Skip to content

පච්ච කොටාගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

පච්ච කොටාගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 පච්ච කොටන එක ගැන බයිබලේ සඳහන් වෙන්නේ එකම එක තැනක විතරයි. ඒ ලෙවී කතාව 19:28යි. “ඔබේ ශරීරයේ පච්ච කොටා නොගන්න” කියලා එතන සඳහන් වෙනවා. දෙවියන් ඒ ආඥාව දුන්නේ අතීතයේ හිටිය ඊශ්‍රායෙල් ජාතියටයි. දෙවියන් එහෙම කිව්වේ ඇයි? ඔවුන් අවට ජීවත් වුණු ජාතීන් එක එක නම්, සංකේත වගේ දේවල් ඇඟේ කොටාගත්තා. ඒ නිසා පච්ච කොටාගන්න එපා කියලා දෙවියන් කිව්වේ ඊශ්‍රායෙල්වරුන් අනිත් ජාතීන්ට වඩා වෙනස් කියලා පැහැදිලිව පෙන්වන්නයි. (ද්විතීය කතාව 14:2) පච්ච කොටාගන්න එපා කියලා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු ආඥාව අද ඉන්න ක්‍රිස්තියානීන්ට අදාළ නොවුණත් ඒ ආඥාවට ඇතුළත් වෙන ප්‍රතිපත්තිය ගැන සැලකිලිමත් වෙන එක හරිම වැදගත්.

යේසුස්ගේ අනුගාමිකයන් පච්ච කොටාගත්තට කමක් නැද්ද?

 මේ බයිබල් ප්‍රතිපත්ති ගැන හිතන්න.

  •   ‘ස්ත්‍රීන් තුළින් විනීතකම පිළිබිඹු විය යුතුයි.’ (1 තිමෝති 2:9) බයිබලේ සඳහන් ඒ උපදෙස ස්ත්‍රීන්ට විතරක් නෙමෙයි පුරුෂයන්ටත් අදාළයි. විනීතව හැසිරෙන කෙනෙක් අනිත් අයගේ හැඟීම්වලට ගරු කරනවා. ඒ වගේම තමාටම අනවශ්‍ය අවධානයක් ඇදගන්න එක එක දේවල් කරන්නෙත් නැහැ.

  •   සමහරු පච්ච කොටාගන්නේ තමන් කවුද කියන එක ලෝකෙට පෙන්නන්නයි. එහෙමත් නැත්නම් තමන්ගේ ඇඟට ඕන දෙයක් කරගන්න තමන්ට අයිතිය තියෙනවා කියලා පෙන්නන්නයි. හැබැයි බයිබලේ මෙහෙම කියනවා. ‘ඔබේ ශරීර ජීවමාන, ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කරන්න. ඔබ එසේ කළොත් බුද්ධිමත් ලෙස දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න ඔබට හැකි වනු ඇත.’ (රෝම 12:1) ඒ පදේ අපිව දිරිගන්වන්නේ බුද්ධිමත් ලෙස හිතලා බලලා වැඩ කරන්න කියලයි. ඒ නිසා පච්චයක් කොටාගන්න කලින් ඇයි මම ඒක කරගන්න හදන්නේ කියලා හිතලා බලන එක හොඳ නැද්ද? පච්චයක් කොටාගන්න හදන්නේ ඒක නව රැල්ලේ විලාසිතාවක් නිසාද? එහෙම නැත්නම් මොකක් හරි කල්ලියකට සම්බන්ධයි කියලා පෙන්නන්නද? හැබැයි මේක අමතක කරන්න එපා. ඔයා ආස වුණත් නැතත් පච්ච කොටාගත්තට පස්සේ ඒවා මැකෙන්නේ නැහැ. ඒ නිසා පච්චයක් කොටන්න කලින් ඇයි මං ඒක කරන්නේ කියන එක ගැන දෙපාරක් හිතන්න.—හිතෝපදේශ 4:7.

  •   “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි. එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.” (හිතෝපදේශ 21:5) ගොඩක් අය පච්චයක් කොටාගන්න තීරණය කරන්නේ දුර දිග බලන්නේ නැතුවයි. ඒත් මේ ගැන ටිකක් හිතන්න. සමහර වෙලාවට පච්ච කොටාගෙන ඉන්න කෙනෙක්ව රැකියාවලට නොගන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ අයව ආශ්‍රය කරන්නත් සමහර අය අකමැති වෙන්න පුළුවන්. පච්ච කොටාගන්න ගොඩක් සල්ලි යන්න පුළුවන් වගේම ඒවා මකාගන්න එකත් හරිම වේදනාකාරියි. සමීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා පච්ච කොටාගත්ත හුඟක් අය පස්සේ එහෙම කරගත්තු එක ගැන දුක් වෙනවා කියලා. ඒ නිසා පච්ච මකන එකත් අද ලොකු ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා.