Skip to content

යොවුන් සිතේ ගැටලු

වියදම් පාලනය කරගන්නේ කොහොමද?

වියදම් පාලනය කරගන්නේ කොහොමද?

 “මම ෂොප් එක ඇතුළට ගියේ නිකමට වගේ. හැබැයි ගන්න හිතුවේවත් නැති ගොඩක් ගණන් දේකුත් අරගෙනයි මං එළියට ආවේ.”—කොලින්.

 වියදම් පාලනය කරගන්න එක කොලින්ට ටිකක් අමාරුයි වගේ නේද? ඔයාටත් මේ ප්‍රශ්නේ තියෙනවාද? එහෙමනම් මේ ලිපිය ඔයාට ගොඩක් උදව් වෙයි.

 වියදම් පාලනය කරගන්න ඕනෙ ඇයි?

 සමහරු මෙහෙම හිතනවා: අකුරටම ගණන් හද හද වියදම් කරන්න ගියොත් ඔයා ආස දේවල් කරගන්න බැරි වෙයි.

 ඒත් ඇත්ත කතාව මේකයි: වියදම් පාලනය කළොත් තමයි ඔයා ආස දේවල් කරන්න පුළුවන් වෙන්නේ. “ඔයා වියදම් පාලනය කරන්න ඉගෙනගත්තොත් ඔයාට ඕනෙ වෙලාවට වියදම් කරන්න ඔයාගේ අතේ සල්ලි තියෙයි.”—I’m Broke! The Money Handbook.

 හිතන්න: වියදම් පාලනය කළොත් . . .

  •   අවශ්‍ය දේට වියදම් කරන්න අතේ වැඩිපුර සල්ලි තියනවා. යෞවනියක් වන අයිනේස් මෙහෙම කියනවා. “කවදා හරි දවසක දකුණු ඇමරිකාවේ නිවාඩුවක් ගත කරන්න යන්න මං ආසයි. ඒක හිතේ තියෙන නිසා මං ඔහේ වියදම් කරන්නේ නැහැ.”

  •   ණය නොවී ඉන්න පුළුවන්. බයිබලේ කියනවා “ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි” කියලා. (හිතෝපදේශ 22:7) ඒ ගැන යෞවනියක් වන ඇනා කියන දේ බලන්න. “ණය කියන්නේ ඔයාගේ ජීවිතේ අවුල් කරන දෙයක්. ඔයා කාටවත් ණය නැත්තං ඔයා නිදහස්! ඔයාගේ අනාගත සැලසුම් සාර්ථක කරගන්නත් ඒක උදව් වෙයි.”

  •   ඔයා වගකීමෙන් වැඩ කරන කෙනෙක් කියලා පේනවා. යෞවන කාලේ ඉඳන්ම වියදම් පාලනය කරගන්න පුරුදු වෙන එක වගකීමෙන් වැඩ කරන වැඩිහිටියෙක් වෙන්න ඔයාට උදව් වෙනවා. අවුරුදු 20ක් වයස ජීන් මෙහෙම කියනවා. “ඔයා දෙමව්පියන්ගෙන් වෙන් වෙලා තනියම ජීවත් වෙන දවසක් එනවානේ. දැන්ම වියදම් පාලනය කරන්න ඉගෙනගත්තොත් ඒක එදාටත් උදව් වෙයි.”

 මේක මතක තියාගන්න: “තරුණ කාලෙම ඔයා ඔයාගේ වියදම් පාලනය කරගන්න පුරුදු වුණොත් වැඩිහිටියෙක් වුණාට පස්සෙත් එහෙම කරන්න ඔයාට පුළුවන් වෙයි. වියදම් පාලනය කරගන්න පුරුදු වෙන එක ඔයාගේ මුළු ජීවිත කාලෙටම උදව් වෙන දෙයක්.”—The Complete Guide to Personal Finance: For Teenagers and College Students.

 ඒක කරන්නේ කොහොමද?

