Skip to content

යොවුන් සිතේ ගැටලු

මෙයාව මට ගැළපෙනවද?

මෙයාව මට ගැළපෙනවද?

 ඔයා දැන් යාළු වෙලා ඉන්න කෙනා ඔයාට ගැළපෙනවද කියලා දැනගන්නේ කොහොමද?

 පිටින් පේන්න තියෙන දේට විතරක් අවධානය දෙන්න එපා. එහෙම කරද්දී සමහරවිට ඔයාට තේරෙයි ලස්සනයි කියලා හිතාගෙන හිටිය ගෑනු ළමයා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියලා. නැත්නම් හැමෝම අතරේ ප්‍රසිද්ධ වෙලා ඉන්න පිරිමි ළමයා ගුණ යහපත් කෙනෙක් නෙමෙයි කියලා.—උත්පත්ති 2:18; මතෙව් 19:4-6.

පිටින් බලලා තීරණය කරන්න එපා

 ඔයා යාළු වෙලා ඉන්න කෙනා ඔයාට ගැළපෙනවද කියලා හරියටම දැනගන්න නම් ඔයාගේ හිත එයාට ඇදිලා ගිය දේවලට විතරක් අවධානය දෙන්න එපා. හැඟීම්වලට වහල් වෙන්නේ නැතුව එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. ඒක දවසින් දෙකින් කරන්න පුළුවන් ලේසි වැඩක් නෙමෙයි.

 ඒත් ගොඩක්දෙනෙක් ඒ තීරණය ගන්නේ වැඩිය හිතන්නේ බලන්නේ නැතුවයි. ඒගොල්ලෝ වැඩි අවධානයක් දෙන්නේ දෙන්නා අතරේ තියෙන සමානකම්වලටයි. දෙන්නම කැමති එක වගේ සිංදුවලට නම්, විනෝද වෙන්න එක වගේ දේවල් කරන්න දෙන්නම කැමති නම් ‘අපි දෙන්නා හොඳට ගැළපෙනවා’ කියලා ඒගොල්ලෝ හිතනවා. ඒත් ඔයා හොඳට හිතලා බලලා තීරණ ගන්න කෙනෙක් නම් ඒ වගේ සමානකම් දිහා විතරක් බලලා කෙනෙක්ව බඳින්න තීරණය කරන්නේ නැහැ. එයාගේ ‘හදවත ඒ කියන්නේ එයාගේ ඇතුළාන්තය’ මොන වගේද කියලා තේරුම්ගන්න උත්සාහ කරනවා. (1 පේතෘස් 3:4; එෆීස 3:16) එයා මොන වගේ කෙනෙක්ද කියලා ඔයාට දැනගන්න පුළුවන් එක විදිහක් තමයි ඔය දෙන්නා එකඟ වෙන්නේ නැති වෙලාවලදී එයා ක්‍රියා කරන්නේ කොහොමද කියලා බලන එක.

 මේ පැති ගැන හිතලා බැලුවද?

  •   මොකක් හරි දේකට එකඟ වෙන්න බැරි වුණාම එයාට කේන්ති යනවද? එයා නරක වචන කියලා බණිනවද? කොහොමහරි එයාට ඕන දේම කරගන්න හදනවද? (ගලාති 5:19, 20; කොලොස්සි 3:8) බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙන්නේ නැත්නම් එයාගෙම මතයේ ඉන්නේ නැතුව අනිත් කෙනාගේ මතයට ඉඩ දෙනවද?—යාකොබ් 3:17.

  •   එයා අනිත් අයව එයාට ඕන විදිහට නටවනවද? ඔයා අනිත් අයත් එක්ක කතා කරනවට එයා එච්චර කැමති නැද්ද? එයා හැම වෙලාවෙම ඔයාගේ අවධානය බලාපොරොත්තු වෙනවද? ඔයා කරන කියන හැම දෙයක්ම එයාට දැනගන්න ඕනෙද? නිකෝල් කියන යෞවනිය ඒ ගැන මෙහෙම කියනවා. “යන එන තැන් ගැන කියන්නේ නැති වුණාම අප්සෙට් ගිහින් රණ්ඩු වෙන අයව මං ඕන තරම් දන්නවා. ඒක නම් එච්චර හොඳ ලකුණක් නෙමෙයි.”—1 කොරින්ති 13:4.

  •   අනිත් අයට එයා ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද? එයාව හොඳට දන්න, සභාවේ ඉන්න අද්දැකීම් තියෙන අයගෙන් එයා මොන වගේ කෙනෙක්ද කියලා අහන්න. එයාට “හොඳ නමක්” තියෙනවද කියලා එතකොට ඔයාට දැනගන්න පුළුවන් වෙනවා.—ක්‍රියා 16:1, 2.