Skip to content

යොවුන් සිතේ ගැටලු

දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් කොහොමද?

දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් කොහොමද?

 ඔයා දැනගෙන ඉන්න ඕන දේ

 දෙමාපියන් ඔයාව විශ්වාස කරන්නේ ඔයා අවංකව දේවල් කරන තරමටයි. මෙහෙම හිතන්න. අම්මායි, තාත්තායි ඔයාට දාලා තියෙන නීතිවලට කීකරු වෙන එක ණයක් ගෙවනවා වගේ වැඩක්. ඔයා ඒවාට කීකරු වෙනවා කියන්නේ ණය වාරිකය වෙලාවට ගෙවනවා කියන එකයි. ඒත් ඔයා අකීකරු වෙනවා කියන්නේ ණය වාරිකය ගෙවන එක මඟහරිනවා කියන එකයි. ණය වාරිකය හරියට ගෙවන්නේ නැති අයට ආයතනවලින් ආයෙත් ණයට දෙන්නේ නැහැ කියලා ඔයා දන්නවානේ? දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න එකත් ඒ වගේ තමයි. ඔයා කීකරු වුණොත් දෙමාපියන්ට විශ්වාසවන්තව දේවල් කළොත් එයාලා, ඔයාව තව වැඩියෙන් විශ්වාස කරයි. නිදහසත් දෙයි.

 දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න නම් ඔයා වගකීමෙන් වැඩ කරන කෙනෙක් කියලා එයාලට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. ඒකට යම් කාලයක් යනවා.

 ඇත්ත සිදුවීමක්: “යෞවන කාලේදී අම්මායි, තාත්තායි මගෙන් මොනවාද බලාපොරොත්තු වුණේ කියලා මං දැනං හිටියා. මං හරිම කීකරු දරුවෙක් විදිහට පෙන්නලා එයාලට හොරෙන් මට ඕනෙ දේවල් කළා. අන්තිමට වුණේ අම්මාටයි, තාත්තාටයි මං ගැන තිබුණ විශ්වාසය නැති වුණ එක. ඉතිං විශ්වාසය දිනාගන්න නම් කරන්න ඕනෙ එකම දේ අවංක වෙන එකයි කියලා මට තේරුණා. ඔයා විශ්වාසවන්ත වුණොත් එයාලත් ඔයාව විශ්වාස කරයි.”—ක්‍රෙග්.

 ඔයාට කරන්න පුළුවන් දේ

 ඔයාගේ අතින් වරදක් වුණොත් ඇත්තම කියන්න. හැමෝම අතින් වැරදි, අඩුපාඩුකම් වෙනවා. ඒත් බොරු කියලා නැත්නම් ඇත්ත හංගලා ඒවා වහන්න ගියොත් දෙමාපියන්ට ඔයා ගැන තියෙන විශ්වාසය නැත්තටම නැති වෙලා යයි. අනිත් අතට ඔයා දිගටම අවංකව දේවල් කරද්දී, ඔයාගේ වැරදි අඩුපාඩුකම් පිළිගනිද්දී ඔයා අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් කියලා දෙමාපියන්ට තේරෙයි. ඒත් එක්කම තව වැඩියෙන් ඔයාව විශ්වාස කරන්නත් පටන්ගනියි.

 “වැරදි, අඩුපාඩුකම් වෙන හැම වෙලාවකම අම්මලාට අපි ගැන තියෙන විශ්වාසය බිඳෙන්නේ නෑ. අපි වැරදි හැංගුවොත් තමයි විශ්වාසය බිඳෙන්නේ.—ඇනා.

 බයිබලේ දෙන උපදෙස: ‘අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.’—හෙබ්‍රෙව් 13:18.

  •   හිතන්න දෙයක්: ඔයා යන්නේ කොහෙද, ගිහින් මොනවාද කරන්නේ කියලා අම්මායි, තාත්තායි අහද්දී ඔයා ඇත්තම කියනවාද? එහෙම නැත්නම් කොහෙද ගියේ, මොනවාද කළේ කියලා අහද්දී ඔයා සමහර දේවල් එයාලගෙන් හංගනවාද?

