Skip to content

යොවුන් සිතේ ගැටලු

ගුරුවරයා එක්ක වැඩ කරන්න අමාරුයි නම් මොකද කරන්නේ?

ගුරුවරයා එක්ක වැඩ කරන්න අමාරුයි නම් මොකද කරන්නේ?

 නරක විදිහට සලකන ගුරුවරු

 පොඩි පන්තිවලදී හරි ලොකු පන්තිවලදී හරි අසාධාරණ විදිහට සලකන, කොච්චර මහන්සි වෙලා වැඩ කළත් සෑහීමට පත් වෙන්නේ නැති, නපුරු විදිහට සලකන ගුරුවරු හැම ළමයෙක්ටම වගේ ඉඳලා තියෙනවා.

  •   අවුරුදු 21ක් වයස ලුයිස් මෙහෙම කියනවා. “මට උගන්නපු එක ටීචර් කෙනෙක් හිටියා. එයා කොයි වෙලෙත් කුණුහරුප කියලා බනිනවා. ළමයින්ව සත පහකටවත් ගණන් ගන්නේ නෑ. එහෙම කළාට එයාව රස්සාවෙන් අස් කරන්නේ නෑ කියලා ටීචර් දැනන් හිටියා. මොකද එයා කොහොමත් පෙන්ෂන් යන්නනේ හිටියේ.”

  •   අවුරුදු 25ක් වයස මෙලනි, හැම තිස්සේම එයාට වෙනස්කම් කරපු ගුරුවරියක් ගැන මෙහෙම කියනවා. “මං අදහන්නේ වැඩි දෙනෙක් අදහන ආගමක් නෙවෙයි නිසා ටීචර් කිව්වා ඉස්සරහටත් ඒ වගේ අසාධාරණකම්වලට මූණ දෙන්න ඔයා දැන් ඉඳලම හුරු වෙන්න ඕනෙ කියලා. එහෙම කියලා තමයි ටීචර් එයාගේ වරද වහගත්තේ.”

 නපුරුකම් කරන ගුරුවරයෙක් හිටියා කියලා ඔයාගේ ඉස්කෝලේ ජීවිතේ කඩාකප්පල් කරගන්න ඕනෙ නැහැ. මොකද ඒ තත්වයට හොඳින් මුහුණ දෙන්න ඔයාට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ මොනවාද කියලා දැන් අපි බලමු.

 කරන්න පුළුවන් දේවල්

  •   හැඩගැහෙන්න. එක එක ගුරුවරු ශිෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් එකිනෙකට වෙනස්. ඒ නිසා ඔයාගේ ගුරුවරයා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා හරියටම තේරුම් අරන් ඒක කරන්න උපරිමයෙන්ම උත්සාහ කරන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දී තව තවත් ඉගෙනගනියි.”—හිතෝපදේශ 1:5.

     “මං තේරුම්ගත්තා ටීචර් කැමති විදිහට මං වෙනස් වෙන්න ඕනෙ කියලා. ඒක නිසා ටීචර් බලාපොරොත්තු වෙන විදිහට දේවල් කරන්න මං මට පුළුවන් හැම දේම කළා. ඒකෙන් පස්සේ ටීචත් එක්ක වැඩ කරන්න මට ලේසි වුණා.”—ක්‍රිස්ටොෆර්.

  •   ගරු කරන්න. ගුරුවරුන් එක්ක කාරුණිකව කතා කරන්න. එයාලා කරන දේවල් නිසා එකට එක කියන්න ඕනෙ කියලා හිතුණත් කවදාවත් එහෙම කරන්න එපා. ඒ වගේම ගුරුවරුන් ඔයාව සලකන්නේ ශිෂ්‍යයෙක් විදිහට මිසක් එයාලගේ සම වයසේ කෙනෙක් විදිහට නෙවෙයි කියලා මතක තියාගන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වේ.”—කොලොස්සි 4:6.

