Skip to content

යොවුන් සිතේ ගැටලු

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 3වෙනි කොටස: හැම දෙයක්ම නිර්මාණය කළා කියලා විශ්වාස කරන්න හේතු තියෙනවාද?

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 3වෙනි කොටස: හැම දෙයක්ම නිර්මාණය කළා කියලා විශ්වාස කරන්න හේතු තියෙනවාද?

“මේ හැම දෙයක්ම කවුරු හරි නිර්මාණය කෙරුවා කියලා මම විශ්වාස කළොත් අනිත් අය හිතයි මම මෝඩයෙක් කියලා. මම තාම විශ්වාස කරන්නේ පොඩි කාලේ අම්මලා කියලා දීපු කතන්දර කියලා හරි ආගමෙන් උගන්නපු දෙයක් කියලා හරි අනිත් අය හිතයි.”—ජැනට්.

 ඔයාටත් හිතෙන්නේ එහෙමද? එහෙමනම් නිර්මාණකරුවෙක් ඉන්නවා කියන එක ගැන ඔයාට සැකයක් තියෙනවා වෙන්න පුළුවන්. කවුරුත් කැමති නැහැ තමන් කිසිම දෙයක් ගැන දැනුමක් නැති කෙනෙක් කියලා අනිත් අය හිතනවාට. ඔයා විශ්වාස කරන දේ හරියි කියලා තහවුරු කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

 ඔයාගේ විශ්වාසයන්ට එන බාධා

 1. හැම දෙයක්ම කවුරු හරි නිර්මාණය කළා කියලා විශ්වාස කළොත් අනිත් අය හිතයි මම විද්‍යාව පිළිගන්නේ නැහැ කියලා.

 “හැම දෙයක්ම නිර්මාණය කළා කියලා විශ්වාස කරන්නේ මේ ලෝකයේ දේවල් ඇති වුණ විදිහ ගැන හොයලා බලන්න කම්මැලි අය කියලා මගේ ටීචර් කිව්වා.”—මරියා.

 ඔයා දැනගෙන ඉන්න ඕන දේ: ඒ වගේ දේවල් කියන අය කියන්නේ හැම තොරතුරක්ම දැනගෙන නෙමෙයි. ගැලීලියෝ සහ අයිසෙක් නිව්ටන් වගේ ප්‍රසිද්ධ විද්‍යාඥයන් හැම දෙයක්ම කවුරු හරි නිර්මාණය කළා කියලා පිළිගත්තා. ඒ විශ්වාසය ඔවුන්ට විද්‍යාව පිළි නොගන්න හේතුවක් වුණේ නැහැ. ඒ වගේ අදත් සමහර විද්‍යාඥයන් නිර්මාණකරුවෙක් ඉන්නවා කියලා විශ්වාස කරන අතරම විද්‍යාවත් පිළිගන්නවා.

 මෙහෙම කරලා බලන්න: මේ වෙබ් අඩවියේ තියෙන ඔන්ලයින් ලයිබ්‍රරියට ගිහින් “ඇගේ විශ්වාසය” හෝ “ඔහුගේ විශ්වාසය” කියලා යුගළ උඩු කොමා ඇතුළේ ටයිප් කරන්න. එතකොට විද්‍යා ක්ෂේත්‍රයේ හා වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සමහර අයට නිර්මාණකරුවෙක් ඉන්නවා කියලා පිළිගන්න හේතු වුණ දේවල් ගැන දැනගන්න පුළුවන්.

 මේක මතක තියාගන්න: නිර්මාණකරුවෙක්ව විශ්වාස කළා කියලා ඔයා විද්‍යාව ප්‍රතික්ෂේප කරන කෙනෙක් වෙන්නේ නැහැ. අනික පරිසරයේ තියෙන දේවල් වැඩි වැඩියෙන් අධ්‍යයනය කරද්දී මේ හැම දෙයක්ම කවුරු හරි නිර්මාණය කළා කියන එක තවත් තහවුරු වෙනවා.—රෝම 1:20.

