුගහන එක සාධාරණද? ඔයා එහෙම කෙනෙක් නෙමෙයි කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

     බයිබලේ දෙන උපදෙස: “ඔබ තරුණයෙකු වූ පමණින් කිසි කෙනෙකුට ඔබව සුළු කිරීමට ඉඩ නොදෙන්න. ඔබ කතා කරන ආකාරයෙන්ද ඔබේ හැසිරීමෙන්ද ඔබේ ප්‍රේමයෙන්ද විශ්වාසයෙන්ද නිර්මලකමින්ද දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට ආදර්ශයක් වන්න.”—1 තිමෝති 4:12.

 ඔයා දැනගෙන ඉන්න ඕන දේ

  •   මාධ්‍යයට පුළුවන් ඔයාට ලොකු බලපෑමක් කරන්න. උදාහරණයකට, දැන් තියෙන අලුත්ම විලාසිතාව අනුකරණය කරන්න ඕන කියන හැඟීම ඔයා තුළ ඇති කරන්න මාධ්‍යයට පුළුවන්. “පිරිමි ළමයි අඳින්න ඕන ගෑනු ළමයින්ව වහ වැටෙන විදිහට කියලා වෙළඳ දැන්වීම්වලින් පෙන්නනවා. ඒ බලපෑමට මාත් කීප වතාවක්ම අහු වුණා. මමත් ඒ වගේ ඇඳුම් අරන් තියෙනවා” කියලා 17 හැවිරිදි කාලන් කියනවා.

     හිතන්න දෙයක්: ඔයා අඳින විදිහෙන් පේන්නේ ඔයාවමද නැත්නම් වෙන කෙනෙක්වද? අලුත්ම මෝස්තරයේ ඇඳුම් පැළඳුම් ගන්න ඔයා සල්ලි වියදම් කරද්දී ඒකේ වාසිය කාටද?

     බයිබලේ දෙන උපදෙස: “මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න.”—රෝම 12:2.

  •   ඔයා ෆිල්ම්වලයි, සඟරාවලයි, TV එකෙයි ඉන්න අයව අනුකරණය කරනවා නම් ගෑනු ළමයි ඔයාට කැමති වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ ගැන ගෑනු ළමයි කීපදෙනෙක් කියන්නේ මෙහෙමයි.

    •  “සැබෑ තත්වය වසං කරන, රඟපෑමක් කරන අයට මං කැමති නැහැ. ඒ විදිහට කැපිලා පේන්න හදන පිරිමි ළමයෙක්ව අනිත් අයට විහිළුවක් වෙනවා.”—ඇනා.

    •  “අලුත්ම ගැජට් තියෙනවා නම්, මේ විදිහට ඇන්දා නම් ගෑනු ළමයි කැමති වෙයි කියලා පිරිමි ළමයින්ට හිතන්න ව්‍යාපාරිකයෝ සලස්සනවා. ඒත් ගෑනු ළමයි දැනුම් තේරුම් ඇති අය වෙද්දී එයාලා කැමති වෙන්නේ ඒ වගේ බොළඳ දේවලට නෙමෙයි. එයාලා බලන්නේ ගතිගුණ හොඳද, අනිත් අයට හොඳින් සලකනවාද කියලයි. ඇත්තටම, පිරිමි ළමයෙක් අවංක, විශ්වාසවන්ත කෙනෙක් වෙනවටයි ගෑනු ළමයෙක් කැමති.”—ඩැනියේල්.

    •  “හුඟක් වෙලාවට ස්මාට් කොල්ලෙක් අහංකාර, කේන්ති ගන්න කෙනෙක්. ඒ වගේ කෙනෙක්ව ආශ්‍රය කරන්න මං කැමති නැහැ. ලෝකේ ඉන්න ලස්සනම කොල්ලා එයා වුණත් ගතිගුණ හොඳ නැත්නම් එයාගේ ලස්සනෙන් ඇති වැඩක් නෑ.”—ඩයනා.

     හිතන්න දෙයක්: සාමුවෙල් කියන පිරිමි ළමයා ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “සාමුවෙල් යෙහෝවා දෙවි හා මනුෂ්‍යයන් ඉදිරියේ ප්‍රසාදය ලබමින් වැඩුණේය.” (1 සාමුවෙල් 2:26) සාමුවෙල් වගේ හොඳ නමක් දිනාගන්න නම් ඔයා දියුණු කරගන්න ඕන මොන ගුණාංගද?

