Skip to content

යොවුන් සිතේ ගැටලු

ඇයි මට යාළුවෝ නැත්තේ?

ඇයි මට යාළුවෝ නැත්තේ?

ඔයා අන්තර්ජාලයට ගියාම දකිනවා මෑතක පවත්වපු සාදයකදී යාළුවෝ එකතු වෙලා ගත්ත පින්තූර වගයක්. එයාලා හරිම සතුටින් ඉන්නවා කියලා ඔයාට පේනවා. යාළුවෝ ඔක්කොම ඒ පින්තූරවල ඉන්නවා. ඒත් එක්කෙනෙක් අඩුයි. ඒ ඔයා.

‘ඇයි මට එන්න කිව්වේ නැත්තේ’ කියලා ඔයා හිතනවා.

ඔයාගේ කුතුහලය අන්තිමේදී කලකිරීමකට හැරෙනවා. ඔයාට හිතෙන්නේ ඔයාව කොං කරලා කියලයි. වැල්ලේ තැනූ මාලිගාවක් එක පාරටම මුහුදු රැල්ලකට කැඩිලා බිඳිලා ගියා වගේ ඔයාගේ යාළුකම් ඔක්කොම සුනුවිසුනු වෙලා ගියා කියලා ඔයාට හැඟෙනවා. ඒ එක්කම ඔයාට ලොකු පාළුවක් දැනෙනවා. ‘ඇයි මට යාළුවෝ නැත්තේ’ කියලා ඔයා හිතනවා.

 හොඳට හිතලා බලන්න

 හරිද වැරදිද

  1.   ඔයාට ගොඩක් යාළුවෝ ඉන්නවා නම් කිසි තනිකමක් දැනෙන්නේ නැහැ.

  2.   ඔයා මිතුරු සමාජ වෙබ් අඩවියකට සම්බන්ධ වුණොත් ඔයාට කිසි තනිකමක් දැනෙන්නේ නැහැ.

  3.   ඔයා SMS ගොඩක් යවනවා නම් ඔයාට කිසි තනිකමක් දැනෙන්නේ නැහැ.

  4.   අනිත් අය වෙනුවෙන් දේවල් කරනවා නම් ඔයාට කිසි තනිකමක් දැනෙන්නේ නැහැ.

 හතරටම උත්තරය වැරදියි.

 ඇයි ඒ?

 තනිකම හා මිතුදම ගැන ඔයා දැනගන්න ඕන දේ

  •   යාළුවෝ ගොඩක් හිටියා කියලා ඔයාට කවදාවත් තනිකම දැනෙන්නේ නැහැ කියලා කියන්න බැහැ.

     “මං මගේ යාළුවන් ගැන කොච්චර සැලකිල්ලක් දැක්වුවත් ඒගොල්ලෝ මට ඒ විදිහට සලකන්නේ නැහැ. මම යාළුවෝ අතරේ හිටියත් ඒගොල්ලෝ මං හිටියත් එකයි නැතත් එකයි කියලා හැඟෙන්න සලස්වනකොට මගේ තනිකම දෙගුණ තෙගුණ වෙනවා.”—ඈන්.

  •   ඔයා මිතුරු සමාජ වෙබ් අඩවියකට සම්බන්ධ වුණොත් ඔයාට කිසි තනිකමක් දැනෙන්නේ නැහැ කියලා කියන්න බැහැ.

     “සමහර අය විසිතුරු භාණ්ඩ හැටියට හදලා තියෙන මිනිස් රූප එකතු කරනවා. කාමරය පිරෙන්නම ඒ වගේ රූප තිබුණයි කියලා ඒ රූපවලින් ආදරයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි අන්තර්ජාලයෙන් මුණගැහෙන යාළුවෝ. කිට්ටු බැඳීමක් නැත්තං ඒ යාළුවොත් හරියට පණ නැති රූප වගේ.”—ඉලේන්.

