Skip to content

යොවුන් සිතේ ගැටලු

මත්පැන් පානය ගැන මම දැනගන්න ඕනෙ මොනවද?

මත්පැන් පානය ගැන මම දැනගන්න ඕනෙ මොනවද?

 නීතියෙන් අවසර තියෙනවා නම් සීමාව දැනගෙන මත්පැන් පානය කරන එක බයිබලයේ තහනම් කරලා නැහැ. ඒත් බේබදුකම බයිබලයේ සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා.—ගීතාවලිය 104:15; 1 කොරින්ති 6:10.

 ඒත් නීතියෙන් අවසර නැති එහෙමත් නැත්නම් දෙමාපියන් අවසර දීලා නැති අවස්ථාවලදී මත්පැන් බොන්න පෙලඹීමක් ආවොත් මොකද කරන්නේ?

 බිව්වට පස්සේ වෙන දේ ගැන හිතන්න

 විනෝදෙන් ඉන්න නම් මත්පැන් ඕනෙමයි කියලා ඔයාගේ සමහර යාළුවෝ හිතනවා ඇති. ඒත් බිව්වට පස්සේ මොනවද වෙන්න පුළුවන්?

  •  නීතියෙන් එන ප්‍රශ්න. මත්පැන් පානය කරන එක නීතියෙන් තහනම් අවස්ථාවලදී ඔයා එහෙම කළොත් ඔයා ජීවත් වෙන රටේ නීතියට අනුව සමහරවිට ඔයාට දඩ ගහයි. අපරාධයක් කරපු කෙනෙක් විදිහට නීතික ලියවිලිවල ඔයාගේ නම සටහන් වෙයි. ඔයාගේ ලයිසන් එක තහනම් කරයි. දඬුවමක් විදිහට යම් කාල සීමාවකට සමාජ සේවයේ යෙදෙන්න කියයි. නැත්නම් හිරේ දායි.—රෝම 13:3.

  •  ඔයාගේ නමට වෙන හානිය. මත්පැන් නිසා කල්පනා ශක්තිය අඩු වෙනවා. වෙරි මතේ කරන කියන දෙයක් නිසා ඔයාට පසුතැවෙන්න වෙයි. (හිතෝපදේශ 23:31-33) නැත්නම් ඒ වගේ දෙයක් මිතුරු සමාජ වෙබ් අඩවිවල පළ වුණොත් ඒකෙන් ඔයාගේ නමට වෙන හානිය හැමදාටම තියෙන්න පුළුවන්.

  •  ඔයාවම ආරක්ෂා කරගන්න බැරි වෙනවා. මත්පැන් නිසා ඔයාට කවුරු හරි පහර දෙන්න හරි ඔයාට ලිංගිකව අතවර කරන්න හරි ඉඩ තියෙනවා. ඒ වගේම ඔයා වෙරි වෙලා ඉන්න වෙලාවක ජීවිතේ අනතුරේ දාන දෙයක් කරන්න හරි නීතියෙන් තහනම් දෙයක් කරන්න හරි ඔයාව ලේසියෙන්ම පොලඹවන්න අනිත් අයට පුළුවන්.

  •  ඇබ්බැහි වෙනවා. බාල වයසේ ඉඳන් බොන්න පුරුදු වෙන අයට මත්පැන් නැතුවම බැරි වෙනවා කියලා පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. පීඩනයක්, තනිකමක්, පාළුවක් දැනෙද්දී ඒකෙන් ගොඩ එන්න මත්පැන් බොන අයට ඒ පුරුද්ද නැති කරගන්න තව තවත් අමාරු වෙනවා.

  •  මරණ. මත්පැන් පානය කරලා වාහන පදවපු නිසා මෑත අවුරුද්දකදී ඇමරිකාවේ හැම විනාඩි 52කටම එක්කෙනෙක් ගාණේ මිය ගිහින් තියෙනවා. අවුරුදු පහක් ඇතුළත හැම අවුරුද්දකටම සැරයක් වයස 21ට අඩු අය 1,500කට වඩා වැඩිදෙනෙක් මත්පැන් පානය නිසා සිද්ධ වුණ රිය අනතුරුවලින් මිය ගිහින් තියෙනවා. ඔයා බීලා හිටියේ නැතත් බීපු කෙනෙක් එළවන වාහනයක යන එකත් ඔයාගේ ජීවිතේ අනතුරේ හෙළීමක්.

 අධිෂ්ඨානයක් ගන්න

 කරන්න ඕනෙ දේ ගැන කලින්ම අධිෂ්ඨානයක් අරගෙන හිටියොත් ප්‍රමාණයට වඩා බීලා ඇති වෙන අනතුරුවලින් බේරෙන්න පුළුවන්.

 බයිබල් ප්‍රතිපත්තිය: “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.” (හිතෝපදේශ 22:3) වාහන පදවන එක වගේ සම්පූර්ණ අවධානය දෙන්න ඕනෙ දෙයක් කරන්න කලින් මත්පැන් පානය කරන එක මෝඩ දෙයක්.

 අධිෂ්ඨානය: ‘මං මත්පැන් පානය කළොත් ඒක කරන්නේ නියම වයසට ආවට පස්සෙයි. ඒ වගේම ඒකට සුදුසු පරිසරයක් තිබුණොත් විතරයි.’

 බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ යමෙකුට කීකරු වීමට එකඟ වී ඔහුට යටත් වන විට ඔබ ඒ පුද්ගලයාගේ දාසයෙක් වනු ඇත.” (රෝම 6:16) ඔයා බොන්නේ යාළුවන් ඔයාට බල කරන නිසා නම් ඒකෙන් වෙන්නේ ඔයාව අනිත් අයට පාලනය කරන්න ඉඩ දෙන එකයි. තනිකම, පාළුව, පීඩනය නිසා ඔයා බොනවා නම් ඒකෙන් වෙන්නේ ඒ වගේ අවස්ථාවලට හොඳට මුහුණ දීලා අද්දැකීම් ලබාගන්න ඔයාට බැරි වෙන එකයි.

 අධිෂ්ඨානය: ‘යාළුවෝ බොන්න කියලා බල කළාට මං එයාලට අහු වෙන්නේ නැහැ.’

 බයිබල් ප්‍රතිපත්තිය: ‘වයින්වලට ලොල් වූ අය සමඟ එකතු නොවන්න.’ (හිතෝපදේශ 23:20) නරක යාළුවන්ට පුළුවන් ඔයාගේ අධිෂ්ඨානය දුර්වල කරන්න. වෙරි වෙන කල් බොන අය එක්ක ඉන්න එක හරියට ඔයා ඔයාගේ ජීවිතේ අනතුරේ දාගන්නවා වගේ දෙයක්.

 අධිෂ්ඨානය: ‘වෙරි වෙන කල් බොන අය එක්ක මං කිට්ටුවෙන් ආශ්‍රය කරන්නේ නැහැ.’