Skip to content

යොවුන් සිතේ ගැටලු

ලිංගික දේවල් ගැන හිතන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?

ලිංගික දේවල් ගැන හිතන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?

 “හිතන්නෙවත් නැති වෙලාවලට ලිංගික දේවල් ගැන මගේ මනසට එනවා. ඒක හරියට වෙන කෙනෙක් මගේ සිතුවිලි පාලනය කරනවා වගෙයි.”—වේරා.

 “ලිංගික හැඟීම් පාලනය කරගන්නවා කියන එක නම් කරන්න බැරි දෙයක්. ඒක හරියට අත් දෙක බැඳගෙන පියාඹන්න හදනවා වගේ වැඩක්.”—ජෝන්.

 ඔයාටත් හිතෙන්නේ වේරාටයි, ජෝන්ටයි හිතෙන විදිහටමද? එහෙනම් මේ ලිපියේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි.

 ලිංගික කාරණා ගැන හිතන එකෙන් වළකින්න ඕනෙ ඇයි?

 යෞවනයෙක් වන ඇලෙක්ස් කියපු දේ බලන්න. “මාමා මට කිව්වා දෙවියන් අපිව නිර්මාණය කරලා තියෙන්නේ ලිංගික ආශාවන් ඇතුව නිසා මං ලිංගික සම්බන්ධකම් පවත්වන එක වැරදි නෑ කියලා.”

 දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ලිංගික ආශාවන් ඇතුව තමයි. හැබැයි ඒකට හොඳ හේතුවක් තිබුණා. මොකද මිනිසුන් බෝ වෙන්න නම් අනිවාර්යයෙන්ම ලිංගික සම්බන්ධකම් පවත්වන්න වෙනවා. එහෙනම් ඔයා ලිංගික කාරණා ගැන හිතන එකෙන් වළකින්න ඕනෙ ඇයි? ඒකට හොඳ හේතු දෙකක් බලන්න.

  •   බයිබලයේ පැහැදිලිව කියනවා දෙවියන් ලිංගික සම්බන්ධකම් පවත්වන්න අවසර දීලා තියෙන්නේ විවාහ වෙලා ඉන්න සැමියාට සහ බිරිඳට විතරයි කියලා.—උත්පත්ති 1:28; 2:24.

     ඔයා ඒ සැලැස්මට ගරු කරනවා නම් ඒ වගේම තවමත් විවාහ වෙලා නැත්නම් ලිංගික කාරණා ගැන දිගින් දිගට හිතන්න ගියොත් ඔයාගේ හැඟීම් පාලනය කරගන්න ඔයාට අමාරු වෙයි. අන්තිමේදී ලිංගික සම්බන්ධකම් පවත්වන්න වුණත් ඔයා පෙලඹෙයි. එහෙම කරපු හුඟක් අය දැන් ඒ ගැන පසුතැවෙනවා.

  •   කාමුක සිතුවිලි මනසට එද්දී ඒවා ප්‍රතික්ෂේප කරන්න ඔයා පුරුදු වුණොත් ඔයාවම පාලනය කරගන්නත් ඔයා ඉගෙනගනියි. ඒක ඉගෙනගන්න එක ඔයාගේ ජීවිතයේ හැම පැත්තකටම හුඟක් ප්‍රයෝජනවත් වෙනවා.—1 කොරින්ති 9:25.

 ඔයාවම පාලනය කරගන්න එක සතුටින් ජීවත් වෙන්න ඔයාට උදව් වෙයි. පුංචි කාලේ ඉඳන් තමන්ව පාලනය කරගන්න ඉගෙනගෙන තියෙන අයට හුඟක් දුරට සෞඛ්‍ය ගැටලු, ආර්ථික ප්‍රශ්න අඩුයි කියලත් එයාලා රටේ නීතියට ගරු කරනවා කියලත් අධ්‍යයනයකින් හොයාගෙන තියෙනවා. a

 ඒක අභියෝගයක් වෙන්නේ ඇයි?