  •   ඔයා SMS ගොඩක් යවනවා නම් ඔයාට කිසි තනිකමක් දැනෙන්නේ නැහැ කියලා කියන්න බැහැ.

     “පාළුවක් දැනෙනකොට එක යාළුවෙක් හරි SMS එකක් එවලා තියෙනවාද කියලා ඔයා සැරෙන් සැරේ බලනවා. හැබැයි කවුරුත් SMS එවලා නැත්නම් ඔයාට දැනෙන පාළුව තවත් වැඩි වෙනවා.”—සෙරීනා.

  •   අනිත් අය වෙනුවෙන් දේවල් කරනවා නම් ඔයාට කිසි තනිකමක් දැනෙන්නේ නැහැ කියලා කියන්න බැහැ.

     “මං කොයි වෙලාවෙත් හදන්නේ මට තියෙන දෙයක් යාළුවන් එක්ක බෙදාගන්න. හැබැයි එයාලා එහෙම කරන්නේ නැහැ. මං බෙදාගත්ත දේවල් ගැන මට දුකක් නැහැ. ඒත් මට දුක මං කරපු දේවල් ගැන කිසි අගයක් නැති එකයි.”—රිචඩ්.

 ඇත්ත මේකයි: තනිකම කියන්නේ කෙනෙක් හිතේ ඇති කරගෙන තියෙන ආකල්පයක්. “ඒක පිටින් එන දෙයක් නෙමෙයි කෙනෙක්ගේ හිත ඇතුළෙන්ම එන දෙයක්” කියලා තරුණියක් වන ජෙනට් කියනවා.

 ඔයාට කිසිම යාළුවෙක් නැහැ කියලා හැඟෙනවා නම් මොනවාද කරන්න පුළුවන්?

 මේ සටනින් ජය ගන්න පුළුවන් විදිහ

ආත්ම විශ්වාසය වැඩි කරගන්න.

 “අනිත් අයට තමාව වටින්නේ නැහැ කියන හැඟීම තියෙනකොට යාළුවන් ඇති කරගන්න අමාරුයි. ඒ විදිහට අපි අපිවම අවතක්සේරු කරගත්තොත් තනිකම ඇති වෙන්න පුළුවන්.”—ජෙනට්.

 බයිබලේ දෙන උපදෙස: “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” (ගලාති 5:14) හොඳ යාළු මිත්‍රකම් දිගටම පවත්වගන්න නම් මුලින්ම ඔයා වටිනා කෙනෙක් කියලා තේරුම්ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වටිනා කෙනෙක් කියන හැඟීම ඇති කරගන්න ඕනේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අහංකාර වෙන්න ඕන කියන එක නම් නෙමෙයි.—ගලාති 6:3, 4.

තමන් ගැන හිතහිත දුක් වෙන්න එපා.

 “තනිකම මඩ වගුරක් නම් තමන් ගැන හිතහිත දුක් වෙන එක තව තවත් මඩේ එරීමක්. එහෙම වුණොත් ගොඩ එන්න හරිම අමාරුයි. ඔයා ගැනම ඔයා හිතහිත ඉන්නකොට අනිත් අය ඔයාට ළං වෙන්න කමැති නැහැ. එතකොට ඔයාගේ තනිකම තවත් වැඩි වෙනවා.”—එරින්.