2. නිර්මාණය ගැන බයිබලයේ තියෙන වාර්තාව මම පිළිගත්තොත් අනිත් අය හිතයි මං ආගම් පිස්සෙක් කියලා.

 “හුඟක් අය හිතන්නේ නිර්මාණය කළා කියලා විශ්වාස කරන එක විහිළුවක් කියලයි. ඒ අය හිතන්නේ උත්පත්ති පොතේ තියෙන වාර්තාව කතන්දරයක් කියලයි.”ජැස්මින්.

 ඔයා දැනගෙන ඉන්න ඕන දේ: නිර්මාණය ගැන බයිබලයේ උත්පත්ති පොතේ තියෙන වාර්තාව හුඟක් අය තේරුම් අරගෙන තියෙන්නේ වැරදි විදිහටයි. උදාහරණයකට පොළොව නිර්මාණය කළේ මෑතකදී කියලත්ඒක නිර්මාණය කළේ පැය 24 දවස් හයක් ඇතුළත කියලත් සමහර මැවුම්වාදීන් විශ්වාස කරනවා. බයිබලයේ ඒ අදහස් දෙකම සඳහන් වෙන්නේ නැහැ.

  •   උත්පත්ති 1:1 කියන්නේ “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය” කියලා විතරයි. පොළොව අවුරුදු බිලියන ගණනක් පුරා පවතිනවා කියලා විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන සාක්ෂි එක්ක ඒ අදහස ගැටෙන්නේ නැහැ.

  •   උත්පත්ති පොතේ “දවස” කියලා සඳහන් කරලා තියෙන වචනෙට දීර්ඝ කාල පරිච්ඡේදයක් කියන අදහසත් ඇතුළත් වෙනවා. නිර්මාණය කරන්න ගත වුණු දවස් හය විස්තර කරන්නත් “දවස” කියන වචනය උත්පත්ති 2:4 සඳහන් කරලා තියෙනවා.

 මේක මතක තියාගන්න: විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන දේවල් බයිබලයේ සඳහන් වාර්තාවට පටහැනි නැහැ.

 ඔයාගේ විශ්වාසයන් ගැන හිතලා බලන්න

 හැම දෙයක්ම නිර්මාණය කළා කියලා පිළිගන්නේ අන්ධ විශ්වාසයක් තියෙන අය කියලා කියන්න බැහැ. මොකද නිර්මාණය කළා කියලා පිළිගන්න තර්කානුකූලව හිතන්න ඕනේ. උදාහරණයකට:

 ඔයා යම් නිර්මාණයක් දැක්කොත් ඒකට නිර්මාණකරුවෙක් ඉන්නවා කියලා දන්නවා. ගෙයක්, ගුවන් යානයක්, කැමරාවක් දැක්කොත් ඒවා කාගේ හරි නිර්මාණ කියලා ඔයා පිළිගන්නවා. එහෙමනම් ඊට වඩා සංකීර්ණ පෘථිවිය, අහසේ පියාඹන කුරුල්ලෙක්, මිනිස් ඇසක් කවුරු හරි නිර්මාණය කරලා තියෙනවා කියලා හිතන එක සාධාරණ නැද්ද?

 හිතන්න දෙයක්: අලුත් නිෂ්පාදනයක් ලෝකෙට හඳුන්වලා දෙන අය හුඟක් වෙලාවට ඔවුන්ගේ නිෂ්පාදන වැඩි දියුණු කරන්න පරිසරයේ තියෙන දේවල් අනුකරණය කරනවා. ඒ නිෂ්පාදනය ගැන ගෞරවය ලබාගන්න ඔවුන් කැමතියි. පරිසරයේ තියෙන දේවල් අනුකරණය කරන අයට ඒ වගේ ගෞරවයක් ලැබෙනවා නම් පරිසරයේ තියෙන හැම දෙයක්ම නිර්මාණය කරපු තැනැත්තාට ඊට වැඩියෙන් ගෞරවයක් ලැබෙන්න ඕන නැද්ද?