     “අපි ගුරුවරුන්ට ගරු කරන්න බැඳිලා ඉන්නවා. ඒත් හුඟක් ළමයි එහෙම කරන්නේ නෑ. ඔයා ගුරුවරුන්ට ගරු කරද්දී එයාලා ඔයාට සලකන විදිහ හිතාගන්න බැරි විදිහට වෙනස් වෙනවා.”—සියාරා.

  •   තේරුම්ගන්න. ගුරුවරු කියන්නෙත් අපි වගේම මිනිස්සු. එයාලටත් අපිට වගේම පීඩනය, කනස්සල්ල දැනෙනවා. ඒ නිසා ‘මගේ ටීචර් නං හරි නපුරුයි’ නැත්නම් ‘මගේ ටීචර්ට මාව පෙන්නන්න බෑ’ කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා.

     බයිබල් ප්‍රතිපත්තිය: “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි.”—යාකොබ් 3:2.

     “ගුරුවරුන් කරන්නේ ලේසි පහසු රස්සාවක් නෙවෙයි. පන්තියේ හැමෝගෙම අවධානය තියාගන්න එකයි, හැමෝටම තේරෙන විදිහට උගන්නන එකයි එයාලා කරන්නේ කොහොමද කියලා මට නං හිතාගන්නවත් බෑ. මං හැම තිස්සේම හිතන්නේ ටීචර්ට වධයක් නොවී ඉන්න මට මොනාද කරන්න පුළුවන් කියලයි. එතකොට අඩුම තරමේ එක ළමයෙක්ගෙන් හරි ටීචර්ට සහනයක් ලැබෙනවානේ.”—ඇලෙක්සිස්.

  •   අම්මායි තාත්තායි එක්ක කතා කරන්න. ඔයාගේ දෙමාපියන් තමයි ඔයාට උදව් කරන්න ඉන්න හොඳම අය. එයාලට ඕනෙ ඔයාගේ ඉස්කෝලේ ගමන සාර්ථක වෙනවා දකින්නයි. ඔයාට නරක විදිහට සලකන ගුරුවරයෙක් එක්ක හොඳින් වැඩ කරන්න දෙමාපියන් දෙන උපදෙස් ඔයාට උදව් වෙයි.

     බයිබල් ප්‍රතිපත්තිය: “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි.”—හිතෝපදේශ 15:22.

     “අපේ දෙමාපියන් වයසට ගිහින් තියෙන්නේ නිකං නෙවෙයි. ප්‍රශ්නවලට මූණ දීලා එයාලට අපිට වඩා හුඟක් අද්දැකීම් තියෙනවා. ඒ නිසා එයාලා කියන දේ අහන්න. එතකොට ඔයාට සාර්ථක වෙන්න පුළුවන්.”—ඔලිවියා.

 ගුරුවරයා එක්ක කතා කරන්නේ කොහොමද?

 සමහර අවස්ථාවලදී හොඳම දේ තමයි ඔයාට හැඟෙන විදහ ගැන ගුරුවරයාත් එක්ක කෙළින්ම කතා කරන එක. ප්‍රශ්නේ තවත් වැඩි වෙයි කියලා හිතලා බය වෙන්න එපා. මොකද ඔයා යන්නේ වාද කරන්න නෙවෙයිනේ. ඒක සාකච්ඡාවක්. ටීචර් එක්ක කතා කරන එක ඔයා හිතන තරම් අමාරු වෙන එකක් නැහැ. ඒ වගේම හිතුවට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්.

 බයිබල් ප්‍රතිපත්තිය: “සමාදානයට දායක වන දේවල් . . . කිරීමට අපි දැඩි උත්සාහයක් දරමු.”—රෝම 14:19.

 “ටීචර් ඔයාට විතරක්ම නපුරු විදිහට සලකනවා කියලා පේනවා නං ඔයාගේ අතින් ටීචර්ට මොකක් හරි වරදක් වුණාද කියලා එයාගෙන් අහන්න. එහෙම අහන එක ඔයාට උදව් වෙයි ඔයාගේ පැත්තෙන් කරන්න ඕනෙ මොනාද කියලා තේරුම්ගන්න.”—ජුලියානා.

