Skip to content

යොවුන් සිතේ ගැටලු

අනිත් අය මං ගැන ඕපදූප කියනවා නම් මොකද කරන්නේ?

අනිත් අය මං ගැන ඕපදූප කියනවා නම් මොකද කරන්නේ?

 හිත රිදෙන්නේ ඇයි?

 සමහරු අනිත් අයගේ චරිතේ කැත කරන්න බොරු ඕපදූප පතුරුවනවා. ඕපදූපය බරපතළ එකක් වුණත් පොඩි එකක් වුණත් ඒකෙන් හිත රිදෙන එක වළක්වන්න බැහැ. ඒක කියලා තියෙන්නේ ඔයාගේ ළඟම යාළුවෙක් නම් ඔයාගේ හිත ගොඩක් පෑරෙයි.—ගීතාවලිය 55:12-14.

 “මම පොඩ්ඩක්වත් අනිත් අය ගැන හිතන්නේ නැහැ කියලා මගේ යාළුවෙක් මම නැති තැන කියලා තියෙනවා කියලා මට ආරංචි වුණා. ඒකෙන් මගේ හිත ගොඩක් පෑරුණා. ඇයි එයා මං ගැන ඒ වගේ දෙයක් කිව්වේ කියලා මම කල්පනා කළා.”ඈෂ්ලි.

 යථාර්ථය: ඔයා ගැන ඕපදූප කියපු කෙනා ඔයාගේ යාළුවෙක් වුණත් නැතත් ඒ වගේ දෙයක් වුණාම ඒක හිතට අමාරුයි.

 ඕපදූප පැතිරෙන එක නවත්වන්න පුළුවන්ද?

 සමහරු අනිත් අය ගැන කතා කරන්න හේතු වන කාරණාවලට මේවාත් ඇතුළත්.

 සැලකිලිමත් නිසා. මිනිසුන් සාමාජශීලී අයයි. ඒ නිසා අනිත් අයගේ වතගොත ගැන කතා කරන්න කැමතියි. බයිබලයෙත් කියනවා ‘එකිනෙකා කෙරෙහි පෞද්ගලික සැලකිල්ල දක්වන්න’ කියලා.—ෆිලිප්පි 2:4.

 “මිනිස්සු ගැන කතා කරන එක තරම් හොඳ විෂයක් තවත් නැහැ.”බියන්කා.

 “මම නම් ආසයි එක එක අය ගැන තොරතුරු දැනගෙන අනිත් අය එක්ක ඒ ගැන කතා කරන්න. ඒකට හේතුව මං දන්නේ නැහැ. හැබැයි ඒකට මම ආසයි.”කේටි.

 කම්මැලි නිසා. සමහරු හරි ආසයි අලුත් දෙයක් ගැන කියන්න නැත්නම් අහගෙන ඉන්න. ඉස්සරත් ඒ වගේ අය හිටියා කියලා බයිබලයේ සඳහන්වෙනවා.—ක්‍රියා 17:21.

 “කතා කරන්න අලුත් දෙයක් නැත්නම් සමහර අය කතාවක් ගොතලා හරි කියනවා.”ජොඇනා.

 තමන්ට තැනක් නැති වෙයි කියලා තියෙන බය නිසා. බයිබලයේ කියලා තියෙනවා තමන්ව අනිත් අය එක්ක සසඳන්න එපා කියලා. (ගලාති 6:4) එහෙම සසඳන අයට හිතෙන්නේ තමන්ට වඩා අනිත් අය ඉදිරියෙන් ඉන්නවා කියලයි. ඒ නිසා අනිත් අය ගැන බොරු කතා පතුරලා තමන්ගේ තැන රැකගන්න ඒ අය උත්සාහ කරනවා.

 “කෙනෙක් ඕපදූපයක් කියද්දී එයාගේ හිතේ තියෙන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න පුළුවන්. හුඟක් වෙලාවට ඒකෙන් තේරෙන්නේ අනිත් කෙනා ගැන එයාගේ හිතේ ඊරිසියාවක් තියෙනවා කියලයි. ඒ කෙනා ගැන බොරු කතා පැතිරෙව්වම ඒ කෙනාට වඩා තමන් හොඳයි කියලා එයාට හිතෙනවා.”—ෆිල්.

 යථාර්ථය: අපි කැමති වුණත් නැතත් අනිත් අය අපි ගැන කතා වෙන එක නවත්වන්න අපිට බැහැ.

 ඔයා ගැන ඕපදූප පැතිරුණොත් මොනවාද කරන්න පුළුවන්?

 ඔයා ගැන අනිත් අය ඕපදූප පතුරුවන එක නවත්වන්න බැහැ. ඒත් එහෙම දෙයක් ආරංචි වුණොත් ඔයාට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා.