 යෞවන වයසේදී ශරීරයේ හෝමෝනවල හුඟක් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි අද ඉන්න වැඩිදෙනෙක් හුඟක් වෙලාවට හිතන්නේ, කතා කරන්නේ ලිංගික කාරණා ගැන. ඒ නිසා ලිංගික කාරණා ගැන හිතන්නේ නැතුව ඉන්න එක යෞවනයන්ට ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්.

 “ටීවී එකේ හැම වැඩසටහනකින්ම වගේ පෙන්නන්නේ විවාහ වෙන්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එකේ කිසිම හානියක් නෑ කියලා. ඒකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන් කියලත් එයාලා පෙන්නන්න හදනවා. ලිංගික කාරණා ගැන ඒ වගේ වැරදි අදහස් මනසට එද්දී අපිටත් හිතෙන්න පුළුවන් බඳින්න කලින් එකට හිටියාට කිසි හානියක් වෙන්නේ නෑ කියලා. එතකොට ඒ වගේ වැරදි දේවල් ගැන දිගින් දිගටම හිතන්න අපි පෙලඹෙනවා.”—රූත්.

 “වැඩපොළේ අය හැම තිස්සෙම වගේ ලිංගික කාරණා ගැන මහා ජරා කතා කියනවා. ඒවා ඇහෙද්දී මටත් ආස හිතෙනවා ඒවා ගැන දැනගන්න. අද හැම කෙනෙක්ම වගේ වැරදි විදිහේ ලිංගික සම්බන්ධකම් පවත්වනවා. ඒ නිසා අපිටත් හිතෙන්න පුළුවන් ඒවා වැරදි නෑ කියලා.”—නිකොල්.

 “සමාජ ජාලා වෙබ් අඩවිවල දාන ජරා පින්තූර බැලුවොත් නම් වැරදි දේවල් ගැන හිතන්නේ නැතුව ඉන්න ලේසි වෙන එකක් නෑ. මොකද එක කාමුක පින්තූරයක් බැලුවත් ඇති ඒක අපේ ඔළුවේ කෙටෙන්න. ඒක අමතක කරන එක ලේසි නෑ.”—මරියා.

 ඒ වගේ දේවල් නිසා පාවුල්ට හිතුණු මේ දේ ඔයාටත් හිතෙන්න පුළුවන්. “මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි.”—රෝම 7:21.

වැරදි සිතුවිලිවලට ඔයාගේ ඔළුවේ කූඩු හදන්න දෙන්න එපා

 ඔයාට කරන්න පුළුවන් දේ

 වෙන දෙයක් ගැන හිතන්න. ලිංගික දේවල් ගැන හිතනවා වෙනුවට වෙන දේකට මනස යොමු කරන්න. ඔයා කැමති විනෝදාංශයක්, ක්‍රීඩාවක් එහෙමත් නැත්නම් ඔයා කැමති වෙන දෙයක් කරන්න ඔයාට පුළුවන්. යෞවනියක් වන වැලරී කියන දේ බලන්න. “බයිබලය කියවන එක හරිම වටින දෙයක්. මොකද ඒක කියවද්දී අපි දෙවියන් ගැන හිතනවා. එතකොට අපි වෙන දේවල් ගැන හිතන්න පෙලඹෙන්නේ නෑ.”

 ලිංගික කාරණා ගැන හිතට එන එක සාමාන්‍ය දෙයක්. ඒ වුණත් ඒවා ගැන දිගින් දිගටම හිතන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්. මොකද ඒවා ගැන දිගටම හිතනවාද නැත්නම් ඒවා ප්‍රතික්ෂේප කරනවාද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේමයි.

 “කාමුක සිතුවිලි මනසට එද්දී මං ඉක්මනින්ම වෙන දෙයක් ගැන හිතන්න පටන්ගන්නවා. ඒ වගේ නරක සිතුවිලි මගේ මනසට ආවේ ඇයි කියලා තේරුම්ගන්නත් මං උත්සාහ කරනවා. ඒවා මගේ මනසට ආවේ මං අහපු සිංදුවක් නිසා නම් එහෙමත් නැත්නම් බලපු පින්තූරයක් නිසා නම් ඉක්මනින්ම මං ඒවා ඩිලීට් කරලා දානවා.”—හෙලේනා.

