Skip to content

යොවුන් සිතේ ගැටලු

මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද?—3වෙනි කොටස: බයිබල් කියවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න

මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද?—3වෙනි කොටස: බයිබල් කියවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න

 බයිබලය කියන්නේ ලොකු පොතක්. ඒක පෙරළලා බැලුවොත් බලන බලන තැන අකුරු. හැබැයි එහෙමයි කියලා ඔයා අකුරුවලට බය වෙන්න එපා. ඒ වෙනුවට ඒක රසවත් කෑමවලින් පිරුණු බුෆේ එකක් කියලා හිතන්න. බුෆේ එකකට ගියාම ඒකේ තියෙන හැම කෑමක්ම කන්න ඔයාට බැහැ. හැබැයි ඔයා ආස ආස කෑම ජාති ටික තෝරගෙන ඒවා හිතේ හැටියට රස විඳින්න ඔයාට පුළුවන්.

 බයිබලේ කියන මේ “රසවත් බුෆේ එකෙන්” උපරිම ප්‍රයෝජන ගන්න නම් ඔයා කියවන දේට හොඳ අවධානයක් දෙන්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ? ඒකට මේ ලිපිය ඔයාට උදව් වෙයි.

මේ ලිපියෙන්

 කියවන දේට හොඳ අවධානයක් දෙන එක වැදගත් ඇයි?

 ඔයා ඔයාගේ බයිබල් කියවීමට වැඩි අවධානයක් දෙන තරමට ඒකෙන් වැඩියෙන් ප්‍රයෝජන නෙළාගන්න ඔයාට පුළුවන්. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ඔයා ටී බෑග් එකක් අරන් ඒක උණු වතුරට ටික වෙලාවක් දාලා ගන්නවා. එතකොට ඒ තේ රසය වතුරට අල්ලගන්නේ ටිකයි. හැබැයි ඔයා ටී බෑග් එක උණු වතුරට දාලා හොඳට තැම්බෙන්න දෙනවා නම් ඒ තේ එකෙන් වැඩි රසයක් ගන්න ඔයාට පුළුවන්.

 ඔයාගේ බයිබල් කියවීමත් ඒ වගේ. හදවත, මනස කියන ටී බෑග් එක ටික වෙලාවකට දාලා ගත්තොත් ඔයාට කියවීමෙන් වැඩි රසයක් විඳින්න බැරි වෙයි. හැබැයි කියවන තොරතුරුවල ඔයාගේ හදවත, මනස හොඳට ගිල්ලලා තිබ්බොත් ඒ කියන්නේ කියවන දේ ගැන හොඳට කාලේ අරන් කල්පනා කළොත් ඔයාට කියවීමෙන් වැඩි රසයක් ලැබෙයි. 119වෙනි ගීතිකාව ලියපු කෙනාත් කළේ ඒකමයි. එයා කියනවා දෙවියන්ගේ නීතිය ගැන ‘දවස මුළුල්ලේ මම කල්පනා කරමි’ කියලා.—ගීතාවලිය 119:97.

 ඒ කියන්නේ වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව දවස තිස්සේම බයිබලේ අතේ තියාගෙන, ඒක කියව කියව ඒ ගැන කල්පනා කරන්න කියලද? නැහැ. ඒ වෙනුවට ගීතිකාකරු කියන්න හදන්නේ කියවපු දේ ගැන හොඳට කල්පනා කරන්න කාලේ ගන්න කියලා. මොකද එහෙම කරපු එක හොඳ තීරණ ගන්න එයාට උදව් වුණා.—ගීතාවලිය 119:98-100.

 “අපේ අම්මා මට සැරයක් මෙහෙම කිව්වා. ‘සතියට දවස් හතක් තියෙනවනේ. ඒ හතේ වැඩි හරියක්ම ඔයා කරන්නේ ඔයාගේ වැඩ. ඉතින් ඔය දවස් හතෙන් පුංචි කාලයක් යෙහෝවා වෙනුවෙන් දෙන්න බැරිද?’”—මෙලනි.

 ඔයා හොඳට කාලේ අරන් බයිබලේ තියෙන ප්‍රතිපත්ති ගැන හිතනවා නම් ඔයාට හොඳ තීරණ ගන්න පුළුවන්. උදාහරණෙකට හොඳ යාළුවෝ තෝරගන්න, වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එද්දී ඒකට අහුවෙන්නේ නැතුව ඉන්න ඒක ඔයාට උදව් වෙයි.

 බයිබලය කියවලා උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද?

  •   සැලැස්මක් හදාගන්න. අවුරුදු 15ක් වයස ජූලියා මෙහෙම කියනවා. “බයිබලේ කියවන්න ප්ලෑන් එකක් හදාගන්න. මොකද ප්ලෑන් එකක් තිබ්බොත් ඔයා කියවන්නේ කොයි කොටසද, කියවන්නේ කොයි වෙලාවටද, කියවන්නේ මොන වගේ තැනක ඉඳලාද කියලා ඔයා දන්නවා.”

