Skip to content

යොවුන් සිතේ ගැටලු

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (1වෙනි කොටස)

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (1වෙනි කොටස)

 බරපතළ ලෙඩක් තියෙන යෞවනයෙක්ව නැත්නම් යෞවනියක්ව ඔයා දන්නවද? එහෙම නැත්නම් ඔයාට අනිත් අය වගේ දුවලා පැනලා විනෝද වෙන්න විදිහක් නැති ආබාධයක් හරි බරපතළ ලෙඩක් හරි තියෙනවද?

 එහෙමනම් ඔයාට ඒ ගැන ලොකු දුකක් දැනෙනවා ඇති. බයිබලයේ සඳහන් වෙලා තියෙන මේ දේවල් දෙක මතකයේ තියාගත්තොත් ඒක ඔයාට සහනයක් වෙයි.

  •   අපි හැමෝවම නිර්මාණය කරපු යෙහෝවා දෙවිට ඔයාව හොඳින් තේරුම්ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔහු ඔයා ගැන හුඟක් “සැලකිලිමත්” කියලා බයිබලේ කියනවා.—1 පේතෘස් 5:7.

  •   හැම අසනීපයක්ම සුව කරන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ ගැන යෙසායා 33:24 හා එළිදරව් 21:1-4 තියෙන දේ ඔයාම බයිබලෙන් කියවලා බලන්න.

 බරපතළ අසනීප තියෙන හුඟක් යෞවන යෞවනියන්ට පුළුවන් වෙලා තියෙනවා ජීවිතේට හොඳින් මුහුණ දෙන්න. ඒක කරන්න ඒ අයට පුළුවන් වෙලා තියෙන්නේ දෙවිවත් දෙවිගේ පොරොන්දුත් විශ්වාස කරන නිසයි. ඒ වගේ කීපදෙනෙක්ව අඳුනගන්න ඔයා ආසද?

 යේමි

 මම රෝද පුටුවකට සීමා වුණේ අවුරුදු 11දියි. මට පොඩි වැඩක්වත් කරගන්න බැහැ. අඩුම ගානේ සැහැල්ලු දෙයක්වත් උස්සන්න බැහැ.

 අවුරුදු පහේදී මට මාංශ පේශි දුර්වල වෙන බරපතළ ලෙඩක් තියෙනවා කියලා දොස්තරවරු හොයාගත්තා. ඒ ලෙඩේ නිසා මට කිසිම වැඩක් කරන්න බැහැ. මගේ වයසේ ඉන්න අනිත් ළමයි කරන දේවල් කරගන්න බැරි හින්දා සමහර වෙලාවට මම හුඟක් කලකිරෙනවා. ඒ වුණත් මගේ අම්මයි තාත්තයි වගේම අපේ සභාවේ ඉන්න අයත් හැම අතින්ම මට උදව් කරනවා. ඒ අය මට කරගන්න බැරි දේවල් මං වෙනුවෙන් කරලා දෙනවා. මම දුකෙන් ඉන්න වෙලාවට මාව දිරිගන්වනවා. ඒ වගේම දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියාගන්නත් මට උදව් කරනවා. ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා පූර්ණකාලීන දේවසේවකයෙක් විදිහට සේවය කරන්න. මම සමහර අයට බයිබලය ගැන කියලා දෙන්න යද්දී මගේ සභාවේ කවුරු හරි මාත් එක්ක ඒකට යන්න එනවා.

 හැම දවසකම කරදර තියෙන බව මතක තබාගන්න කියලා යේසුස් කිව්වා. (මතෙව් 6:34) ඒ නිසා මම හෙට දවසේ කරදර ගැන හිතහිත ලත වෙන්නේ නැහැ. මං හිතන්නේ අද දවසේ කරදර ගැන විතරයි. ඒ වගේම මම නිතරම හිතන්නේ මට කරන්න පුළුවන් දේවල් ගැන විතරයි. ඒ දේවල් කරන්න මම උත්සාහ කරනවා. යෙහෝවා දෙවියන් මේ ලෙඩේ නැති කරලා දාන කාලේ එනකං මම බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. එදාට දුක් කරදර නැති “සැබෑ ජීවිතය” ලබාගන්න මට පුළුවන්.—1 තිමෝති 6:19.

 හිතන්න දෙයක්: යේමි එයාට කරන්න බැරි දේවල් ගැන හිතන්නේ නැතුව කරන්න පුළුවන්දේවල් ගැන හිතලා ඒවා කොහොමහරි කරන්න උත්සාහ කරනවා. එහෙම කරන්න ඔයාටත් පුළුවන් කොහොමද?—1 කොරින්ති 9:26.

 මාටෙයෝ

 වයස අවුරුදු හයේදී මගේ කොන්ද රිදෙන්න පටන්ගත්තා. දොස්තරවරු නම් කිව්වේ මම තාම හැදෙන වයසේ දරුවෙක් නිසා ඒ කැක්කුම එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි කියලයි. ඒත් අවුරුද්දකට පස්සේ දොස්තරවරු හොයාගත්තා මගේ කොඳු ඇට පෙළේ ගෙඩියක් තියෙනවා කියලා.

 සැත්කමක් කරත් ගෙඩියෙන් 40%ක් විතරයි අයින් කරන්න පුළුවන් වුණේ. හැබැයි මාස දෙකක් ඇතුළත ආපහු ඒක තිබ්බා වගේම වර්ධනය වුණා. එදා ඉඳලා එක එක පරීක්ෂණ කළා. ප්‍රතිකාර කළා. ඒත් ඒ එකක්වත් හරි ගියේ නැහැ.