 “පන්තිය පටන්ගන්න කලින් හරි ඉවර වුණාට පස්සේ හරි ටීචර්ව ගිහිල්ලා හම්බ වෙන්න. ප්‍රශ්නෙ ගැන ඔයාට හැඟෙන විදිහ එයත් එක්ක නිවිහැනහිල්ලේ කතා කරන්න. ඒ විදිහට ඇවිත් එයත් එක්ක කතා කරපු එක ගැන හුඟක් වෙලාවට ටීචර් සතුටු වෙයි.”—බෙන්ජමින්.

 ඇත්ත සිදුවීමක්

 “මගේ ලකුණු එන්න එන්නම අඩු වුණා. ටීචර්ගෙනුත් මට කිසි උදව්වක් ලැබුණේ නෑ. අන්තිමට ටීචර් නිසා මට ඉස්කෝලේ යන එකත් එපා වුණා.

 “වෙලා තියෙන දේ ගැන මම සර් කෙනෙක් එක්ක ටිකක් කතා කළා. එතකොට සර් මට මෙහෙම කිව්වා. ‘ටීචර් ඔයාව හරියට දන්නෙත් නෑ. ඔයා ටීචර්ව හරියට දන්නෙත් නෑ. ඒ නිසා ඔයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා ටීචර්ට ගිහින් කියන්න ඕනේ. එතකොට ඔයාට විතරක් නෙවෙයි ටීචත් එක්ක කතා කරන්න බයෙන් ඉන්න අනිත් ළමයින්ටත් ඒක ප්‍රයෝජනවත් වෙයි.’

 “සර් එහෙම කිව්වට ඒක තමයි මං කරන්න අකමැතිම වුණ දේ. හැබැයි ටිකක් කල්පනා කළාට පස්සේ මට තේරුණා සර් කිව්ව දේ හරි කියලා. දේවල් වෙනස් කරගන්න ඕනෙ මටනේ. එහෙනම් මංම තමයි මුල් පියවර ගන්නත් ඕනේ.

 “මං ඊළඟ දවසේ ටීචර්ව හම්බ වෙන්න ගියා. මං ටීචර්ව හුඟක් අගය කරනවා කියලත් එයා උගන්වන දේවලින් උපරිම ප්‍රයෝජන ගන්නයි මට ඕනෙ කියලත් මං ටීචර්ට කිව්වා. ඊටපස්සේ මම කිව්වා ඒත් ඒක කරන විදිහ මට තේරෙන්නේ නෑ කියලා. ටීචර් මට කරන්න පුළුවන් දේවල් ගැන හොඳ යෝජනා ටිකක් දුන්නා. ඒ විතරක් නෙවෙයි, ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ හරි ඊ-මේල්වලින් හරි මට උදව් කරන්නම් කියලත් කිව්වා.

 “මං පුදුම වුණා. ඒ විදිහට ටීචත් එක්ක කතා කරපු නිසා ප්‍රශ්නෙ විසඳගෙන කලින්ට වඩා හොඳට එයා එක්ක වැඩ කරන්න මට පුළුවන් වුණා. දැන් මං ඉස්කෝලේ යන්නේ හරි ආසාවෙන්.”—මරීයා.

 යෝජනාවක්: ඔයාටත් කවුරු හරි ගුරුවරයෙක් එක්ක වැඩ කරන්න අමාරුයි නම් ඒක අනාගතයට ප්‍රයෝජනවත් වෙන හොඳ පුහුණුවක් කියලා හිතන්න. අවුරුදු 22ක් වයස කේටි මෙහෙම කියනවා. “ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වුණාට පස්සෙත් ඔයාට හොඳ විදිහට සලකන්නේ නැති අය යටතේ වැඩ කරන්න සිද්ධ වෙයි. ඔයාට එච්චර හොඳින් සලකන්නේ නැති ටීචර් කෙනෙක් එක්ක දැන් වැඩ කරන්න පුළුවන් නං ඉස්සරහට ඔයාට ඕන කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් වෙයි.”