     බයිබලේ දෙන උපදෙස: “පුරුෂයන් මෙන්” වෙන්න.—1 කොරින්ති 16:13.

 ඔයාට කරන්න පුළුවන් දේ

  •   දැක්ක ගමන් අනුකරණය කරන්නේ නැතුව දෙපාරක් හිතන්න. “මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම එනම්, තම ඉඳුරන් පිනවීමේ ආශාවත් තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත් තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාවත් පියාණන්ගෙන් පැමිණෙන දේවල් නොව මේ ලෝකයේ දක්නට තිබෙන දේවල්ය.”—1 යොහන් 2:16.

     ඒ වගේ දේවල් සාමාන්‍ය දේවල් කියලා පෙන්නලා අයුතු ප්‍රයෝජන ගන්නයි මාධ්‍යය බලන්නේ. ඒ නිසා දකින දකින දේ අනුකරණය කරන්න කලින් දෙපාරක් හිතන්න. ඔයා දකින දේවල් වෙළඳ ව්‍යාපාරිකයන් හුඟක් වෙලාවට නිර්මාණය කරන්නේ සල්ලි හම්බ කරගන්නයි.

  •   ඔයාව අඹන්න මාධ්‍යයට ඉඩ දෙන්න එපා. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “දෙවි ලබා දෙන අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න. ඒ සඳහා නිවැරදි දැනුම ලබාගෙන දෙවිගේ ගතිලක්ෂණවලට එකඟව ඔබේ පෞද්ගලිකත්වය අලුත් කරගත යුතුයි.” ඒකේ කියන විදිහට ඔයා වෑයම් කරන්න ඕන මාධ්‍යයෙන් පෙන්වන ගතිලක්ෂණ ඇති කෙනෙක් වෙන්න නෙමෙයි. ඔයා වෑයම් කරන්න ඕන දෙවිගේ ගතිලක්ෂණවලට අනුව පෞද්ගලිකත්වය හදාගන්නයි.—කොලොස්සි 3:10.

     ඔයා මේ ලිපිය කියවන්න පටන්ගද්දී බැලුව ලක්ෂණ මතක් කරගත්තොත් ඒ උපදෙස පිළිපදින්න ඔයාට ලේසි වෙයි. ඔයා කැමති වුණේ අනිත් අය ඔයාව කොයි වගේ කෙනෙක් විදිහට දකිනවාටද? ඒ ලක්ෂණ නැත්නම් ඒවා ඇති කරගන්නත් තියෙන හොඳ ගතිගුණ තව දියුණු කරගන්නත් දැන්ම පටන්ගන්න.

  •   ආදර්ශයට ගන්න පුළුවන් අය. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය” කියලයි බයිබලයේ කියන්නේ. (හිතෝපදේශ 13:20) ප්‍රඥාවන්තයන් හැටියට ඔයා දකින්නේ කාවද? ඔයාගේ තාත්තා, මාමා, බාප්පා වගේ අයවද? ඒ අය ඥානවන්ත විදිහට වැඩ කරන අය නම් එයාලව ආදර්ශයට ගන්න පුළුවන්. හිතලා බලලා වැඩ කරන මිතුරන්ව හෝ වැඩිහිටියන්ව ආදර්ශයට ගන්නත් පුළුවන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල ආදර්ශවත් පුරුෂයන් ඉන්නවා. බයිබලයෙත් යෞවනයන්ට හොඳ ආදර්ශයක් තිබ්බ තීතස් වගේ අය ගැන සඳහන් කරලා තියෙනවා. (තීතස් 2:6-8) ඒ අයව ආදර්ශයට ගන්නත් පුළුවන්.

     යෝජනාවක්: ආබෙල්, නෝවා, ආබ්‍රහම්, සාමුවෙල්, එලියා, යෝනා, යෝසෙප් සහ පේතෘස් වැනි ආදර්ශවත් පුරුෂයන් ගැන ‘ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්’ කියන පොතේ සඳහන් වෙනවා.