Skip to content

යොවුන් සිතේ ගැටලු

ව්‍යායාම් කරන්න ආසාවක් ඇති කරගන්නේ කොහොමද?

ව්‍යායාම් කරන්න ආසාවක් ඇති කරගන්නේ කොහොමද?

 මං ව්‍යායාම් කරන්න ඕන ඇයි?

 අද කාලේ හුඟක් යෞවනයන් ප්‍රමාණවත් තරම් ව්‍යායාම කරන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ එයාලගේ ශරීර සෞඛ්‍යයට හානියක් වෙන එක විතරයි. බයිබලයේ කියලා තියෙනවා “ව්‍යායාමයෙන් ප්‍රයෝජන” ලැබෙනවා කියලා. (1 තිමෝති 4:8, පැරණි අනුවාදය) ප්‍රයෝජන කිහිපයක් ගැන බලමු.

  •   සතුටින් ඉන්න උදව් වෙනවා. ව්‍යායාම් කරද්දී මොළයෙන් මුදාහරින එන්ඩෝෆින් කියන රසායන ද්‍රව්‍ය සතුටින් ඉන්නත් සන්සුන්ව ඉන්නත් උදව් වෙනවා. බෙහෙතක් නොකරම, මානසික අවපීඩනය සුව කරගන්න ව්‍යායාම දායක වෙනවා කියලා සමහරු කියන්නේ ඒ නිසයි.

     “පාන්දරින්ම නැඟිටලා දිව්වාම අමුතු ජවයක් ලැබෙනවා. මුළු දවසෙම සතුටින් ඉන්නත් මූඩ් ගහන්නේ නැතුව ඉන්නත් ඒක මට උදව් වෙනවා.”—රෙජිනා.

  •   හොඳ පෙනුමක් පවත්වගන්න උදව් වෙනවා. සමබරව ව්‍යායාම් කරන එක ශක්තිමත් සිරුරක් ඇතුව ඉන්නත් නිරෝගීව ඉන්නත් තමන් ගැනම හොඳ හැඟීමක් ඇතුව ඉන්නත් උදව් වෙනවා.

     “අවුරුද්දකට කලින් එක සැරයක්වත් මට කරන්න බැරි වුණු ව්‍යායාම එක දිගට දහසැරයක්ම වුණත් දැන් කරන්න පුළුවන් නිසා මට ගොඩක් සතුටුයි. හැබැයි ඊටත් වඩා මං සතුටු වෙන්නේ මං දැන් හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වගන්න උත්සාහ කරන එක ගැනයි.”—ඔලිවියා.

  •   ආයු කාලය වැඩි කරගන්න උදව් වෙනවා. ව්‍යායාම් කරන එක රුධිර සංසරණ පද්ධතියෙත් ශ්වසන පද්ධතියෙත් ක්‍රියාවලිය හොඳින් ඉටු වෙන්න දායක වෙනවා. ඒ වගේම හෘද ස්පන්දන වේගය වැඩි කරන ව්‍යායාම කරන එක හුඟදෙනෙකුගේ ජීවිත බිලි අරන් තියෙන කිරීටක ධමනි රෝගය වළක්වගන්න උදව් වෙනවා.

     “පුරුද්දක් විදිහට ව්‍යායාම් කරනවා නම් අපි පෙන්වන්නේ අපේ නිර්මාතෘ අපිට දීලා තියෙන ශරීරය අපි ඇත්තටම අගය කරනවා කියලයි.”—ජෙසිකා.

 මේක මතක තියාගන්න: ව්‍යායාම් කරන එක මේ කාලේදී විතරක් නෙවෙයි ඉදිරියේදීත් යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වගන්න උදව් වෙනවා. යෞවනියක් වන ටොන්යා කියන දේ බලන්න. “සමහර දවස්වලට ව්‍යායාම් නොකර ඉන්න මට නිදහසට හේතු මැවෙනවා. ඒත් කොහොම හරි ව්‍යායාම් කළාම දැනෙන්නේ පුදුම සතුටක්. එහෙම කළා කියලා මං කවදාවත් පසුතැවිලා නෑ.”

කාර් එකක් හරියට නඩත්තු කළේ නැත්නම් කාලයක් ගියාම ඒක හරියට වැඩ කරන්නේ නැතුව යනවා. ව්‍යායාම් කළේ නැත්නම් ඒ දේම අපේ ශරීරයටත් වෙන්න පුළුවන්

 මං ව්‍යායාම් කරන්නේ නැත්තේ ඇයි?

 ව්‍යායාම් නොකරන්න හුඟක් අයට හේතු වෙලා තියෙන දේවල් කීපයක් බලන්න.

  •   උවමනාවක් නැතිකම. “හුඟක් යෞවනයන් හිතන්නේ ලෙඩ වෙන්නේ වයසට ගියාම කියලයි. ඒ නිසා යෞවන කාලේදී කිසිම දෙයක් ගැන බය වෙන්න ඕනෙ නෑ කියලයි එයාලා හිතන්නේ.”—සොෆියා.

  •   වෙලාවක් නැතිකම. “මං හුඟක් කාර්යබහුල නිසා කෑම කන්න, නිදාගන්න පවා වෙලාවක් සැලසුම් කරන්න වෙනවා. ඒ අස්සේ ව්‍යායාම් කරන්න වෙලාවක් හොයාගන්න එක තමයි අමාරුම දේ.”—ක්ලැරිසා.

  •   ජිම් එකකට යන්න හැකියාවක් නැතිකම. “ෆිට් එකේ ඉන්න එක ලේසි නෑ. ජිම් එකට යන්නත් ඉතිං ලොකු ගාණක් ගෙවන්න එපැයි.”—ජීනා.

