Skip to content

යොවුන් සිතේ ගැටලු

බඳිනකං ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියලා දෙන පොරොන්දු ගැන කියන්න පුළුවන් මොකක්ද?

බඳිනකං ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියලා දෙන පොරොන්දු ගැන කියන්න පුළුවන් මොකක්ද?

 බඳිනකං ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියන අය ඒ පොරොන්දුව දෙන්නේ කොහොමද?

 ඒ පොරොන්දුව එයාලා දෙන්නේ ලිඛිතව නැත්නම් වාචිකව.

 ඒ විදිහට කරන එක ප්‍රසිද්ධ වුණේ 1990 ගණන්වලයි. ඒ කාලෙදී එක්සත් ජනපදයේ දකුණු බැප්ටිස්ට් සමුළුවේදී “සැබෑ ආදරය බලා සිටියි” කියලා වැඩසටහනක් දියත් කෙරුවා. ඒ වැඩසටහනේදී බඳිනකං ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැතුව ඉන්න යෞවනයන්ව දිරිගන්වන්න බයිබල් ප්‍රමිති සහ ඒ වගේ ඉන්න තීරණයක් ගත්ත සම වයසේ මිතුරන්ගේ හොඳ බලපෑම සම්බන්ධ වෙන විදිහ පෙන්වලා දුන්නා.

 ඊට ටික කාලෙකට පස්සේ ඒ වගේ තවත් වැඩසටහනක් පටන්ගත්තා. ඒකෙදී විවාහයට කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියන පොරොන්දුව දුන්න අයට ඒක මතක් කරලා දෙන සලකුණක් හැටියට රිදී මුද්දක් දුන්නා.

 ඒ පොරොන්දු කොච්චර දුරකට සාර්ථකද?

 ඒ ගැන තියෙන්නේ විවිධ අදහස්.

  •   ක්‍රිස්ටීන් සී. කිම් සහ රොබට් රෙක්ටර් කියන පර්යේෂකයන් කියන්නේ “යෞවනයන් ඒ වගේ පොරොන්දුවක් දුන්න එකෙන් ලිංගික සම්බන්ධකම් පවත්වන ප්‍රමාණය අඩු වුණා නැත්නම් ලිංගික සම්බන්ධකම් පවත්වන්න යොමු වෙන එක ප්‍රමාද වුණා කියලා අධ්‍යයන කීපයකින්ම හෙළි වෙලා තියෙනවා” කියලයි.

  •   ගුට්මෙකර් කියන ආයතනය කරපු අධ්‍යයනවලින් පෙන්වන්නේ “බඳිනකං ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියලා පොරොන්දු වුණ අය පොරොන්දු වුණේ නැති අය වගේම ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඉඩ තියෙනවා” කියලයි.

 ගැටෙන අදහස් ලැබුණේ ඇයි?

  •   සමහර අධ්‍යයනවලින් සන්සන්දනය කෙරුවේ පොරොන්දු දුන්න අයවයි පොරොන්දු දුන්නේ නැති අයවයි. ඒ දෙගොල්ලන්ම ලිංගික සම්බන්ධකම් ගැන දැරුවේ වෙනස් අදහස්.

  •   තවත් අධ්‍යයනවලින් සංසන්දනය කෙරුවේ පොරොන්දු දුන්න අයවයි පොරොන්දු දුන්නේ නැති අයවයි. ඒ දෙගොල්ලන්ම ලිංගික සම්බන්ධකම් ගැන දැරුවේ එකම අදහස්.

 දෙවෙනි අධ්‍යයනයෙන් හෙළි වුණේ මොකක්ද? නහඹරයන්ගේ රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරියක් වන ජැනට් රෝසන්බාම් කියන්නේ පොරොන්දු දීලා අවුරුදු 5කට පස්සේ “පොරොන්දු දුන්නේ නැති අය වගේම පොරොන්දු දුන්න අයත් ලිංගික සම්බන්ධකම් පවත්වනවා” කියලයි.

 පොරොන්දු දෙනවාට වඩා හොඳ දෙයක්

 ඒ වගේ වැඩසටහන් දියත් කරන්නේ හොඳ අරමුණක් ඇතුවයි. හැබැයි පොරොන්දු දෙන අයගේ හදවතට පොරොන්දු ඉටු කරන්න පෙලඹෙන ප්‍රමිති කාවද්දන්නේ නැති එකයි ප්‍රශ්නේ. වෛද්‍ය රෝසන්බාම් කියන විදිහට පොරොන්දු දෙන අය “පොරොන්දුව ක්‍රියාත්මක කරන්න ඕන කියන දේ හිතට ගන්නේ නෑ. නිර්මලව ඉන්න නම් වැඩසටහනකට සහභාගි වෙනවාට වඩා කෙනෙක් ගන්න අධිෂ්ඨානය වැදගත් වෙනවා.”

 බයිබලයේ දිරිගන්වන්නේ ලිඛිතව නැත්නම් වාචිකව පොරොන්දුවක් දෙනවාට වඩා ‘වටහාගැනීමේ හැකියාව පාවිච්චි කරලා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගන්න පුහුණු වෙන්න’ කියලයි. (හෙබ්‍රෙව් 5:14) කෙනෙක්ට හරි දේ කරන්න අධිෂ්ඨානයක් ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. අනිත් එක නිර්මලත්වය රැකගන්න ඕන ලෙඩ රෝග හැදෙන නිසාවත් ගැබ්ගන්න නිසාවත් නෙමෙයි විවාහයේ නිර්මාතෘට ගෞරවය පෙන්වන්න ඕන නිසයි.—මතෙව් 5:19; 19:4-6.

 බයිබලයේ ප්‍රමිති දීලා තියෙන්නේ අපේම යහපතටයි. (යෙසායා 48:17) මොන වයසේ හිටියත් හැමෝටම පුළුවන් “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියලා දෙවියන් දීලා තියෙන අණට කීකරු වෙන්න අධිෂ්ඨානයක් ගන්න. (1 කොරින්ති 6:18) ඒ අණට කීකරු වෙලා විවාහ වෙන අයට බඳින්න කලින් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් ඇති වෙන නරක ප්‍රතිඵල හෝ පසුතැවීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට සතුටින් යුග දිවිය ගත කරන්න පුළුවන්.