Skip to content

යොවුන් සිතේ ගැටලු

අයියා මලෝ, අක්කා නගෝ එක්ක සමඟියෙන් ඉන්න එකේ වැදගත්කම

අයියා මලෝ, අක්කා නගෝ එක්ක සමඟියෙන් ඉන්න එකේ වැදගත්කම

 “ඉන්න කොට වදේ. නැති කොට අගේ”

 මේ කතා කරන්නේ එක කුසේ උපන් සහෝදර සහෝදරියන් ගැනයි. ඔයා එයාලාට ගොඩක් ආදරෙයි. එයාලාත් ඔයාට ගොඩක් ආදරෙයි. ඒත් සමහර වෙලාවට සමඟියෙන් ඉන්න හරිම අමාරුයි. අවුරුදු 18ක් වයස හෙලෙනා මෙහෙම කියනවා. “මගේ මල්ලි කරන දේවල්වලට මට හරියට කේන්ති යනවා. එයා හොඳට දන්නවා මාව කේන්ති ගස්සන්න.”

  සහෝදර සහෝදරයින් එක්ක ඇති වෙන සමහර ප්‍රශ්න නං කතා කරලා විසඳගන්න පුළුවන්. උදාහරණෙකට මේ වගේ දේවල්.

  •   අයියාටයි මල්ලිටයි දීලා තියෙන්නේ එක කාමරයක් නං කිසිම නිදහසක් නෑ කියලා එයාලා රණ්ඩු වෙනවා ඇති. මොනවාද කරන්න පුළුවන්? සමාදානයෙන් ඒ ප්‍රශ්නේ විසඳගන්න. අනිත් කෙනා ගැන හිතන්න. ලූක් 6:31 තියෙන මඟ පෙන්වීම අදාළ කරගන්න.

  •   අක්කලා නංගිලා අහන්නේ නැතුව අනිත් කෙනාගේ ඇඳුම් අඳිනවා ඇති. මොනවාද කරන්න පුළුවන්? එයාත් එක්ක කතා කරලා ප්‍රශ්නේ විසඳගන්න. ඔයාගේ ඇඳුම්වලින් එයා ගන්නවාට කැමති නැති ඇඳුම් මොනවාද කියලා එයාට කියන්න. 2 තිමෝති 2:24 තියෙන මඟ පෙන්වීම අදාළ කරගන්න.

 ඒත් සහෝදර සහෝදරියන් එක්ක ඇති වෙන සමහර ප්‍රශ්න නම් ගොඩක් දුර දිග යන්න පුළුවන්. බයිබලයේ තියෙන ඒ වගේ අද්දැකීම් දෙකක් බලමු.

  •   මිරියම්ටයි ආරොන්ටයි මෝසෙස් ගැන ඇති වුණ ඊර්ෂ්‍යාව නිසා එයාලාට ලොකු කරදරයකට මුහුණ දෙන්න වුණා. ඒ ගැන දැනගන්න ගණන් කතාව 12:1-15 කියවන්න. දැන් මේ ප්‍රශ්නය ගැන හිතලා බලන්න. ‘සහෝදර සහෝදරියන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඉන්න මට පුළුවන් කොහොමද?’

  •   කේන්ති යන එක දරුණු දෙයක්. කායින්ට කේන්තිය පාලනය කරගන්න බැරුව එයාගේ මල්ලිව මැරුවා. ඒ ගැන දැනගන්න උත්පත්ති 4:1-12 කියවන්න. දැන් මේ ප්‍රශ්නය ගැන හිතලා බලන්න. ‘මගේ සහෝදර සහෝදරියන් එක්ක කටයුතු කරද්දී මට කේන්ති යනවා නම් ඒක පාලනය කරගන්නේ කොහොමද?’

 සමඟියෙන් ඉන්න හේතු දෙකක්

 කොච්චර අමාරු වුණත් සහෝදර සහෝදරියන් එක්ක සමඟියෙන් ඉන්න එක වටිනවා. ඒකට හේතු දෙකක් බලන්න.

  1.   ඒකෙන් ඔයා අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් කියලා පේනවා. ඇලෙක්ස් මෙහෙම කියනවා. “ඉස්සර මට මගේ නංගිලාත් එක්ක හරියට කේන්ති යනවා. ඒත් දැන් එහෙම නෑ. මං අවබෝධයෙන් වැඩ කරන්න පුරුදු වුණා. මම දැන් ගොඩක් ඉවසනවා. එතකොට ප්‍රශ්නත් අඩුයි.”

     බයිබලේ මෙහෙම කියනවා. “ඉක්මනින් කෝප නොවන්නා හොඳ වටහාගැනීමේ හැකියාවක් ඇති කෙනෙකි. එහෙත් ඉවසීම නැති තැනැත්තා තම මෝඩකම ප්‍රදර්ශනය කරයි.”—හිතෝපදේශ 14:29.

  2.   ඒක ඔයාගේ අනාගතයට හොඳ පුහුණුවක්. ඔයාගේ පවුලේ කෙනෙක් එක්ක සමඟියෙන් ඉන්න ඔයාට බැරි නම් පස්සේ කාලෙක ඔයා බඳින කෙනා, ඔයා වැඩ කරන තැන ඉන්න අය, නැත්නං වෙන කාත් එක්ක හරි සමඟියෙන් ඉන්න ඔයාට අමාරු වෙයි.

     මේක මතක තියාගන්න. කාත් එක්ක හරි ප්‍රශ්නයක් ඇති වුණාම ඒක කතා කරලා විසඳගන්න ඔයා දැන්ම පුරුදු වෙන්න ඕනේ. ගෙදර අයත් එක්ක එහෙම කටයුතු කරද්දී ඔයාට ඒකෙන් හොඳ පුහුණුවක් ලැබෙයි. ඒක අනාගතයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

     බයිබලේ මෙහෙම කියනවා. “මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.”—රෝම 12:18.

 ඔයාගේ සහෝදර සහෝදරියන් එක්ක ඇති වෙන ප්‍රශ්න විසඳගන්න ඔයා ආසද? “ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ” යන කොටස කියවලා “සහෝදර සහෝදරියන් එක්ක සමඟියෙන් ඉන්න” කියන වැඩ පිටුව බලන්න.