 බයිබල් ප්‍රතිපත්තිය: “ධර්මිෂ්ඨ, පවිත්‍ර . . . දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.”—ෆිලිප්පි 4:8.

 හරි දේට දිරිගන්වන අයව ආශ්‍රය කරන්න. ඔයාගේ යාළුවෝ කොයි වෙලෙත් කතා කරන්නේ ලිංගික කාරණා ගැනම නම් ඒ දේවල් ගැන හිතන්නේ නැතුව ඉන්න එක ඔයාට ලේසි වෙන එකක් නැහැ.

 “යෞවන වයසේ ඉද්දී ලිංගික දේවල් ගැන හිතන්නේ නැතුව ඉන්න එක මට ලේසි වුණේ නෑ. මං ආශ්‍රය කරපු අය නිසා ඒක මට තවත් අමාරු වුණා. බඳින්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එකේ වරදක් නෑ වගේ දේවල් කියන අයත් එක්ක ආශ්‍රය කරද්දී මනසට එන වැරදි ආශාවන් පාලනය කරගන්න එක ලේසි නෑ. ඒක හරියට ඇවිළෙන ගින්නට පිදුරු දානවා වගේ දෙයක්.”—සාරා.

 බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.”—හිතෝපදේශ 13:20.

 විනෝදයට තෝරගන්න දේවල් ගැන පරෙස්සම් වෙන්න. මේ කාලේ විනෝද වෙන්න තියෙන හුඟක් දේවලට කාමුක දේවල් ඇතුළත් කියන එක කොයි කවුරුත් දන්නවා. නිකෝල් මෙහෙම කියනවා. “සිංදු අහද්දී තමයි මගේ හැඟීම් වැඩියෙන්ම ඇවිස්සෙන්නේ. සමහර වෙලාවට ඒ හැඟීම් මට පාලනය කරගන්නම බෑ.”

 “කාමුක හැඟීම් අවුස්සන දර්ශන තියෙන ටීවී වැඩසටහනුත් චිත්‍රපටිත් මං හුඟක් බැලුවා. ඒකෙන් වුණේ මං දන්නෙම නැතුව ලිංගික දේවල් ගැන වැඩි වැඩියෙන් හිතන්න පෙලඹුණු එකයි. හැබැයි ඒ දේවල් බලන එක මං නතර කළාට පස්සේ නරක සිතුවිලි මගේ ඔළුවට එන එක අඩු වුණා. විනෝදයට කරන දේවල් ගැන පරෙස්සම් වෙනවා නම් කාමුක දේවල් ගැන හිතන එකෙන් වැළකිලා ඉන්න එක ලේසි වෙනවා.”—ජොඈන්.

 බයිබල් ප්‍රතිපත්තිය: “වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි.”—එෆීස 5:3.

 මේක මතක තියාගන්න: සමහරු හිතන්නේ ලිංගික හැඟීම් පාලනය කරන්න හොඳ නැහැ කියලයි. ඒ වගේම මොන තරම් උත්සාහ කළත් ඒ හැඟීම් පාලනය කරගන්න බැහැ කියලත් ඒ අය කියනවා. ඒත් බයිබලයේ කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. අපි කරන, කියන දේවල් ගැන දෙවියන් හුඟක් සැලකිලිමත් වෙනවා කියලත් සතුන්ට වඩා වෙනස්ව අපිට අපේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් කියලත් බයිබලයේ කියලා තියෙනවා.

 බයිබල් ප්‍රතිපත්තිය: “එසේනම් දැන් ඔබ අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු විය යුතුයි.”—එෆීස 4:23.

a විවාහ වුණු අයත් තමන්ව පාලනය කරගන්න එක හරිම වැදගත්. ඒ නිසා ඔයා දැන් ඉඳලාම ඔයාව පාලනය කරගන්න ඉගෙනගන්න එක ගොඩක් හොඳයි.