ගුවන්යානය කවුරු හරි නිර්මාණය කළා නම් කුරුල්ලෙක්ව නිර්මාණය කරන්නත් කවුරු හරි ඉන්න ඕන නැද්ද?

 සාක්ෂි හොයලා බලන්න උපකාර

 පරිසරයේ තියෙන දේවල් හොයලා බලනවා නම් නිර්මාණකරුවෙක් ඉන්නවා කියන විශ්වාසය තවත් වැඩි වෙයි.

 මෙහෙම කරලා බලන්න: මේ වෙබ් අඩවියේ තියෙන ඔන්ලයින් ලයිබ්‍රරියට ගිහින් “නිර්මාණයක්ද” කියලා යුගළ උඩු කොමා ඇතුළේ ටයිප් කරන්න. ‘පිබිදෙව්!’ සඟරාවේ “නිර්මාණයක්ද?” කියන ලිපි යටතේ ඔයා කියවන්න කැමති මාතෘකා කීපයක් තෝරගන්න. ඒ හැම ලිපියකම සාකච්ඡා කරලා තියෙන දේවල විශේෂත්වය මොකක්ද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. නිර්මාණකරුවෙක් ඉන්න ඕන කියලා ඒ ලිපිවලින් ඔප්පු වෙන විදිහ බලන්න.

 වැඩිදුර අධ්‍යයනයට: නිර්මාණකරුවෙක් ඉන්නවා කියන එකට තියෙන තවත් සාක්ෂි දැනගන්න පහත තියෙන සඟරා බලන්න.

  •  ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’

    •   පෘථිවිය තියෙන්නේ සුදුසුම තැනයි. ජීවය පවතින්න අවශ්‍ය හැම දෙයක්ම ඒකේ තියෙනවා.—4-10 පිටු බලන්න.

    •   පරිසරයේ තියෙන දේවල් අනුකරණය කරලා නිෂ්පාදනය කරන දේවලට උදාහරණ.—11-17 පිටු බලන්න.

    •   නිර්මාණය ගැන බයිබලයේ උත්පත්ති පොතේ සඳහන් වාර්තාව විද්‍යාවට එකඟයි.—24-28 පිටු බලන්න.

  •  ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’

    •   අජීවී රසායනික සංඝටකවලින් ඉබේම ජීවයක් හටගන්න බැහැ.—4-7 පිටු බලන්න.

    •   සෛලයක් වගේ ඉතා සංකීර්ණ දෙයක් ඉබේ ඇති වෙන්න බැහැ.—8-12 පිටු බලන්න.

    •   DNA අණුවක තියෙන දත්ත ප්‍රමාණය නවීන තාක්ෂණයෙන් තොරතුරු ගබඩා කරන්න හදලා තියෙන කිසිම දෙයකට වඩා විශිෂ්ටයි.—13-21 පිටු බලන්න.

    •   හැම ජීවියෙක්ම ඇති වුණේ එක ජීවියෙකුගෙන් නෙමෙයි. ෆොසිල වාර්තාවලින් ඔප්පු වෙන්නේ ජීවීන් වර්ග එකවර වෙන වෙනම ආරම්භ වුණා කියලයි. නැතුව සියලුම ජීවීන් එක ජීවියෙකුගෙන් ක්‍රමානුකූලව පරිණාමය වුණා කියලා නෙමෙයි.—22-29 පිටු බලන්න.

 “අවට පරිසරය දිහා බලද්දී දෙවි කෙනෙක් ඉන්නවා කියන එක ගැන මට කිසිම සැකයක් නැහැ. පොළොවේ ඉන්න සතුන් ගැනත් විශ්වය පිළිවෙළකට ක්‍රියා කරන විදිහ ගැනත් හිතලා බලද්දී නිර්මාණකරුවෙක් ඉන්න ඕන කියන එක පැහැදිලියි.”—ටාමස්.