 හිතන්න දෙයක්:

 ව්‍යායාම් කරන්න ඔයාට තියෙන ලොකුම බාධාව මොකක්ද? ඒ බාධාව ජය ගන්න ඔයාගේ පැත්තෙන් ලොකු වෑයමක් දරන්න වෙයි. හැබැයි ඒ වෑයම දැරුවොත් ඔයාට පසුතැවෙන්න වෙන්නේ නැහැ. මොකද ඒකෙන් ඔයාට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.

 ව්‍යායාම් කරන්න මට උදව් වෙන්නේ මොනවාද?

 යෝජනා කීපයක් බලන්න.

  •   නිරෝගී ශරීර සෞඛ්‍යයක් පවත්වගන්න කරන්න ඕන දේවල් ඔයාම කරන්න. අනිත් අය මත යැපෙන්න එපා.—ගලාති 6:5.

  •   නිදහසට කරුණු කියන්න එපා. (දේශනාකාරයා 11:4) උදාහරණෙකට ව්‍යායාම් කරන්න නම් ජිම් එකකටම යන්න ඕනෙ කියලා හිතන්න එපා. ඔයාට සතුටක් ලැබෙන ක්‍රියාකාරකමක් තෝරගෙන පුරුද්දක් විදිහට දිගටම ඒ දේ කරන්න.

  •   අනිත් අයගෙනුත් අහලා බලන්න එයාලා ව්‍යායාම් කරන්න තෝරගෙන තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා.—හිතෝපදේශ 20:18.

  •   නිශ්චිත කාලසටහනක් තියාගන්න. ජය ගන්න පුළුවන් ඉලක්ක තියාගන්න. ඒ ඉලක්ක ජය ගත්තාම ඒවා සටහන් කරගන්න.—හිතෝපදේශ 21:5.

  •   ඔයාත් එක්ක ව්‍යායාම් කරන්න කැමති යාළුවෙක්ව හොයාගන්න. අතපසු නොකර දිගටම ව්‍යායාම් කරන්න ඒක උදව් වෙයි.—දේශනාකාරයා 4:9, 10.

  •   ඉලක්ක කරගත්ත විදිහට ව්‍යායාම් කරන්න බැරි වෙන අවස්ථාවන් එන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඒ වගේ දේවල් වෙද්දී උත්සාහය අත්හරිනවා වෙනුවට දිගටම ව්‍යායාම් කරන්න.—හිතෝපදේශ 24:10.

 සමබර වෙන්න

 බයිබලයේ කියනවා පුරුෂයන් සහ ස්ත්‍රීන් දෙගොල්ලන්ම “සීමාව දැනගෙන” කටයුතු කරන්න ඕනෙ කියලා. (1 තිමෝති 3:2, 11) ඒ නිසා ව්‍යායාම් කරද්දීත් සමබර වෙන්න. සීමාවක් නැතුව ව්‍යායාම් කරන්න ගියොත් ඔයා ඕනෑවට වඩා පෙනුම ගැන අවධානය දෙන කෙනෙක් කියලා අනිත් අය හිතයි. යෞවනියක් වන ජූලියා මෙහෙම කියනවා. “පිරිමියෙක් කොච්චර කාය ශක්තිය වඩවගෙන තිබුණත් බුද්ධිය වර්ධනය කරගෙන නැත්නම් ඒකෙන් ඇති වැඩක් නෑ. ඒ වගේ කෙනෙක්ට නම් කවදාවත් මං කැමති වෙන්නේ නෑ.”

 ව්‍යායාම් කරන්න කෙනෙක්ව පොලඹවන්න හිතාගෙන පෝස්ටර්වල ලියලා තියෙන දිරිගන්වන වැකි ගැනත් කල්පනාවෙන් ඉන්න. මොකද ඒවාවලින් දිරිගන්වන්නේ කෙනෙක්ට කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා කරන්න කියලයි. “මැරෙන තරමට මහන්සියි කියලා දැනෙද්දී තව දහ වතාවක් ඒ ව්‍යායාමය කරන්න” වගේ උපදෙස් තමයි ඒ වැකිවල තියෙන්නේ. ඒවාට එකඟව ව්‍යායාම් කරන්න ගියොත් ඔයාගේ ශරීර සෞඛ්‍යයට හානියක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ‘වඩා වැදගත් දේවලට’ අවධානය දෙන්නත් ඔයාට බැරි වෙයි.—ෆිලිප්පි 1:10.

 ව්‍යායාම් කරන්න ඔයාව දිරිගැන්වෙයි කියලා හිතාගෙන කරන සමහර දේවල් ගැනත් පරෙස්සම් වෙන්න ඕනේ. සමහරවිට ඒ දේවලින් දිරිගැන්වෙනවා වෙනුවට අධෛර්යයට පත් වෙන්න ඉඩ තියෙනවා. යෞවනියක් වන වේරා කියන දේ බලන්න. “හුඟක් ගැහැනු ළමයි එයාලා වෙන්න ආස විදිහේ අයගේ පින්තූර තියන් ඉන්නවා. ව්‍යායාම් කරන්න කම්මැලි හිතෙන වෙලාවට දිරිගැන්වෙයි කියලා හිතාගෙන එයාලා ඒ පින්තූර දිහා බලනවා. හැබැයි ඒකෙන් වෙන්නේ තමන්ගේ පෙනුම පින්තූරේ ඉන්න කෙනාගේ පෙනුමත් එක්ක සසඳලා තවත් අධෛර්යය වෙන එක විතරයි. පෙනුම ගැනම හිතහිත ළත වෙනවා වෙනුවට හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වගන්න මහන්සි වෙන එක තමයි හොඳම දේ.”