Skip to content

යොවුන් සිතේ ගැටලු

මං තෝරගන්න සංගීතය ගැන හිතලා බලන එක වැදගත්ද?

මං තෝරගන්න සංගීතය ගැන හිතලා බලන එක වැදගත්ද?

 “මං දවස පටන්ගන්නේ සින්දුවක් අහලා. කාර් එකට නැග්ගමත් අහන්නේ සින්දු. නිවාඩු පාඩුවේ ගෙදර ඉද්දිත්, ගේ අස්පස් කරද්දිත්, මොනවා හරි කියවද්දිත් අහන්නෙම සින්දු. සංගීතයෙන් තොර ලෝකයක් මට නෑ.”—කාර්ලා.

 කාර්ලාට වගේම ඔයාටත් සංගීතය ගැන ලොකු උනන්දුවක් තියෙනවාද? එහෙමනම් සංගීතයෙන් ලැබෙන ප්‍රයෝජන වගේම ඒකෙන් සිද්ධ වෙන හානි වළක්වගන්න විදිහ ගැනත් ඥානවන්තව සංගීතය තෝරගන්න පුළුවන් විදිහ ගැනත් දැනගන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.

 ප්‍රයෝජන

 සංගීතයට ඇහුම්කන් දෙන එක හරියට කෑමක් කනවා වගේ. නිසි දේ නිසි ප්‍රමාණයට ගන්නවා නම් ඒකෙන් යහපතක් වෙනවා. දැන් ඒ ගැන බලමු.

  •   සංගීතයට පුළුවන් ඔයාගේ මූඩ් එක හදන්න.

     “දවසම හරි නැත්නම් මගේ ප්‍රියතම සින්දු ඇහුවාම මූඩ් එක හැදෙනවා.”—මාක්.

  •   සංගීතයට පුළුවන් ඔයාව අතීතයට ගෙනියන්න.

     “හුඟක් වෙලාවට සින්දුවක් අහගෙන ඉද්දී අතීතයේ සුන්දර සිදුවීමක් මතක් වෙනවා. ඒ සින්දුව අහන හැම වෙලාවකම සතුටක් දැනෙනවා.”—ශීලා.

  •   සංගීතයට පුළුවන් බැඳීමක් ඇති කරන්න.

     “මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවකට ගිහින් ඉද්දී හැමෝම එකතු වෙලා අන්තිම ගීතිකාව ගායනා කෙරුවා. ඒ වෙලාවේ මගේ ඇස්වලට කඳුළු ආවා. මොකද අපි විවිධ භාෂා කතා කෙරුවත් ඒ ගීතිකාව නිසා අපි හැමෝම අතරේ බැඳීමක් ඇති වුණා.”—ටැමී.

  •   සංගීතයට පුළුවන් වටිනා ගුණාංග ඇති කරගන්න උදව් කරන්න.

     “සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙනගන්න එකෙන් තමන්ව පාලනය කරගන්නත් ඉවසන්නත් පුරුදු වෙනවා. ඒක දවසෙන් දෙකෙන් ඉගෙනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොඳ වාදකයෙක් වෙන්න නම් හොඳ පුහුණුවක් ඕනේ.”—ඇනා.

 මේක දැනගෙන හිටියාද? බයිබලයේ ලොකුම පොත ගීතිකා 150ක් තියෙන ගීතාවලිය පොතයි.

කෑමට ගන්න දේවල් තෝරලා බේරලා ගන්නවා වගේ සංගීතයත් තෝරලා බේරලා ගන්න

 හානි

 නරක් වෙච්ච කෑම විස වෙන්න පුළුවන්. සංගීතයත් ඒ වගේ. ඒකට හේතුව බලන්න.

  •   හුඟක් සින්දුවල තියෙන්නේ ලිංගිකත්වය ඉස්මතු කරන පදමාලා.

     “ලිංගිකත්වය ගැන තියෙන සින්දු තමයි අද ගොඩක් ජනප්‍රිය. ඉස්සර නම් ලිංගිකත්වය මතු කරන දේවල් එළිපිට කිව්වේ නෑ.”—හැනා.

