Skip to content

යොවුන් සිතේ ගැටලු

ලිංගික අතවර ගැන මම දැනගෙන ඉන්න ඕන දේ - 1වෙනි කොටස: පරෙස්සම් වෙන්න!

ලිංගික අතවර ගැන මම දැනගෙන ඉන්න ඕන දේ - 1වෙනි කොටස: පරෙස්සම් වෙන්න!

 ලිංගික අතවරයක් කියන්නේ මොකක්ද?

 එක් එක් රටේ නීතියට අනුව “ලිංගික අතවරය” කියන දේ විස්තර කරන්නේ වෙනස් විදිහටයි. ඒකෙන් බොහෝදුරට අදහස් වෙන්නේ අනුමැතියක් නැතුව බලහත්කාරෙන් සිදු කරන ලිංගික ක්‍රියා වෙන්න පුළුවන්. ඒකට නව යොවුන් වියේ දරුවන්ව, කුඩා දරුවන්ව, තමන්ගේම පවුලේ අයව ලිංගිකව දූෂණය කිරීම, නැත්නම් වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක් හෝ පූජකයෙක් වගේ ලොකු විශ්වාසයක් තියන වැඩිහිටියෙක් අතින් දූෂණය වීම වගේ දේවල් ඇතුළත්. ලිංගික අපයෝජනයට ගොදුරු වෙන්නේ ශාරීරිකව හරි මානසිකව හරි වෙන්න පුළුවන්. ගොදුරු කරගන්න අය කාරණය එළි කෙරුවොත් බලාගෙනයි කියලා තර්ජනය කරනවා.

 සමීක්ෂණයකට අනුව අවුරුද්දක් ඇතුළත එක්සත් ජනපදයේ ඉන්න අයගෙන් ලක්ෂ දෙකහමාරක් විතර ලිංගික අතවරවලට ගොදුරු වෙනවා කියලා වාර්තා කරනවා. ඒ අයගෙන් අඩක් විතර ඉන්නේ අවුරුදු 12ත් 18ත් අතර.

 ඔයා දැනගන්න ඕන දේ

  •   ලිංගික අතවරය බයිබලයේ හෙළාදකින දෙයක්. මීට අවුරුදු 4,000කට විතර කලින් සොදොම් කියන නගරයේ හිටිය ලිංගිකව වියරු වැටුණු පිරිසක් ඒ නගරයට ආපු අමුත්තන් දෙන්නෙක්ව දූෂණය කරන්න උත්සාහ කළා. යෙහෝවා දෙවියන් ඒ නගරය විනාශ කළේ මිනිසුන් ඒ තරම්ම දූෂිත වෙලා හිටිය නිසයි. (උත්පත්ති 19:4-13) අවුරුදු 3,500කට විතර කලින් මෝසෙස්ට දුන්න නීතියෙත් තමන්ගේ පවුලේ අය එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන එක තහනම් කරලා තිබුණා.—ලෙවී කතාව 18:6.

  •   හුඟක් වෙලාවට අතවර කරන්නේ දන්න හඳුනන කෙනෙක්. “ලිංගික අතවරවලට ගොදුරු වෙන අයගෙන් තුනෙන් දෙකක්ම තමන්ට අතවර කරපු කෙනාව දන්නවා. ඔහු කුණු බක්කියක් පිටිපස්සේ හැංගිලා ඉඳලා එක පාරටම පැනලා දූෂණය කරන නන්නාඳුනන කෙනෙක් නෙවෙයි” කියලා පොතක සඳහන් වෙනවා.—Talking Sex With Your Kids.

  •   ලිංගික අතවර ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම. එක්සත් ජනපදයේ පුරුෂයන්ගෙන් සියයට 10ක් විතර අතවරවලට ගොදුරු වෙනවා. එක සංවිධානයකින් කියන්නේ “තමන්ට සමලිංගිකව හැසිරීමට ආසාවක් ඇති වෙයිද” නැත්නම් “තමන්ව නියම පුරුෂයෙක් විදිහට පෙනෙන එකක් නැද්ද” කියලා අතවරවලට ගොදුරු වන පුරුෂයන්ට බයක් දැනෙන්න පුළුවන් කියලයි.—Rape, Abuse & Incest National Network (RAINN).

