Skip to content

යොවුන් සිතේ ගැටලු

මං කාවද ආදර්ශයට ගන්නේ?

මං කාවද ආදර්ශයට ගන්නේ?

 “ඉස්කෝලෙදී මොකක් හරි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණාම ඒ වගේ දේකට සාර්ථකව මූණ දුන්න කෙනෙක් ගැන මං හිතනවා. ජීවිතේ එක එක ප්‍රශ්නවලට මූණ දෙද්දී ආදර්ශයට ගන්න පුළුවන් අය ඉන්න එක ඒ ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න අපිට උදව් වෙනවා.”—හේලි.

 කෙනෙක්ගේ හොඳ ආදර්ශය ජීවිතේ විවිධ අභියෝගවලට සාර්ථකව මූණ දෙන්නත් ඉලක්ක ජය ගන්නත් අපිට උදව් වෙනවා. ඒත් ආදර්ශයට ගන්න පුළුවන් හොඳ කෙනෙක්ව තෝරගන්නේ කොහොමද?

 පරිස්සම් වෙන්න ඕන ඇයි?

  •   ආදර්ශයට ගන්න කෙනා නිසා ඔයා දේවල් කරන විදිහ වෙනස් වෙනවා.

     බයිබලේ අපිට කියන්නේ ආදර්ශවත් අය “හැසිරෙන ආකාරය දෙසත් එයින් ඔවුන් ලබන යහපත් ප්‍රතිඵල දෙසත් හොඳින් බලා ඔවුන් තුළ තිබෙන විශ්වාසය ආදර්ශයට ගන්න” කියලයි.—හෙබ්‍රෙව් 13:7.

     යෝජනාවක්: ඔයා ආදර්ශයට ගන්න කෙනා නිසා ඔයාගේ ජීවිතේට හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අනුකරණය කරන්න කෙනෙක්ව තෝරගනිද්දී එයාට ඇත්තටම හොඳ ගතිගුණ තියෙනවාද කියලා හිතලා බලන්න. කෙනෙක් ජනප්‍රිය නිසාවත් ඒ කෙනා ඔයාගේ වයසේ ඉන්න නිසාවත් එයාව තෝරගන්න ඉක්මන් වෙන්න එපා.

     “අපේ සභාවේ ඉන්න ඇඩම් හිතන විදිහ අනිත් අයට සලකන විදිහ හරිම ආදර්ශවත්. එයා කරපු කියපු සමහර දේවල් අදටත් මට මතකයි. සමහරවිට එයා දන්නේ නැතුව ඇති එයාගෙන් මං කොච්චර හොඳ දේවල් ඉගෙනගත්තාද කියලා.”—කොලින්.

  •   ඔයා ආදර්ශයට ගන්න කෙනා නිසා ඔයා හිතන විදිහ වෙනස් වෙනවා.

     බයිබලේ මෙහෙම කියනවා. “මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.”—1 කොරින්ති 15:33.

     යෝජනාවක්: ආදර්ශයට ගන්න ඕනෙ කෙනෙක්ගේ හොඳ ගතිගුණ මිසක් එයාගේ පෙනුම නෙමෙයි. හොඳ පෙනුමක් තිබුණාට කෙනෙක්ගේ ගුණාංග ආදර්ශවත් නොවෙන්න පුළුවන්.

     “ප්‍රසිද්ධ නළු නිළියන් වගේ අයව ආදර්ශයට ගන්න එකෙන් අපිට කිසිම යහපතක් වෙන් නෑ. අන්තිමට අපිට එයාලා වගේ වෙන්න බැරි වුණ එක ගැන දුක් වෙවී ඉන්න තමයි වෙන්නේ.”—තමාරා.

     හිතන්න දෙයක්: ජනප්‍රිය පුද්ගලයන්, ක්‍රීඩකයන් වගේ අයව ආදර්ශයට ගන්න එකේ තියෙන අනතුරු මොනවාද?

  •   ආදර්ශයට ගන්න කෙනා අනුව ඔයාට ඔයාගේ ඉලක්ක ජය ගන්න පුළුවන් වෙයිද, නැද්ද කියන එක තීරණය වෙනවා.

     බයිබලයේ මෙහෙම කියනවා. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.”—හිතෝපදේශ 13:20.

     යෝජනාවක්: ඔයා දියුණු කරගන්න කැමති ගුණාංග ගැන හිතලා ඒ ගුණාංග තියෙන ආදර්ශවත් කීපදෙනෙක්ව තෝරගන්න. එයාලා වැඩ කරන විදිහෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හිතලා බලන්න.

