Skip to content

යොවුන් සිතේ ගැටලු

මම දේවල් තිතටම බලාපොරොත්තු වෙන කෙනෙක්ද?

මම දේවල් තිතටම බලාපොරොත්තු වෙන කෙනෙක්ද?

 ඔයා

  •   හැම විභාගයකදීම ඉහළම ලකුණු බලාපොරොත්තු වෙනවා නම්

  •   අලුත් අභියෝග එද්දී ඒවාට හරියට මුහුණ දෙන්න බැරි වෙයි කියලා හිතලා ඒවා මඟ හරිනවා නම්

  •   උපදෙසක් ලැබුණාම ඒකෙන් ඔයාගේ නම කැත වෙනවා කියලා හිතනවා නම්

 . . . ඔයාත් දේවල් තිතටම බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

 දේවල් තිතටම බලාපොරොත්තු වෙන එකෙන් වෙන හානිය මොකක්ද?

 ඔයාගේ උපරිමය කරන එකේ වරදක් නැහැ. හැබැයි එකපොතක මෙහෙම සඳහන් වෙනවා. “උපරිමය කරන එකයි දේවල් තිතටම කරන්න හදන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. තිතටම දේවල් කරන්න හදන එක ලොකු පීඩනයක්. මොකද හැමෝම අතින් අඩුපාඩු වෙනවා.”—Perfectionism—What’s Bad About Being Too Good?

 බයිබලයේ කියන මේ දේත් ඒකට එකඟයි. “සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක.” (දේශනාකාරයා 7:20) සමහර අවස්ථාවලදී ඔයා කරන දේවල් තිතටම කරන්න බැරිවෙයි.

 ඔයා ඒක පිළිගන්න කැමති නැද්ද? එහෙම වුණොත් ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල් හතරක් බලන්න.

  1.   ඔයා ඔයා ගැනම හිතන විදිහ. දේවල් තිතටම බලාපොරොත්තු වෙන අය අත් කරගන්න බැරි තරම් ඉහළ මට්ටමක් තමන්ගෙන්ම බලාපොරොත්තු වෙනවා. “යථාර්ථය තමයි, අපි කරන හැම දේම හොඳම විදිහට කරන්න හදලා එහෙම කරන්න බැරි වුණොත් අපිට අපි ගැනම තියෙන විශ්වාසය නැති වෙන එක. ඒකෙන් ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි.”—ඇලීෂා.

  2.   උපදෙසක් දෙද්දී ඔයා ඒක දකින විදිහ. දේවල් තිතටම බලාපොරොත්තු වෙන කෙනෙක්ට උපදෙසක් ලැබුණාම එයා හිතන්නේ ඒකෙන් එයාගේ නම කැත වෙනවා කියලයි. “කවුරු හරි මට උපදෙසක් දුන්නොත් මං අප්සෙට් ගහනවා” කියලා කියපු ජෙරමි මෙහෙමත් කිව්වා. “දේවල් තිතටම බලාපොරොත්තු වෙන කෙනෙක් එයාට සීමාවන් තියෙනවා කියලා පිළිගන්නවත් අනිත් අයගේ උදව් පිළිගන්නවත් කැමති නැහැ.”

  3.   ඔයා අනිත් අය දිහා බලන විදිහ. දේවල් තිතටම බලාපොරොත්තු වෙන කෙනෙක් අනිත් අයගේ වැරදි අඩුපාඩු ඉක්මනින්ම දකිනවා. අවුරුදු 18ක් වයස ඇනා කියපු මේ දේ බලන්න. “ඔයා ඔයාගෙන්ම දේවල් තිතටම බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනිත් අයගෙනුත් ඒක බලාපොරොත්තු වෙනවා. එයාලට ඒක කරන්න බැරි වුණාම එයාලා ගැන ඔයා කලකිරෙනවා.”

  4.   අනිත් අය ඔයා දිහා බලන විදිහ. ඔයා අනිත් අයගෙන් දේවල් තිතටම බලාපොරොත්තු වෙනවා නම් එයාලා ඔයාව මඟහරියි. “ඒ වගේ කෙනෙක් එක්ක ඉන්න කවුරුත් ආස නැහැ. මොකද එහෙම කෙනෙක් එක්ක ඉන්න අමාරුයි” කියලා යෞවනියක් වන බෙත් කියනවා.

 ඊට වඩා හොඳ විදිහක් තියෙනවාද?

 බයිබලයේ කියන්නේ “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි” කියලයි. (ෆිලිප්පි 4:5) සාධාරණව වැඩ කරන අය සමබරයි. එයාලගෙනුත් අනිත් අයගෙනුත් දේවල් බලාපොරොත්තු වෙන්නේ සාධාරණ මට්ටමකට.

 “අපිට එදිනෙදා පීඩනයක් දෙන දේවල් ඕන තරම් තියෙනවා. ඒ නිසා දේවල් තිතටම බලාපොරොත්තු වෙලා අනවශ්‍ය විදිහට තවත් පීඩනයක් දාගන්නේ ඇයි?”—නයිලා.

 බයිබලයේ කියන්නේ “දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න” කියලා. (මීකා 6:8) නිහතමානී අය එයාලට කරන්න පුළුවන් ප්‍රමාණය මොකක්ද කියලා තේරුම්ගන්නවා. කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා දේවල් භාරගන්නේ නැහැ. කිසිම දේකට අනවශ්‍ය විදිහට කාලය දෙන්නෙත් නැහැ.

 “මට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මං වගකීම් භාරගන්නේ ඒ ප්‍රමාණයට විතරයි. එතකොට ඒ වගකීම් හොඳට කළා කියලා මට දැනෙනවා.”—හේලි.

 බයිබලයේ කියන්නේ “ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න” කියලා. (දේශනාකාරයා 9:10) තිතටම දේවල් තියෙන්න ඕනෙ කියන හැඟීම වෙනස් කරගන්නවා කියන්නේ කම්මැළි වෙන එක නෙමෙයි. ඔයා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ඒත් අනිත් අය උදව්වක්, උපදෙසක් දෙද්දී ඒවාත් පිළිගන්න. ඒ වගේම ඔයාට සීමාවක් තියෙනවා කියලත් මතක තියාගන්න.

 “මං කරන වැඩේ උපරිමයෙන් කරන්නයි මං උත්සාහ කරන්නේ. ඒත් ඒක සීයට සීයක් හරියටම කරන්න බැහැ කියලා මං දන්නවා. ඒත් මගේ උපරිමය කරපු නිසා මට සතුටු වෙන්න පුළුවන්.”—ජොෂුවා.