  •   ලිංගික අතවර හැම තැනම සිදු වෙන එක පුදුමයක් නෙමෙයි. බයිබලයේ කියනවා අන්තිම දවස්වලදී තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, දරුණු, තමන්වම පාලනය කරගන්නේ නැති අය හුඟදෙනෙක් ඉඳියි කියලා. (2 තිමෝති 3:1-3) අනිත් අයට ලිංගික අතවර කරලා අයුතු ප්‍රයෝජන ගන්න මිනිසුන්ට තියෙන්නේ ඒ වගේ ගතිලක්ෂණයි.

  •   වරද ලිංගික අතවරවලට ගොදුරු වෙන කෙනාගේ නෙවෙයි. කාගෙන්වත් ලිංගිකව අයුතු ප්‍රයෝජන ගන්න එක සුදුසු දෙයක් නෙවෙයි. ලිංගික අතවර කරන කෙනා තමයි ඔහුගේ ක්‍රියාවලට වග කියන්න ඕනේ. හැබැයි ගොදුරු වෙන කෙනාටත් ලිංගික අතවරයට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ යම් දුරකට වළක්වගන්න පුළුවන්කම තියෙනවා.

 ඔයාට කරන්න පුළුවන් දේ

  •   සූදානම් වෙලා ඉන්න. ඔයාගේ පෙම්වතා හරි නෑදෑයෙක් හරි ලිංගික හැසිරීමකට පොලඹවාගන්න හැදුවොත් කරන්න ඕන මොකක්ද කියලා කලින්ම හිතලා බලන්න. එරින් කියන යෞවනිය කියන්නේ ඒ වගේ අවස්ථාවකදී කරන්න ඕන දේ ගැන කලින්ම හිතලා, සූදානම් වෙලා ඉන්න කියලයි. ඒත් ඇය මෙහෙම කිව්වා. “ඒක මෝඩ වැඩක්. ඔය වගේ දේකට මුහුණ දෙන්න වෙන්නේ නෑ කියලා හිතෙන්න පුළුවන්.”

     බයිබලේ දෙන උපදෙස: ‘ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න. අපි ජීවත් වෙන්නේ නපුරු කාලයකයි.’—එෆීස 5:15, 16.

     මේ ගැන හිතන්න: ‘අපහසුවක් දැනෙන විදිහට කවුරු හරි මාව ස්පර්ශ කළොත් මම මොනවද කරන්නේ?’

  •   එතැනින් ඉවත් වෙන්න. RAINN සංවිධානයෙන් මේ වගේ මඟ පෙන්වීමක් දෙනවා. “ඒ වගේ අපහසු තත්වයකට මුහුණ දෙද්දී ඒ පුද්ගලයාට නොදැනෙන්න ඔයාට සිද්ධ වෙන දේ ඔයාගේ යාළුවන්ට නැත්නම් පවුලේ කෙනෙක්ට කියන්න වෙනම වචනයක් හරි වචන කීපයක් හරි කලින්ම ලෑස්ති කරලා තියාගන්න. එතකොට ඒ අයට පුළුවන් ඔයාව බේරගන්න.” ඒ වගේ අවදානම් තත්වයන් වළක්වාගත්තොත් වේදනාකාරී අද්දැකීම්වලින් මිදෙන්න පුළුවන්.

     බයිබලේ දෙන උපදෙස: “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝපදේශ 22:3.

     මේ ගැන හිතන්න: ‘ඒ වගේ අවස්ථාවක මොනවද කරන්න පුළුවන්?’

    ඉවත් වෙන්න සූදානමින් ඉන්න

  •   සීමාවන් දාලා ස්ථිරව ඉන්න. උදාහරණයකට ඔයා විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් කෙනෙක්ව ආශ්‍රය කරනවා නම් මොන වගේ හැසිරීමක් සුදුසුද, නැද්ද කියලා කලින්ම අනිත් කෙනා එක්ක කතා කරන්න. ඒ වගේ සීමාවන් දාගන්න එක මෝඩ වැඩක් කියලා ඒ කෙනා හිතනවා නම් එයා ආශ්‍රයට සුදුසු කෙනෙක් නෙමෙයි කියන එක මතක තියාගන්න. සුදුසු වෙන්නේ සදාචාරය ගැන ඔයා දරන ප්‍රමිතිවලට ගරු කරන කෙනෙක්.

     බයිබලේ දෙන උපදෙස: “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා . . . අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත.”—1 කොරින්ති 13:4, 5.

     මේ ගැන හිතන්න: ‘මගේ සදාචාර ප්‍රතිපත්ති මොනවාද? සුදුසු නැත්තේ මොන වගේ හැසිරීමක්ද?’