     බයිබලේ දෙන උපදෙස: “වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි.” (එෆීස 5:3) ‘මං තෝරගන්න සංගීතය නිසා ඒ අවවාදයට කීකරු වෙන්න මට බැරි වෙනවාද’ කියලා හිතලා බලන්න.

  •   සංගීතයට පුළුවන් කෙනෙක්ව දුකට පත් කරන්න.

     “සමහරදාට මම රෑ තිස්සේ නිදි මරාගෙන අහන සින්දු නිසා මගේ හිතේ ඇඳෙන්නේ දුක හිතෙන දේවල්. ඒවා අහන එකෙන් මගේ හිතේ ඇති වෙන්නේ හානිකර සිතුවිලි.”—ටැමී.

     බයිබලේ දෙන උපදෙස: “සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න.” (හිතෝපදේශ 4:23) ‘මං අහන සංගීතය නිසා මම නිතරම හානිදායක දේවල් කල්පනා කරකර ඉන්නවාද’ කියලා හිතලා බලන්න.

  •   සංගීතයට පුළුවන් කේන්තියක් ඇති කරන්න.

     “කේන්තියක් ඇති වෙන, මං ගැනම පිළිකුලක් ඇති වෙන, වෛරයක් ඇති වෙන සංගීතය අහගෙන ඉන්න එක කොච්චර අනතුරක්ද කියලා මට නොදැනෙන්න පුළුවන්. මොකද ඒවා ඇහුවාට පස්සේ මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලා මට දැනිලා තියෙනවා. මගේ පවුලේ අයටත් ඒක දැනිලා තියෙනවා.”—ජෝන්.

     බයිබලේ දෙන උපදෙස: “ඇත්තෙන්ම ඔබ උදහස, කෝපය, අයහපත් ක්‍රියා, නින්දාසහගත කතා යනාදි සියලු දේවල් ඔබෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතුයි. ඔබේ මුවින් කිසි අසභ්‍ය කථාවක් පිට නොවිය යුතුයි.” (කොලොස්සි 3:8) ‘මං අහන සංගීතය නිසා මම කලහකාරී, අනිත් අයගේ හැඟීම් තකන්නේ නැති කෙනෙක් වෙනවාද’ කියලා හිතලා බලන්න.

 මතක තියාගන්න ඕන මොකක්ද? සංගීතය තෝරා බේරා ගන්න. ජූලි කියන යෞවනිය උත්සාහ කරන්නේ ඒදේ කරන්නයි. ඇය මෙහෙම කියනවා. “මං අහන්නේ මොන වගේ සින්දුද කියලා නිතරම හොයලා බලලා සුදුසු නැහැ කියලා හිතෙන ඒවා අයින් කරනවා. ඒක කරන එක ලේසි නැහැ. ඒත් කරන්න ඕන දේ ඒකයි කියලා මං දන්නවා.”

 ටාරා කියන යෞවනියත් ඒ වගේ දෙයක් කරන්න උත්සාහ කරනවා. ඇය කියන්නේ මෙහෙමයි. “සමහර වෙලාවට රේඩියෝ එකේ නියම බීට් එකක් තියෙන සින්දුවක් ඇහෙනවා. හැබැයි ඒකේ වචන අහගෙන ඉද්දි මට තේරෙනවා මීටර් එක මාරු කරන්න ඕන කියලා. එහෙම කරන එක හරියට රස කේක් කෑල්ලක් කන්න ගත්ත ගමන්ම කවුරු හරි ඒක උදුරලා ගන්නවා වගේ. ලිංගික දේවල් ඉස්මතු කරන සින්දුවක් අහන්නේ නැතුව ඉන්න මට ධෛර්යය තියෙනවා නම් බඳින්න කලින් ලිංගික ක්‍රියාවන් ප්‍රතික්ෂේප කරන්නත් මට පුළුවන් වෙයි. මට බලපෑමක් කරන්න සංගීතයට පුළුවන් කියන එක මම සුළුවට හිතන්නේ නෑ.”