 සමහර වෙලාවට පිහියකින් අනිනවා වගේ වේදනාවක් මට දැනෙනවා. ඒ වේදනාව වැඩිපුරම මට දැනෙන්නේ මගේ කොන්දෙයි පපුවෙයි. හැබැයි මං නිතරම උත්සාහ කරන්නේ මගේ ලෙඩේ ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්නයි. මේ වගේ ලෙඩ තියෙද්දිත් ජීවිතේට හොඳින් මුහුණ දෙන තව හුඟදෙනෙක් ඉන්නවා කියලා මං නිතරම මතක් කරගන්නවා. යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙන විදිහට මේ හැම දුක් වේදනාවක්ම ළඟදීම නැති කරනවා කියලා මට විශ්වාසයි. ඒක තමයි මට තියෙන ලොකුම හයිය.—එළිදරව් 21:4.

 හිතන්න දෙයක්: මාටෙයෝ වගේ ඔයාත් දෙවිගේ පොරොන්දු නිතරම මතකයේ තියාගන්න එක අසනීපෙත් එක්ක ජීවිතේට මුහුණ දෙන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?—යෙසායා 65:17.

 බෲනෙ

 මට අසනීපයක් තියෙනවා කියලා බැලූ බැල්මට පේන්නේ නෑ. ඒ නිසා සමහර අයට හිතෙයි මං මහ කම්මැලියෙක් කියලා. හැබැයි ඇත්තටම මට තියෙන ලෙඩේ නිසා වැඩක් පළක් කරන්න, පාඩම් කරන්න අඩුම තරමින් ඇඳෙන් බහින්නත් හරිම අමාරුයි.

 මට දරුණු ස්නායු රෝගයක් තියෙනවා කියලා දැනගත්තේ අවුරුදු 16දියි. ඒක එන්න එන්නම බරපතළ අතට හැරෙන රෝගයක්. මේ ලෙඩේ නිසා මට කරන්න පුළුවන් දේවල් සීමිතයි. දේවසේවයේ මං කැමති තරම් යන්න මට බැහැ. මං නිතරම කියවන බයිබල් පදයක් තමයි 1 පේතෘස් 5:7. එතන කියන්නේ ‘දෙවියන් ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න’ කියලයි. අපි හැම කෙනෙක් ගැනම දෙවියන් සැලකිලිමත් කියලා හිතද්දී මේ ලෙඩේ දරාගන්න මට ශක්තියක් ලැබෙනවා.

 හිතන්න දෙයක්: බෲනෙ වගේ කනස්සල්ලට හේතු වෙන හැම දෙයක්ම දෙවිට කියන එකෙන් ඔයාටත් සහනයක් ලබන්න පුළුවන් කොහොමද?—ගීතාවලිය 55:22.

 ඔන්ඩ්‍රේ

 සමහර අය මට සලකන්නේ අවුරුදු 10ක ළමයෙක්ට වගේ. ඒ ගැන එයාලට වරදක් කියන්න බෑ. මොකද මගේ පෙනුම ඒ වගේ තමයි.

 අවුරුදු දෙකේදී වෛද්‍යවරුන් හොයාගත්තා මට හරිම දුර්ලභ ගනයේ පිළිකාවක් තියෙනවා කියලා. ඒක පිටකොන්දේ ඉඳලා මොළේට පැතිරෙන පිළිකාවක්. ඒක පැතිරෙන එක වළක්වන්න වෛද්‍යවරුන්ට පුළුවන් වුණත් දීපු බෙහෙත් නිසා මගේ ශරීරය වර්ධනය වෙන එක අඩු වුණා. මගේ උස අඩි 4යි අඟල් 6යි. මට අවුරුදු 18යි කියලා කිව්වම කවුරුත් මාව විශ්වාස කරන්නේ නෑ.

 ඉස්කෝලේ යන කාලේ ළමයි මට හුඟක් විහිළු කළා. ඒත් මගේ සභාවේ කිසිම කෙනෙක් මට ඒ විදිහට විහිළු කරන්නේ නෑ. මගේ පෙනුම නිසා එයාලා මං දිහා අමුතු විදිහට බලන්නේ නෑ. ඇත්තටම කෙනෙක්ට ජීවිතේ ලබන්න පුළුවන් වටිනාම දේ මට ලැබිලා තියෙනවා. ඒ තමයි යෙහෝවා දෙවියන්ව දැන හඳුන ගන්න ලැබුණු එක. මට මොන දේට මුහුණ දෙන්න සිද්ධ වුණත් යෙහෝවා දෙවියන් මාත් එක්ක ඉන්නවා කියලා මං දන්නවා. ඒ නිසා මං නිතරම සතුටින් ඉන්න උත්සාහ කරනවා. අනාගතයේදී දෙවියන් ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙන අලුත් පොළොව ගැන හිතන එක කලකිරෙන්නේ නැතුව ඉන්න මට ලොකු උදව්වක්.—යෙසායා 33:24.

 හිතන්න දෙයක්: ඔන්ඩ්‍රේ කිව්වා වගේ කෙනෙක්ගේ ජීවිතේ ලබන්න පුළුවන් වටිනාම දේ දෙවියන්ව දැන හඳුන ගන්න එක කියලා කියන්න පුළුවන් ඇයි?—යොහන් 17:3.