Skip to content

යොවුන් සිතේ ගැටලු

අවංක වෙන්න ඕන ඇයි?

අවංක වෙන්න ඕන ඇයි?

 සමහරු අවංක නැත්තේ ඇයි?

 අද සමාජයේ අවංක වෙන එකෙන් කිසි වාසියක් නැහැ කියලා පේන්න පුළුවන්.

  •   ‘බොරු කිව්වේ නැත්නම් මට දෙමව්පියන්ගෙන් දඬුවම් ලැබෙයි.’

  •   ‘මං මේ විභාගෙදී කොපි කෙරුවේ නැත්නම් මාව ෆේල් වෙයි.’

  •   ‘මේක හොරකම් කෙරුවේ නැත්නම් මේක ගන්න සල්ලි ඉතුරු කරන්න වෙයි.’

 ‘හැමෝම වංක දේවල් කරනවානේ. ඕක ඔච්චර දෙයක්ද?’ කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්.

 හැමෝම එහෙම හිතන්නේ නැහැ. යෞවනයන් හුඟදෙනෙක් ඇතුළු බොහෝදෙනෙක් අවංක වෙන එකෙන් ප්‍රයෝජන තියෙනවා කියලා හිතනවා. “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි” කියලා බයිබලයේ කියනවා. (ගලාති 6:7) ඒ කියන්නේ අපි කරන කියන ඕනම දේකින් හොඳ ප්‍රතිඵලයක් හරි නරක ප්‍රතිඵලයක් හරි ලැබෙනවා කියන එකයි.

 බොරු කියපු අයට ලැබුණු නරක ප්‍රතිඵල ගැන බලන්න.

  “අර පිරිමි ළමයා එක්ක කතා කෙරුවා නේද කියලා අම්මා ඇහුවාම මං නැහැ කිව්වා. ඒත් මං කියන්නේ බොරුවක් කියලා අම්මා දැනගෙන හිටියා. තුන්වෙනි පාරටත් ඒ ගැන ඇහුවාම මං බොරු කිව්වා. අම්මාට හොඳටම කේන්ති ගියා. මගේ ෆෝන් එක මට සති දෙකක් පාවිච්චි කරන්න දුන්නේ නැහැ. මාසයක්ම TV බලන එකත් තහනම් කෙරුවා. එදායින් පස්සේ කවදාවත් මං අම්මලාට බොරු කිව්වේ නැහැ.”—ඇනීටා.

 හිතන්න දෙයක්: ඇනීටාට අම්මාගේ විශ්වාසය ආපහු දිනාගන්න කාලයක් යන්නේ ඇයි?

 බයිබලේ දෙන උපදෙස: “ඔබ දැන් සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා ඇති නිසා ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි.”—එෆීස 4:25.

  “අම්මලාට බොරු කිව්වාම මං හිතුවේ බේරුණා කියලා. ඒත් පස්සේ දවසක ආපහු මට කිව්වා සිද්ධ වුණ දේවල් එකින් එක විස්තර කරන්න කියලා. මං බොරු ගොතලා කියලා තිබුණ හින්දා කිව්වේ මොනවාද කියලා අමතක වෙලා තිබුණා. මුලින්ම ඇත්තම කිව්වා නම් ඒ වගේ ලැජ්ජාවක් වෙන්නේ නැහැ.”—ඇන්තනි.

 හිතන්න දෙයක්: ඇන්තනි ඒ වගේ ලැජ්ජාවකට පත් වෙන එක වළක්වගන්න කරන්න තිබුණේ මොකක්ද?

 බයිබලේ දෙන උපදෙස: “බොරු කියන දිව යෙහෝවා දෙවිට පිළිකුලක්ය. නමුත් විශ්වාසවන්තව ක්‍රියා කරන අය ඔහුට ප්‍රසන්නය.”—හිතෝපදේශ 12:22.

  “විස්තරයක් කියද්දී ලුණු ඇඹුල් එකතු කරලා කියන යාළුවෙක් මට ඉන්නවා. අපි දෙන්නා හොඳ යාළුවෝ නිසා එයා කියන දේවල් ඇත්තද බොරුද කියලා හාරවුස්සන්නේ නැහැ. හැබැයි එයා කියන දේවල් විශ්වාස කරන්න අමාරුයි.”—ඉවෝන්.

