Skip to content

යොවුන් සිතේ ගැටලු

මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද?

මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද?

 තනියෙන් ජීවත් වෙනවා කියලා හිතද්දී ඒක නියම අද්දැකීමක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් එක්කම ඒ ගැන බයක් දැනෙන්නත් පුළුවන්. තනියම ජීවත් වෙන්න ඔයාට පුළුවන්ද බැරිද කියලා දැනගන්න පුළුවන් කොහොමද?

 ඇයි මං ඒකට කැමති?

 ගෙදරින් ගිහින් තනියම ජීවත් වෙන්න ඕනෙ කියලා ඔයාට හිතෙන්න හේතු ගොඩක් ඇති. ඒත් ඒ හැම හේතුවක්ම සාධාරණයි කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. බලන්න යෞවන වයසේ ඉන්න මාරියෝ කියන දේ. “ගෙදර තිබුණ වගකීම්වලින් බේරෙන්න ඕනෙ නිසා මං තනියෙන් ජීවත් වෙන්න හිතුවා.”

 ඒත් මේක මතක තියාගන්න. ඔයා නිදහස හොයාගෙන එළියට යනවා නම් ඇත්තටම ඒකෙන් වෙන්නේ ඔයාට තියෙන නිදහසත් නැති වෙන එකයි. බලන්න අවුරුදු 18ක් වන ආන්යා කියන දේ. “ගෙදරින් ගියාම අපිට උදව් කරන්න අම්මායි තාත්තායි ළඟ නෑ. ඉතිං ඉන්න තැන ලස්සනට තියාගන්න එක, කෑම හදාගන්න එක, බිල් ගෙවන එක, මේ හැම දේම කරන්න වෙන්නේ තනියෙන්.”

 මේක මතක තියාගන්න: තනියෙන් ජීවත් වෙන්න ඔයාට පුළුවන්ද කියලා දැනගන්න නම්, ඉස්සෙල්ලාම ඇයි ඔයා ඒකට ආස කියලා හොඳට හිතලා බලන්න.

 වියහියදම් ගණන් බලන්න

 “ඔබ අතර සිටින කෙනෙක් යම් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා. නමුත් ඔහුට එය සම්පූර්ණයෙන්ම ගොඩනඟා අවසන් කරන්න හැකි වෙයිද කියා දැනගැනීමට මුලින්ම ඔහු ඒ සඳහා යන වියදම ගණන් බලන්නේ නැද්ද” කියලා යේසුස් කිව්වා. (ලූක් 14:28) එහෙමනම් තනියෙන් ජීවත් වෙන්න යන ‘වියදම ගණන් බලන්න’ ඔයාට පුළුවන් කොහොමද? මේ කරුණු ගැන හිතලා බලන්න.

  අරපිරිමැස්මෙන් සල්ලි වියදම් කරන්න ඔයාට පුළුවන්ද?

 බයිබලේ දෙන උපදෙස: “මුදල ආරක්ෂාවක්.”—දේශනාකාරයා 7:12.

  •  ඔයාට සල්ලි ඉතුරු කරන්න අමාරුයිද?

  •  ඔයා අත දිග ඇරලා හොඳට වියදම් කරන කෙනෙක්ද?

  •  ඔයා නිතරම අනිත් අයගෙන් සල්ලි ණයට ගන්නවාද?

 ඒ ප්‍රශ්නවලින් එකකට හරි ඔයා ඔව් කියලා උත්තර දුන්නා නම්, තනියෙන් ජීවත් වෙන්න ඔයා දකින සුන්දර සිහිනය හරිම භයානය සිහිනයක් බවට පත් වෙන්න පුළුවන්.

 “මගේ අයියා අවුරුදු 19දී ගෙදරින් ගියා. එයා ඉතුරු කරපු සල්ලි ඔක්කොම අවුරුද්දක් ඇතුළත ඉවර වුණා. එයාගේ කාර් එකත් ෆිනෑන්ස් එකෙන් අරං ගියා. අන්තිමට බැංකුවලින් එයාට ණය දුන්නෙත් නැහැ. ඒ නිසා එයාට ආපහු ගෙදර එන්න ඉඩ දෙන්න කියලා එයා අම්මලාගෙන් ඉල්ලුවා.”—ඩැනියල්.

 ඔයාට කරන්න පුළුවන් දේ: සාමාන්‍යයෙන් මාසෙකට කීයක් විතර වියදම් වෙනවාද කියලා අම්මාගෙන්, තාත්තාගෙන් අහන්න. එයාලට ගෙවන්න තියෙන බිල් මොනවාද කියලත් ලැබෙන මුදලෙන් ඒ බිල් ටිකත් ගෙවලා වියදම් පිරිමහගන්නේ කොහොමද කියලත් අහන්න.

 මේක මතක තියාගන්න: අම්මායි තාත්තායි එක්ක ඉන්න කාලේදීම සල්ලි අරපරෙස්සමින් වියදම් කරන විදිහ ඉගෙනගත්තොත්, කවදා හරි තනියෙන් ජීවත් වෙන කාලෙක ආර්ථික ප්‍රශ්න එද්දී ඒවාට සාර්ථකව මුහුණ දෙන්න ඔයාට පුළුවන් වෙයි.

  ඔයාට ඔයාවම පාලනය කරගන්න පුළුවන්ද?

 බයිබලේ දෙන උපදෙස: “සෑම කෙනෙක්ම තමාට පැවරී ඇති වගකීම ඉටු කළ යුතුයි.”—ගලාති 6:5.