  •   හොඳ වටපිටාවක් හදාගන්න. අවුරුදු 22ක් වයස ජියානා මෙහෙම කියනවා. “බයිබලේ කියවන්න නිස්කලංක තැනක් තෝරගන්න. ඔයා බයිබලේ කියවන්නේ මොන වෙලාවටද කියලා ඔයාගේ පවුලේ අයටත් කියන්න. එතකොට කියවන අතරතුරේදී එයාලා ඔයාට බාධා කරන එකක් නෑ.”

     ඔයා බයිබලේ කියවන්නේ ෆෝන් එකකින්, ටැබ් එකකින් නම් ඒකේ නෝටිෆිකේෂන් ඕෆ් කරලා තියාගන්න. ඒ වගේම ඩිවයිස් එකකින් කියවනවා වෙනුවට කෙළින්ම බයිබලෙන්ම කියවන්න පුළුවන්ද කියලා බලන්න. මොකද පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා ඩිවයිස් එකකින් කියවනවාට වඩා කෙළින්ම පොතකින් කියවද්දී කියවන දේ ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් කියලා. අනිත් අතට ඩිවයිස් එකකින් කියවද්දී අවධානය ලේසියෙන්ම කැඩෙන්න පුළුවන්.

     “ස්ක්‍රීන් එකකින් කියවද්දී බාධා ගොඩයි. එක්කෝ නෝටිෆිකේෂන් එකක් එනවා. බැටරි බහිනවා. එහෙමත් නැත්නම් ඉන්ටර්නෙට් සිග්නල් නැති වෙනවා. හැබැයි පොතකින් කියවද්දී ඔය මොකුත් නෑ. ලයිට් එකක් තිබ්බා නං ඒ හොඳටම ඇති.”—ඉලේනා.

  •   කියවන්න කලින් යාච්ඤා කරන්න. බයිබලෙන් ඔයා කියවන්න හිතාගෙන ඉන්න කොටස හොඳට තේරුම්ගන්න, ඒක මතක තියාගන්න, ඒකෙන් ප්‍රයෝජන ගන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න.—යාකොබ් 1:5.

     හැබැයි ඔයා යාච්ඤා කළාට විතරක් මදි. ඒ යාච්ඤාවට එකඟව වැඩ කරන්නත් ඕනේ. ඒකට ඔයාට සිද්ධ වෙනවා ඔයා කියවන කොටස ටිකක් ගැඹුරින් හාරන්න. ඒත් කොහොමද ඒක කරන්නේ? ඔයා බයිබලේ කියවන්නේ ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් නම් එහෙමත් නැත්නම් ඔන්ලයින් බයිබලෙන් නම් ඒක කරන එක හරිම ලේසියි. ඔයාට පුළුවන් බයිබල් පදේක ඉලක්කම උඩ ටැප් කරලා ඒ පදේ ගැන අමතර තොරතුරු හොයාගන්න.

  •   ඔයාගෙන්ම ප්‍රශ්න අහගන්න. ‘මං මේ කියවපු කොටසෙන් යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? මට ආදර්ශයට ගන්න පුළුවන් ඔහුගේ ගුණාංගයක් මේ කොටසේ තිබුණාද?’ (එෆීස 5:1) ‘මගේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් මේ කොටසේ තිබ්බ මොන වගේ දේවල්ද?’ (ගීතාවලිය 119:105) ‘මං මේ කියවපු තොරතුරු අනිත් අයට උදව් කරන්න පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?’ (රෝම 1:11) ඔයාට පුළුවන් ඒ වගේ ප්‍රශ්න ඔයාගෙන්ම අහගන්න.

     ඒ වගේම මේ ප්‍රශ්නේ ගැනත් හිතලා බලන්න. ‘මං කියවපු කොටස බයිබලේ තියෙන ප්‍රධාන පණිවිඩයට සම්බන්ධ වෙන්නේ කොහොමද?’ ඒ ප්‍රශ්නේ ගැන හිතලා බලන එක හරිම වැදගත්. මොකද බයිබලේ උත්පත්ති පොතේ ඉඳලා එළිදරව් පොත වෙන කල් තියෙන හැම තොරතුරක්ම බයිබලේ තියෙන ප්‍රධාන පණිවිඩයට මොකක් හරි විදිහකින් සම්බන්ධයි. ඒත් මොකක්ද බයිබලේ තියෙන ප්‍රධාන පණිවිඩය? යෙහෝවා දෙවියන් තමයි මේ විශ්වය පාලනය කරන්න අයිතිය තියෙන එකම තැනැත්තා. ඒ වගේම ඒකට සුදුසුම තැනැත්තා. දේවරාජ්‍යය මාර්ගයෙන් ඔහු ළඟදීම ඒක ඔප්පු කරලා ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරනවා. ඒක තමයි බයිබලේ ප්‍රධාන පණිවිඩය.