 හිතන්න දෙයක්: එක දෙක කරලා කියන එකත් “පුංචි පුංචි” බොරු කියන එකත් ඉවෝන්ගේ යාළුවාගේ චරිතෙට බලපාන්නේ කොහොමද?

 බයිබලේ දෙන උපදෙස: ‘අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.’—හෙබ්‍රෙව් 13:18.

ගොඩනැඟිල්ලක අත්තිවාරම පුපුරලා නම් ඒක මුළු ගොඩනැඟිල්ලටම බලපානවා වගේ කෙනෙක් වංක දේවල් කරනවා නම් ඒකෙන් එයාගේ හොඳ චරිතේ කැත වෙනවා

 අවංක වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන

 අවංක වෙන එකෙන් ලැබෙන හොඳ ප්‍රතිඵල බලන්න.

  “මගේ ඉස්සරහින් ගිය ගෑනු කෙනෙක්ගේ සල්ලි වගයක් බිම වැටුණා. මං එයාට අඬගහලා ඒ සල්ලි ටික දුන්නා. එතකොට එයා ස්තුති කරලා ‘ඔයා නම් හරිම හොඳ කෙනෙක්. ඔයා වගේ අවංක අය අද හොයාගන්න අමාරුයි’ කියලා කිව්වා. හරි දේ කෙරුවානේ කියන සතුට අද්දකින්න මට පුළුවන් වුණා.”—විවියන්.

 හිතන්න දෙයක්: ඒ වගේ අවංකකමක් දැක්කාම ඒ කාන්තාව පුදුම වුණේ ඇයි? අවංක වුණ එක විවියන්ට ප්‍රයෝජනයක් වුණේ කොහොමද?

 බයිබලේ දෙන උපදෙස: “සැමවිටම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන තැනැත්තා සන්තෝෂවත්ය.”—ගීතාවලිය 106:3.

  “පවුලේ අපි හැමෝම කරන්නේ පිරිසිදු කිරීමේ රස්සාවක්. සමහර වෙලාවට කාර්යාලයක් අස්පස් කරද්දී බිම වැටිලා තියෙන කාසි දකිනවා. අපි ඒවා අහුලලා ඒ ළඟ තියෙන මේසෙකින් තියෙනවා. ‘මේක සත දහයක්නේ. මොකටද මේක තිබ්බේ’ කියලා කාර්යාල සේවිකාවක් අකමැත්තෙන් කිව්වා. ඒත් එයාට අපිව හුඟක් විශ්වාසයි.”—ජූලියා.

 හිතන්න දෙයක්: ජූලියාට වෙන රස්සාවකට යන්න වුණොත් අවංකව වැඩ කරනවා කියලා ලැබෙන චරිත සහතිකය එයාට කොච්චර ප්‍රයෝජනවත් වෙයිද?

 බයිබලේ දෙන උපදෙස: ‘දෙවිගේ අනුමැතිය ලබා ඇති සේවකයෙකු ලෙස පෙනී සිටීම සඳහා ඔබට හැකි උපරිමය කරන්න. එලෙසම තමන් ඉටු කරන සේවය ගැන ලැජ්ජා නොවන කෙනෙකු වන්න.’—2 තිමෝති 2:15.

  “මං වැඩ කරලා තියෙන්නේ පැය 64යි. ඒත් පැය 80ක් වැඩ කෙරුවා කියලා පඩි හදලා තිබුණා. ඒක තියාගත්තා නම් මට වාසියි. ඒත් ඒකට මගේ හිත ඉඩ දුන්නේ නැහැ. පඩි හදන කෙනා ළඟට ගිහින් මං ඒ ගැන කිව්වාම එයා මට ගොඩක් ස්තුති කෙරුවා. ඒක හොඳට දියුණු කම්පනි එකක් නිසා මේ සල්ලි ටික කම්පනි එකට එච්චර දෙයක් නෙමෙයි. ඒත් මට අයිති නැති සල්ලි ගත්තා නම් ඒක හරියට හොරකමක් කෙරුවා වගෙයි.”—බෙතනි.

 හිතන්න දෙයක්: කෙනෙක්ගෙන් දෙයක් හොරකම් කරන එක වැරදි නම් ව්‍යාපාරයකින් යමක් හොරකම් කරන එක වැරදි නැද්ද?

 බයිබලේ දෙන උපදෙස: “වංක තැනැත්තා යෙහෝවා දෙවිට පිළිකුලක්ය. නමුත් අවංක අයට ඔහු ළංව සිටින්නේය.”—හිතෝපදේශ 3:32.