  •  ඔයා වැඩ කල් දාන කෙනෙක්ද?

  •  ගෙදර පැවරිලා තියෙන වගකීම් ඉටු කරන්න ඔයාට අම්මායි තාත්තායි ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕනෙද?

  •  ඔයා ගෙදර එන්නේ අම්මායි තාත්තායි ඔයාට ගෙදර එන්න දීලා තියෙන වෙලාව පහු වෙලාද?

 ඒ එක ප්‍රශ්නෙකට හරි ඔයාට දෙන්න තියෙන්නේ ඔව් කියන උත්තරය නම් එළියට ගිහින් තනියෙන් ජීවත් වෙන එක ඔයාට ලේසි වෙන්නේ නැහැ.

 “තනියම ජීවත් වෙද්දී අපි කැමති නැති සමහර වැඩ අපිම කරගන්න ඕනේ. අරක කරන්න මේක කරන්න කියලා කවුරුත් අපිට කියන්නේ නැහැ. ඒ නිසා අපිම හිතලා ඒවා පිළිවෙළකට කරන්න ඕනේ.”—ජෙසිකා.

 ඔයාට කරන්න පුළුවන් දේ: මාසයක් ඇතුළත ගෙදරදොරේ වැඩවලින් ලොකු ප්‍රමාණයක් ඔයාගේ අතට අරගෙන කරලා බලන්න. උදාහරණෙකට ගේ අතුගාන එක, රෙදි තනියෙන් හෝදගන්න එක, කඩේට ගිහින් බඩු ගේන එක, හැමදාම රෑ කෑම හදන එක සහ කෑමෙන් පස්සේ පිඟන් කෝප්ප හෝදන එක කරලා බලන්න ඔයාට පුළුවන්. තනියම ජීවත් වෙන එක මොන වගේද කියලා තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙයි.

 මේක මතක තියාගන්න: තනියෙන් ජීවත් වෙන්න නම් ඔයා ඔයාව පාලනය කරගන්නම ඕනේ.

කලින් පුරුදු පුහුණු වෙන්නේ නැතුව තනියෙන් ජීවත් වෙන්න ගෙදරින් යන එක හරියට පැරෂූට් එකක් පාවිච්චි කරන විදිහ දන්නේ නැතුව ප්ලේන් එකකින් බිමට පනිනවා වගේ වැඩක්

  ඔයා ඕන දේකට ඔට්ටුයිද?

 බයිබලේ දෙන උපදෙස: “ඔබ උදහස, කෝපය, අයහපත් ක්‍රියා, නින්දාසහගත කතා යනාදි සියලු දේවල් ඔබෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතුයි.”—කොලොස්සි 3:8.

  •  ඔයාට අනිත් අයත් එක්ක පෑහිලා වැඩ කරන්න බැරිද?

  •  ඔයාට කේන්තිය පාලනය කරගන්න අමාරුයිද?

  •  හැම දේම කෙරෙන්න ඕනෙ ඔයාට ඕන විදිහටද?

 මේ ප්‍රශ්නවලින් එකකට හරි ඔයා ඔව් කියලා උත්තර දෙනවා නම් ඔයාට තවත් කෙනෙක් එක්ක හවුලේ කාමරයක් අරන් ජීවත් වෙන එක නැත්නම් විවාහ වෙලා යුවළක් විදිහට ජීවත් වෙන එක අභියෝගයක් වෙයි.

 “තවත් කෙනෙක් එක්ක හවුලේ කාමරයක් අරන් ජීවත් වෙද්දී තමයි මට මගේ අඩුපාඩු පේන්න ගත්තේ. සමහර වෙලාවට පීඩනය වැඩි වුණාම මගේ මූඩ් අප්සට් වෙනවා. අනිත් අය ඒක දරාගෙන ඉන්න ඕනෙ කියලා බලාපොරොත්තු වෙන්න මට බැහැනේ. ඒකෙන් ගොඩ එන්න ක්‍රමයක් මටම හොයාගන්න වුණා.”—හෙලේනා.

 ඔයාට කරන්න පුළුවන් දේ: අම්මායි තාත්තායි එක්ක සහ සහෝදර සහෝදරියන් ඉන්නවා නම් එයාලා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. දැන් ඔයාත් එක්ක ඉන්න අය අතින් අඩුපාඩුකම් වෙද්දී ඔයා කටයුතු කරන විදිහ අනුව තමයි, අනාගතේ ඔයා වෙනම ජීවත් වෙන දවසක ඔයා එක්ක ඉන්න අය අතින් අඩුපාඩු වෙද්දී ඔයා කටයුතු කරන්නේ.

 මේක මතක තියාගන්න: තනියෙන් ජීවත් වෙනවා කියන්නේ ඔයා වගකීම්වලින් නිදහස් වෙනවා කියන එක නෙමෙයි. තනියෙන් ජීවත් වෙන්න කලින්ම පුරුදු පුහුණු වෙන්න අවශ්‍යයි. ඒ දේ සාර්ථකව කරලා තියෙන අය එක්ක කතා කරලා බලන්න. ‘එදා මෙහෙම කළා නම් හොඳයි’ නැත්නම් ‘ඒ කාලේ මේ දේවල් දැනගෙන හිටියා නම් හොඳයි’ කියලා එයාලට හිතෙන්නේ මොන වගේ දේවල් ගැනද කියලා අහන්න. ජීවිතේ ඕනෑම බැරෑරුම් තීරණයක් ගන්න කලින් ඒ දේ කරන එක ඔයාට ප්‍රයෝජනවත්.