Skip to content

යොවුන් සිතේ ගැටලු

බව්තීස්මයෙන් පස්සේ මං කරන්න ඕනෙ මොනවාද? - 1වෙනි කොටස: නමස්කාරයේ දේවල් දිගටම කරන්න

බව්තීස්මයෙන් පස්සේ මං කරන්න ඕනෙ මොනවාද? - 1වෙනි කොටස: නමස්කාරයේ දේවල් දිගටම කරන්න

 ගෙයක්, වාහනයක් හොඳ තත්වයේ තියාගන්න නම් ඒවා දිගටම නඩත්තු කරන්න ඕනේ. ඒ වගේම තමයි දෙවියන් එක්ක ඔයාට තියෙන යාළුකමත්. ඒක දිගටම ශක්තිමත්ව තියාගන්නත් ඔයාගේ පැත්තෙන් කරන්න ඕනෙ දේවල් ගොඩක් තියෙනවා. බව්තීස්ම වුණාට පස්සේ ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවාද?

මේ ලිපියෙන්

 දිගටම බයිබලේ අධ්‍යයනය කරන්න

 බයිබලේ කියන දේ: “සෑම යහපත් ක්‍රියාවක්ම කරමින් හොඳ ප්‍රතිඵල ලැබීමටත් දෙවි පිළිබඳ නිවැරදි දැනුමෙන් වර්ධනය වීමටත් ඔබට හැකි වේ.”—කොලොස්සි 1:10.

 ඒකෙන් අදහස් වෙන දේ: බව්තීස්මයෙන් පස්සෙත් ඔයා දිගටම බයිබලේ කියවලා ඒකෙන් ඉගෙනගත්ත දේවල් ගැන හොඳට හිතන්න ඕනේ.—ගීතාවලිය 25:4; 119:97.

 වෙන්න පුළුවන් දේ: සමහරවිට බයිබලේ කියවන්න ඔයාට කිසිම මූඩ් එකක් නැති වෙයි. ‘බයිබලේ අතේ තියාගෙන ඕක කියව කියව ඉන්න මං පොත් ගුල්ලෙක් නෙවෙයිනේ’ කියලත් ඔයාට හිතෙන්න පුළුවන්.

 කරන්න පුළුවන් දේ: මුලින්ම ඔයා ආස විෂයක් තෝරගෙන ඒ ගැන අධ්‍යයනය කරන්න. බයිබලේ අධ්‍යයනය කරන්න දවසක්, වෙලාවක් දාගෙන ඔයා හොඳ ප්ලෑන් එකක් හදාගත්තොත් ඒක ඔයාගේ ඔළුවට බරක් වෙන්නේ නැහැ. අනික ඔයා බයිබලේ අධ්‍යයනය කරන්නේ යෙහෝවා දෙවියන් ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ වැඩි කරගන්න. ඒ වගේම බයිබලේ ගැන අගය වැඩි කරගන්න. කාලයක් යද්දී ඔයාටම තේරෙයි අධ්‍යයනය කරන එක හිතන තරම් කම්මැළි වැඩක් නෙවෙයි, ඒක හරි ප්‍රයෝජනවත් වගේම රසවත් දෙයක් කියලා.—ගීතාවලිය 16:11.

 යෝජනාවක්: අධ්‍යයනය කරද්දී ඔයාගේ අවධානය ලේසියෙන් බිඳෙන්නේ නැති, ටිකක් නිස්කලංක තැනක් තෝරගන්න.

 තව උදව් ඕනෙද?

 දිගටම යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න

 බයිබලේ කියන දේ: “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.”—ෆිලිප්පි 4:6.

 ඒකෙන් අදහස් වෙන දේ: දෙවියන් එක්ක තියෙන යාළුකම ශක්තිමත් කරගන්න නම් ඔහු කියන දේවල් අහගෙන ඉන්න ඕනෙ වගේම ඔයාගේ හිතේ තියෙන දේවලුත් ඔහුට කියන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? බයිබලේ කියවද්දී ඔයාට පුළුවන් දෙවියන් කියන දේවල්වලට ඇහුම්කන් දෙන්න. ඒ වගේම යාච්ඤාව උදව් වෙනවා ඔයාගේ හිතේ තියෙන දේවල් ඔහුට කියන්න. ඔයාට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද? ඔයාට ඕනෙ කරන දේවල් දෙවියන්ගෙන් ඉල්ලනවා වගේම ඔහු ඔයාට මේ වෙද්දිත් දීලා තියෙන දේවල් ගැන ස්තුති කරන්න ඔයාට පුළුවන්.

 වෙන්න පුළුවන් දේ: කාලයක් යද්දී සමහරවිට ඔයාට දැනෙයි ඔයා යාච්ඤාවෙන් කියන්නේ එකම වචන සෙට් එකනේ කියලා. ‘ඇත්තටම යෙහෝවා දෙවියන් මගේ යාච්ඤා අහනවාද? මං කියන දේවල් අහගෙන ඉන්න ඇත්තටම ඔහු කැමතිද’ කියලා ඔයාට හිතෙන්නත් පුළුවන්.—ගීතාවලිය 10:1.

 කරන්න පුළුවන් දේ: යාච්ඤා කරන්න පුළුවන් මොන වගේ දේවල් ගැනද කියලා දවස තිස්සෙම හොඳට හිතන්න. සමහර වෙලාවට මොකක් හරි දෙයක් ගැන ටිකක් වෙලාව අරන් යාච්ඤා කරන්න ඕනෙ කියලා ඔයාට හිතෙයි. හැබැයි ඔයා ඉන්න තැන නිසා ඒක කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයා කියන්න හිටපු දේ මතක තියාගෙන ඒ දවස ඇතුළත වෙන වෙලාවක යාච්ඤා කරන්න. යාච්ඤා කරද්දී ඔයා ගැන විතරක් නෙවෙයි මතක ඇතුව අනිත් අය ගැනත් කියන්න.—ෆිලිප්පි 2:4.