 බයිබලේ දෙන උපදෙස: “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා . . . තමාගේම වාසිය සොයන්නේ නැත.” (1 කොරින්ති 13:4, 5) අපි හිතන්නේ අපි ගැන විතරක් නම් අනිත් අයගේ දුක දැනෙන්නෙවත් එයාලා ගැන සැලකිලිමත් වෙන්නෙවත් නැහැ. එතකොට කවුරුත් අපිත් එක්ක ඇසුරු කරන්න කැමති වෙන්නේ නැහැ. (2 කොරින්ති 12:15) මේක මතක තියාගන්න. ඔයා, ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය මනින්නේ අනිත් අය කරන කියන දේවල්වලින්, අනිත් අය ඔයාට සලකන විදිහෙන් නම් ඔයා අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා. “මට කවුරුත් කෝල් එකක්වත් දෙන්නේ නැහැ,” “කිසි කෙනෙක් මොනම දේකටවත් මට අඬගහන්නෙත් නැහැ” කියලා ඔයා හිතනවා නම් ඔයාගේ සතුට පවතින්නේ අනිත් අය අතෙයි. එහෙම වුණොත් ඔයා ඔයාව පාලනය කරන්න අනිත් අයට ඉඩ දෙනවා නේද?

හැමෝම හොඳ යාළුවෝ නෙමෙයි.

 “තනිකම දැනෙන අය කැමති අනිත් අයගේ අවධානය ලබාගන්න. ඒ නිසා ඒ අය තමන්ට අවධානය දෙන ඕනෑම කෙනෙක්ට ළං වෙනවා. හැබැයි අවධානය දෙන කෙනා ගැන හොයලා බලන්නේ නැහැ. මොකද අනිත් අයට තමන්ව ඕන කියලා හැඟෙනවාටයි තනිකම දැනෙන අය කැමති. ඒත් සමහර අය ඒකෙන් වාසිය අරන් ඔයාව නැතුවම බැහැ කියන හැඟීම දීලා ඔයාගෙන් අයුතු ප්‍රයෝජන ගනී. ඒකෙන් වෙන්නේ තිබුණටත් වඩා වැඩි තනිකමක් ඔයාට දැනෙන එකයි.”—බ්‍රිඈන්.

 බයිබලේ දෙන උපදෙස: “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (හිතෝපදේශ 13:20) හාමතේ ඉන්න අය ලැබෙන ඕනම දෙයක් කනවා. ඒ වගේ, තනිකමෙන් ඉන්න අයත් ඕනම කෙනෙක්ව යාළු කරගන්න පෙලඹෙන්න පුළුවන්. එහෙම යාළු වුණාම හිතන්නේ මීට වඩා හොඳ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ කියලයි. එතකොට හුඟක් වෙලාවට වෙන්නේ අනුන් ලවා තමන්ට ඕන දේවල් කරවගන්න හදන කපටි අයට අහු වෙන එකයි.

 නිගමනය මෙයයි: සමහර වෙලාවට අපි හැමෝටම තනිකම දැනෙනවා. ඒත් එක් එක් කෙනාට තනිකම දැනෙන විදිහ වෙනස්. තනිකමේ ගිලිලා ඉන්න කෙනෙක්ට ලොකු අසරණකමක් කලකිරීමක් ඇති වුණත් තනිකම කියන්නේ හැඟීමක් විතරයි. අපේ හැඟීම්වලට මුල් වෙන්නේ අපේ හිතේ ඇති වෙන සිතුවිලියි. අපිට පුළුවන් අපේ සිතුවිලි පාලනය කරගන්න.

 සැබෑ තත්වය තේරුම්ගන්න. අනිත් අයගෙන් ඕනෑවට වඩා බලාපොරොත්තු වෙන්න එපා. “අපේ යාළුවෝ හැමදාම අපේ හොඳම යාළුවෝ විදිහට ඉඳියි කියලා හිතන්න එපා. ඒත් අපි ගැන ඇත්තටම සැලකිලිමත් අය ඉන්නවා. අපේ තනිකම නැති කරගන්න ඒ හොඳටම ඇති” කියලා මුලින් සඳහන් කළ ජෙනට් කියනවා.

 ඔයාට තව උපකාර අවශ්‍යද? මිතුදම ගැන ඔයාට තියෙන බය නැති කරගන්න විදිහ” යන කොටුව කියවන්න. “තනිකමෙන් මිදෙන්න” යන කොටසත් ඩවුන්ලෝඩ් කරගන්න.