 1. ගණන් ගන්න එපා. ඔයා ගැන පැතිරිලා තියෙන කතාව එච්චර බරපතළ දෙයක් නෙමෙයි නම් හොඳම දේ හිතේ අමනාපයක් තියාගන්නේ නැතුව මේ කණෙන් අහලා අනිත් කණෙන් ඒක පිට කරන එක. “අමනාප වීමට ඉක්මන් නොවන්න” කියලා බයිබලයෙත් කියලා තියෙනවා.—දේශනාකාරයා 7:9.

 “මම පිරිමි ළමයෙක් එක්ක යාළු වෙලා කියලා කතාවක් පැතිරුණා. හැබැයි මම ඒ ළමයව දැකලවත් නැහැ. ඒක අහලා මට හිනාත් ගියා.”—එලීස්.

 “හොඳ නමක් තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. කවුරු ඔයාට මොන කතා හැදුවත් හුඟක් අය ඒක විශ්වාස කරන එකක් නැහැ.”ඇලිසන්.

 යෝජනාවක්: (1) ඔයා ගැන කියලා තියෙන දේ ලියාගන්න. (2) ඊටපස්සේ ඒ ගැන ඔයාට හැඟෙන විදිහත් ලියාගන්න. “කීමට ඇති දේ ඔබේ සිතේම තබාගන්න” කියලා බයිබලයේ තියෙන උපදෙස අදාළ කරගත්තාම ඒක අමතක කරලා දාන්න ලේසි වෙයි.—ගීතාවලිය 4:4.

 2. ඕපදූපේ කියලා තියෙන කෙනා එක්ක කතා කරන්න. ඕපදූපේ බරපතළ එකක් නම් ඒක පතුරුවපු කෙනා එක්ක කතා කරන එක තමයි හොඳ කියලා ඔයා හිතයි.

 “ඕපදූපේ කියලා තියෙන කෙනා එක්ක ඔයා ඒ ගැන කෙළින් කතා කළාම එයා තේරුම්ගනියි එයා කියන දේවල් කවදා හරි දවසක එළිවෙනවා කියලා. ඒ වගේම වැරදි වැටහීමක් ඇති වෙලා තිබුණොත් ඒක නිවැරදි කරගෙන ප්‍රශ්නේ විසඳගන්නත් පුළුවන්.”එලීස්.

 හැබැයි එයා එක්ක කතා කරන්න කලින් මේ බයිබල් පද ගැන හිතලා බලන්න. ඊටපස්සේ අහලා තියෙන ප්‍රශ්න ගැනත් හිතන්න.

  •   “කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි.” (හිතෝපදේශ 18:13) ‘වෙලා තියෙන දේ ගැන හැම තොරතුරක්ම මම දන්නවාද? මේ ගැන මට කියපු කෙනා වරදවා තේරුම් අරගෙන වෙන්න බැරිද?

  •   “සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.” (යාකොබ් 1:19) ‘ඕපදූපේ කියපු කෙනා එක්ක කතා කරන්න හොඳම අවස්ථාව මේකද? එයා පිට වරද පටවන්න හරි එයාට බනින්න හරි හිතාගෙනද මම මේ ගැන කතා කරන්න යන්නේ? මගේ හිත ටිකක් සන්සුන් වෙනකම් මම කාලයට ඉඩ දෙන්න ඕනද?’

  •   “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.” (මතෙව් 7:12) ‘වැරදිලා හරි මගේ අතින් කා ගැන හරි ඕපදූපයක් කියවුණොත් ඒ කෙනා මාත් එක්ක කොහොම කතා කරනවාටද මම කැමති? මොන වගේ අවස්ථාවක, මොන වගේ තැනකදී ඒ ගැන මාත් එක්ක කතා කරනවාටද මම කැමති? එයා මොන විදිහට කතා කළොත්ද මම කැමති වෙන්නේ?’

 යෝජනාවක්: ඔයා ගැන කතා පතුරුවපු කෙනා එක්ක කතා කරන්න කලින් ඔයා කතා කරන්න යන්නේ මොකක්ද කියලා ලියාගන්න. සතියක් දෙකක් ගියාට පස්සේ ලියාගත්ත දේ ආපහු කියවලා වෙනසක් කරන්න ඕනෙද කියලා බලන්න. එයා එක්ක කතා කරන්න යන්න කලින් දෙමව්පියන්ගෙන් හරි හොඳ මඟ පෙන්වීමක් ගන්න පුළුවන් යාළුවෙක්ගෙන් හරි උදව් ඉල්ලන්න.

 යථාර්ථය: ජීවිතයේ සමහර දේවල් අපිට වෙනස් කරන්න බැහැ. ඒ වගේ අනිත් අය අපි ගැන කතා වෙන එකත් අපිට වෙනස් කරන්න බැහැ. හැබැයි ඕපදූප නිසා ඔයාගේ සතුට නැති කරගන්න එපා.