 යෝජනාවක්: ඔයාට හිතෙනවා නම් ඔයා යාච්ඤාවෙන් කියන්නේ එකම දේ කියලා ඒ ගැනත් යෙහෝවා දෙවියන්ට කියන්න. යාච්ඤාව ගැන විතරක් නෙවෙයි ඔයාගේ හිතේ තියෙන ඕනම දෙයක් අහන්න යෙහෝවා ගොඩක් ආසයි.—1 යොහන් 5:14.

 තව උදව් ඕනෙද?

 දිගටම ඔයාගේ විශ්වාසයන් ගැන කතා කරන්න

 බයිබලේ කියන දේ: “ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත් නිරතුරුවම සැලකිලිමත් වන්න. ඒ දේවලට ඇලී සිටින්න. මන්ද එසේ කිරීමෙන් ඔබටත් ඔබට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙනු ඇත.”—1 තිමෝති 4:16.

 ඒකෙන් අදහස් වෙන දේ: බයිබලෙන් ඉගෙනගත්ත දේවල් ඔයා අනිත් අයට කියද්දී ඒකෙන් ඔයාගේ විශ්වාසේ ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකෙන් ඔයාට ඇහුම්කන් දෙන අයගේ වගේම ඔයාගේ ජීවිතෙත් ගැලවෙනවා.

 වෙන්න පුළුවන් දේ: සමහරවිට ඔයා ඉගෙනගන්න දේවල් අනිත් අයට කියන්න ඔයාට කිසිම ආසාවක් ඇති වෙන එකක් නැහැ. විශේෂයෙන්ම ඉස්කෝලේදී යාළුවන්ට ඒ ගැන කියන්න ඔයාගේ හිතට ලොකු බයක් දැනෙනවා ඇති.

 කරන්න පුළුවන් දේ: බය, තනිකම වගේ හැඟීම්වලට යට වෙන්න එපා. ඒ දේවල් නිසා පණිවිඩේ කියන එක අත්හරින්නේ නැහැ කියලා අධිෂ්ඨාන කරගන්න. පාවුල් මෙහෙම කිව්වා. “මා අකමැත්තෙන් වුවත් එය [ශුභාරංචිය කියන එක] කළ යුතුයි. මන්ද එය ඉටු කිරීමේ වගකීම මට භාර දී තිබේ.”—1 කොරින්ති 9:16, 17.

 යෝජනාවක්: දක්ෂ විදිහට සේවේ කරන කෙනෙක්ගෙන් උදව් ගන්න. හැබැයි ඊට කලින් අම්මායි, තාත්තායි එක්කත් ඒ ගැන කතා කරන්න.—හිතෝපදේශ 27:17.

 තව උදව් ඕනෙද?

 දිගටම රැස්වීම් යන්න

 බයිබලේ කියන දේ: ‘අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි.’—හෙබ්‍රෙව් 10:24, 25.

 ඒකෙන් අදහස් වෙන දේ: අපි රැස්වීම් යන්නේ යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න. ඒක තමයි අපි රැස්වීම් යන ප්‍රධානම හේතුව. හැබැයි රැස්වීම් යන එකෙන් අඩුම ගානේ තව ප්‍රයෝජන දෙකක්වත් තියෙනවා. පළවෙනි එක තමයි, අනිත් අය නිසා ඔයා ගොඩක් දිරිගැන්වෙන එක. දෙවෙනි එක තමයි, රැස්වීමේදී උත්තර දෙන එකෙන් අනිත් අයව දිරිගන්වන්න ඔයාට පුළුවන් වෙන එක. සමහරවිට ඔයා රැස්වීම් යන එකම අනිත් අයට ලොකු දිරිගැන්වීමක්.—රෝම 1:11, 12.

 වෙන්න පුළුවන් දේ: රැස්වීමේ හිටියට සමහර වෙලාවට ඔයාගේ හිත හැම තැනම දුවනවා. ඒ වගේ වෙලාවට රැස්වීමේ කියන මෙලෝ දෙයක් ඔළුවට යන්නේ නැහැ. එහෙම නැත්තම් රැස්වීම් දවසට ඉස්කෝලේ වැඩයි, වෙන වෙන වැඩයි දාගෙන රැස්වීම් කට් කරන්නත් ඔයාට හිතෙන්න පුළුවන්.

 කරන්න පුළුවන් දේ: ඉස්කෝලේ වැඩ මිස් කරගන්නත් හොඳ නැහැ තමයි. හැබැයි වරද්දන්නේ නැතුව රැස්වීම් ගිහින් උගන්වන දේවල්වලට හොඳ අවධානයක් දෙන්නත් ඉලක්කයක් තියාගන්න. හැම රැස්වීමකදීම උත්තරයක් දෙකක් දෙන්න බලන්න. පුළුවන් නම් උත්තර දීපු එක් කෙනෙක්ව හරි රැස්වීමෙන් පස්සේ අගය කරන්න.

 යෝජනාවක්: රැස්වීම්වලට හොඳට ලෑස්ති වෙන්න. ‘JW ලයිබ්‍රරි’ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන “රැස්වීම්” කියන කොටසේ තියෙන තොරතුරු කලින්ම බලාගන්න.

 තව උදව් ඕනෙද?