 වගකීමක් ඇතුව වැඩ කරන්න. අම්මායි, තාත්තායි කියන කිසිම දේකට පිටින් යන්න එපා. ඔයාට දීලා තියෙන ගෙදරදොරේ වැඩ ටික හරියට කරන්න. වෙලාවට වැඩ කරන්න. ඉස්කෝලේ වැඩ හිතට අරගෙන හොඳට කරන්න. ගෙදරට එන්න ඕනෙ වෙලාව අම්මායි, තාත්තායි ඔයාට කියලා ඇති. ඒ වෙලාවට ගෙදර ඇවිත් ඉන්න.

 “යාළුවෝ එක්ක විනෝද වෙන්න අම්මායි, තාත්තායි ඔයාට ඉඩ දෙනවා. හැබැයි එයාලා කියනවා 9 වෙද්දී ගෙදර එන්න කියලා. ඒත් ඔයා රෑ දහයහමාරට විතර ගෙදර ආවොත් ඊළඟ දවසේ යාළුවෝ එක්ක විනෝද වෙන්න යන්න ඔයාට අවසර දෙන්නේ නැති වෙයි.”—රයන්.

 බයිබලේ දෙන උපදෙස: “සෑම කෙනෙක්ම තමාට පැවරී ඇති වගකීම ඉටු කළ යුතුයි.”—ගලාති 6:5.

  •   හිතන්න දෙයක්: වෙලාවට වැඩ කරන එක ගැන, ගෙදරදොරේ වැඩ කරන එක ගැන සහ දෙමාපියන් දාලා තියෙන ඔයා අකමැති නීතිවලට කීකරු වෙන එක ගැන ඔයාට තියෙන්නේ මොන වගේ නමක්ද?

 ඉවසන්න. දෙමාපියන්ට ඔයා ගැන තියෙන විශ්වාසය බිඳිලා නම් ඒක ආයෙත් ඇති කරගන්න ටිකක් කල් යනවා. එතකල් ඉවසීමෙන් දේවල් කරන්න.

 “මං ටිකෙන් ටික වයසින් වැඩි වෙද්දීත් අම්මලා මට එච්චර වගකීම් දෙන්නේ නැත්තේ ඇයි කියලා මං කල්පනා කළා. මං හිතාගෙන හිටියේ වයසින් වැඩි වෙනවාත් එක්කම අවබෝධයෙන් වැඩ කරන එකත් අපිට ඉබේම එනවා කියලා. මං වගකීමෙන් වැඩ කරන කෙනෙක් කියලා ඔප්පු කරලා පෙන්නන්නම් කියලා මං අම්මලාට කිව්වා. ඒකට ටික කාලයක් ගියා. ඒත් අන්තිමේදී මං සාර්ථක වුණා. දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න වැදගත් වෙන්නේ වයස නෙමෙයි අපි වැඩ කරන විදිහයි කියලා මං තේරුම්ගත්තා.”—රේචල්.

 බයිබලේ දෙන උපදෙස: “ඔබ කුමනාකාරයේ පුද්ගලයන්ද කියා නිරතුරුවම පරීක්ෂා කර බලන්න.”—2 කොරින්ති 13:5.

  •   හිතන්න දෙයක්: දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න නම් ‘ඔයා කුමනාකාරයේ’ කෙනෙක්ද කියලා පෙන්නන්නේ කොහාමද?

 යෝජනාවක්: වෙලාවට වැඩ කරන්න, ගෙදරදොරේ වැඩ ටික හරියට කරන්න, වෙලාවට ගෙදර එන්න වගේ දෙයක් කරන්න අදිටන් කරගන්න. ඒ අදිටන ගැන දෙමාපියන්ට කියන්න. එයාලා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලත් එයාලගෙන් අහන්න. ඊළඟට “ඔබේ පරණ පෞද්ගලිකත්වය අහක දැමිය යුතුයි. මන්ද ඒ පෞද්ගලිකත්වය හැඩගැසී තිබෙන්නේ ඔබ කලින් හැසිරුණු ආකාරයටය” කියලා බයිබලයේ දෙන උපදෙස අදාළ කරගන්න මහන්සි වෙන්න. (එෆීස 4:22) එතකොට කාලයක් යද්දී දෙමාපියන් ඔයාගේ වෙනස දකියි.