     “වගකීමෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඕනෙ නම් නිකම්ම ඉලක්කයක් තියාගන්නවා වෙනුවට මං මෙහෙම හිතනවා. ‘ජේන් වෙලාවට වැඩට එනවා. දෙන වැඩේ සැහැල්ලුවට ගන්නේ නැහැ. මං ආසයි එයා වගේ වගකීමෙන් වැඩ කරන්න.’”—මිරියම්.

     මේක මතක තියාගන්න: ඔයා හොඳ කෙනෙක්ව ආදර්ශයට ගත්තොත් ඔයාත් හොඳ කෙනෙක් වෙයි.

තව කෙනෙක්ගේ ආදර්ශය ඔයාගේ ඉලක්ක ජය ගන්න ඔයාට උදව් වෙයි

 කොහොමද තෝරගන්නේ?

 මෙන්න ක්‍රම 2ක්.

  1.   ඔයා දියුණු කරගන්න ආස ගුණාංගයක් තෝරගන්න. ඊටපස්සේ ඔයාට පුළුවන් ඒ ගුණාංගය තියෙන කෙනෙක්ව ආදර්ශයට ගන්න.

  2.   ආදර්ශයට ගන්න පුළුවන් කෙනෙක්ව තෝරගන්න. දැන් ඔයා දියුණු කරගන්න කැමති එයා ළඟ තියෙන හොඳ ගුණාංග ගැන හිතන්න.

 මේ ලිපිය එක්ක තියෙන වැඩ පිටුව ඒකට ඔයාට උදව් වෙයි.

 මේ වගේ අයවත් ආදර්ශයට ගන්න පුළුවන්:

  •  ඔයාගේ වයසේ ඉන්න අය. “මගේ යාළුවා අනිත් අය ගැන හරි සැලකිලිමත්. කොච්චර වැඩ තිබ්බත් එයා අනිත් අයට උදව් කරනවා. මට වඩා බාල වුණත් එයා හරි ආදර්ශවත්. මමත් ආසයි එයා වගේ වෙන්න.”—මිරියම්.

  •  වැඩිහිටි අය. ඔයාට පුළුවන් ඔයාගේ දෙමාපියන්ව, සභාවේ ඉන්න අයව ආදර්ශයට ගන්න. “මං ආදර්ශයට ගන්නේ මගේ අම්මාවයි, තාත්තාවයි. එයාලට හොඳ ගතිගුණ තියෙනවා. එයාලා අතින් වැරදි වෙන්නේ නැතුව නෙමෙයි. ඒත් එයාලා ඒවා හදාගෙන දිගටම විශ්වාසවන්තව ඉන්නවා. මටත් ඕනෙ එයාලා වගේ වෙන්න.”—ඇනෙට්.

  •  බයිබල් චරිත. තිමෝති, රූත්, යෝබ්,පේතෘස් වගේ බයිබල් චරිත තමයි මං ආදර්ශයක් හැටියට ගන්නේ. ඒ හැම කෙනෙක්ගෙන්ම එක එක පාඩම් ඉගෙනගන්න පුළුවන්. එයාලා ගැන බයිබලයේ තියෙන තොරතුරු ඉගෙනගන්න තරමට එයාලා මට සැබෑ පුද්ගලයන් වෙනවා. මං ගොඩක් ආස පොතක් තමයි ‘ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්’ කියන පොත. ‘යොවුන් සිතේ ගැටලු’ කියන පොත් දෙකේ “ඔයාට ආදර්ශයක්” කියන කොටසටත් මං ආසයි.—මෙලින්ඩා.

 යෝජනාවක්: කීපදෙනෙක්ව ආදර්ශ හැටියට තෝරගන්න. පාවුල් ක්‍රිස්තියානින්ට කිව්වෙත් “අප තැබූ ආදර්ශයට අනුව තම ජීවිත ගත කරන අයවද සැලකිල්ලට ගන්න” කියලයි.—ෆිලිප්පි 3:17.

 ඔයා දැනගෙන හිටියාද? ඔයාටත් පුළුවන් තව කෙනෙක්ට ආදර්ශයක් වෙන්න. බයිබලයේ මෙහෙම කියනවා. “ඔබ කතා කරන ආකාරයෙන්ද ඔබේ හැසිරීමෙන්ද ඔබේ ප්‍රේමයෙන්ද විශ්වාසයෙන්ද නිර්මලකමින්ද දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට ආදර්ශයක් වන්න.”—1 තිමෝති 4:12.

 “ඔයාගේ ජීවිතේ හදාගන්න ඕනෙ පැති තිබුණත් ඔයාට පුළුවන් තව කෙනෙක්ට හොඳ ආදර්ශයක් වෙන්න. ඔයා දන්නේ නැති වුණාට ඔයා දේවල් කරන කියන විදිහ බලලා අනිත් අය හොඳ දේවල් ඉගෙනගන්නවා.”—කියානා.