 ඔයාගේ දුර්වලතා හඳුනගන්න. ඔයාට වැඩිපුර වියදම් වෙන්නේ මොනවාටද කියලා හිතලා බලන්න. සමහර අය ඔන්ලයින් හරහා බඩු මිලදී ගන්න ගොඩක් සල්ලි වියදම් කරනවා. තවත් අය හිතන්නේ බලන්නේ නැතුව ඔහේ පොඩි පොඩි දේවලට සල්ලි නාස්ති කරනවා. අතේ සතේ නැති වෙන කල් එයාලා දන්නේ නැහැ.

 “ලස්සන ලස්සන දේවල් ගන්න, කඩේකට ගිහිල්ලා මොනාහරි කන්න, සේල් දාලා තියෙන බඩු ගන්න වගේ දේවලට දන්නෙම නැතුව වියදම් වෙනවා. මාසේ අන්තිමට බලද්දී ඩොලර් සීයකට විතර වෙච්ච දෙයක් නෑ.”—හේලි.

 බජට් එකක් හදාගන්න. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.” (හිතෝපදේශ 21:5) බජට් එකක් හදාගන්න එක ලැබෙන මුදලට වඩා වියදම් කරන්නේ නැතුව ඉන්න ඔයාට උදව් වෙයි.

 “ඔයා සාමාන්‍යයෙන් ලැබෙන ගාණට වඩා වියදම් කරනවා නම් ඒ මොනවාටද කියලා හිතලා බලන්න. ඔයාට ලැබෙන ගාණෙන් කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන් විදිහට අනවශ්‍ය වියදම් අඩු කරගන්න.”—ඩැනියෙල්.

 කරන්න පුළුවන් දේවල්. අනවශ්‍ය දේවලට වියදම් කරන්නේ නැතුව සල්ලි ඉතුරු කරගන්න කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. සමහර යෞවනයන්ට ප්‍රයෝජනවත් වුණ මේ යෝජනා බලන්න.

  •  “සාමාන්‍යයෙන් මං සල්ලි අතට ආපු ගමන්ම බැංකුවට දානවා. අතේ තියන් හිටියොත් වියදම් වෙනවානේ.”—ඩේවිඩ්.

  •  “මම බඩු ගන්න යද්දී ගාණට තමයි සල්ලි ගෙනියන්නේ. නැත්තං ඉතිං ඕනෙ එකයි එපා එකයි හැම එකම ගන්න හිතෙනවා.”—එලන්.

  •  “මොනාහරි දෙයක් ගන්න කලින් ඇත්තටම මේක මට ඕනෙද කියලා මං දෙසැරයක් හිතනවා.”—ජෙශියා.

  •  “යාළුවෝ කෑම කන්න එළියට යනවා නම් නැත්තං පාටියක් දානවා නම් ඒ හැම එකකටම යන්න ඕනෙ නැහැ. ඔයාගේ බජට් එක ගැන හිතලා සමහර ඒවාට නොයා ඉන්න පුළුවන්.”—ජෙනිෆ.

 මේක මතක තියාගන්න: වියදම් පාලනය කරන්න ඉගෙනගන්න එක ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ ගැන බැරෑරුම්ව හිතන්න. කලින් සඳහන් කරපු කොලින් ඒක තේරුම්ගත්තා. එයා මෙහෙම කියනවා. “තනිකඩව ඉන්න කාලේ මුදල් හරියට පාලනය කරන්න ඉගෙනගත්තේ නැත්තං විවාහ වුණ දවසටත් මට ඒක කරන්න බැරි වෙයි.”

යෝජනාවක්: “ඔයා බජට් එක ප්ලෑන් කරපු විදිහ ගැන යාළුවෙක් එක්ක කතා කරන්න. එයාට කියන්න ඔයා ප්ලෑන් කරපු විදිහට දේවල් වෙනවාද කියලා නිතරම ඔයාගෙන් අහන්න කියලා. ඒක වියදම් පාලනය කරගන්න ඔයාට උදව් වෙයි.”—වෙනෙසා.