Skip to content

යොවුන් සිතේ ගැටලු

අනිත් අය මට කැමති නැත්නම් මොකද කරන්නේ?

අනිත් අය මට කැමති නැත්නම් මොකද කරන්නේ?

 “අනිත් හැමෝටම වඩා වෙනස් විදිහකට වැඩ කරන්න ගියොත් ඔයාට එක යාළුවෙක්වත් හොයාගන්න බැරි වෙයි. ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙයි. අන්තිමට ඔයාට වෙන්නේ කාත් කවුරුත් නැතුව තනියෙන් ජීවත් වෙලා මැරිලා යන්න.”—කාල්.

 කාල් කියපු දේ යථාර්ථවාදී නැහැ කියලා ඔයාට හිතුණාද? ඒත් හුඟක් යෞවනයන් හිතන්නේ කාල් හිතන විදිහටමයි. ඒ නිසා එයාලා අනිත් අයගේ හිත් දිනාගන්න කරන්න පුළුවන් හැම දේම කරනවා. ඔයාත් ඒ වගේ කෙනෙක්ද? එහෙමනම් හොඳ යාළුවන්ව හරි විදිහට හොයාගන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න මේ ලිපියේ තොරතුරු ඔයාට උදව් වෙයි.

 හුඟදෙනෙක් අනිත් අයගේ පිළිගැනීම ලබාගන්න උත්සාහ කරන්නේ ඇයි?

  •   කොන් වෙනවාට කැමති නැති නිසා. “සමාජ ජාලා වෙබ් අඩවියක දාපු ෆොටෝස් බලද්දී මං දැක්කා කට්ටියක් මං නැතුව ගිහින් හොඳට විනෝද වෙලා තියෙනවා කියලා. මගේ ඔළුව හොඳටම අවුල් වුණා. එයාලා මට කැමති නැතුව ඇති. ඒක වෙන්න ඇති එයාලා මාව එක්කන් ගියේ නැත්තේ කියලා මට හිතුණා.”—නටාලි.

     හිතන්න දෙයක්: කවදා හරි ඔයාටත් හිතිලා තියෙනවාද යාළුවෝ සෙට් එකක් ඔයාව කොන් කරනවා වගේ කියලා? ඒ වගේ වෙලාවක එයාලගේ හිත් දිනාගන්න ඔයා මොනවා හරි කළාද?

  •   අනිත් අයට වඩා වෙනස් කෙනෙක් වෙන්න කැමති නැති නිසා. “මගේ අම්මායි, තාත්තායි මට තාම ෆෝන් එකක් අරන් දීලා නැහැ. ඉතින් මගේ නම්බර් එක ඉල්ලන යාළුවන්ට මට ෆෝන් එකක් නෑ කියලා කියද්දී එයාලට ඒක අදහාගන්න බෑ. පුදුමෙන් වගේ එයාලා අහනවා ‘මොකක්, ඔයාට තාම ෆෝන් එකක් නැද්ද’ කියලා.”—මේරි.

     හිතන්න දෙයක්: අනිත් අයට වඩා ඔයා හුඟක් වෙනස් කියලා ඔයාට හිතෙන්නේ දෙමාපියන් දාලා තියෙන මොන වගේ සීමා තහංචි නිසාද? ඒවාට ඔයා කැමැත්තෙන්ම යටත් වෙනවාද?

  •   අනිත් අයගේ හිරිහැරවලට ලක් වෙන්න කැමති නැති නිසා. “තමන්ට වඩා වෙනස් විදිහට කතා කරන, වෙනස් විදිහට වැඩ කරන අයට විතරක් නෙවෙයි වෙනස් ආගමක් අදහන අයටත් ඉස්කෝලේ ළමයි කැමති නැහැ. එයාලා හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ ඒ වගේ අයට මොකක් හරි හිරිහැරයක් කරන්න.”—ඔලිවියා.

     හිතන්න දෙයක්: ඔයා අනිත් අයට වඩා හුඟක් වෙනස් නිසා අනිත් අය ඔයාටත් නපුරු විදිහට සලකලා තියෙනවාද? ඒ වගේ වෙලාවට ඔයා කරන්නේ මොනවාද?

  •   යාළුවන් නැති කරගන්න කැමති නැති නිසා. “කට්ටියක් එක්ක ඉද්දී මට ඕන වුණේ එයාලට හරියන විදිහට මගේ පෞද්ගලිකත්වය වෙනස් කරගන්න. මං කතාබහ කරන විදිහත් වෙනස් කරගත්තා. එච්චර හිනා යන්නේ නැති විහිළුවක් එයාලා කළත් මං ඒකට හිනා වුණා. එයාලා අනිත් අයගේ හිත් රිද්දලා විනෝද වෙද්දී මාත් එයාලත් එක්ක හවුල් වුණා.”—රේචල්.

     හිතන්න දෙයක්: අනිත් අයගේ පිළිගැනීම ලබාගන්න එක හුඟක් වැදගත් කියලා ඔයාට හිතෙනවාද? අනිත් අයව සතුටු කරන්න ඕන නිසා ඔයාගේ පෞද්ගලිකත්වයත් වෙනස් කරගෙන තියෙනවාද?

 ඔයා දැනගෙන ඉන්න ඕන දේ

  •   අනිත් අය වගේ වෙන්න ගියොත් එයාලා අපෙන් තවත් ඈත් වෙන්න ඉඩ තියෙනවා. ඒ ඇයි? මොකද ඔයා කරන්නේ මවාපෑමක් කියලා හුඟක් අයට තේරෙනවා. අවුරුදු 20ක් වයස බ්‍රයන් එයාගේ අද්දැකීම ගැන මෙහෙම කියනවා. “පංතියේ ළමයින්ව සතුටු කරන්න ඕන නිසා මං එයාලා වගේ වෙන්න හැදුවා. එයාලා දේවල් කරන කියන විදිහට දේවල් කරන්න ගත්තා. හැබැයි එයාලා ඇත්තටම ඒකට කැමති නැහැ කියලා මට තේරුණා. මවාපෑමක් කරද්දී ඒක ඉක්මනින්ම අනිත් අයට තේරෙනවා. ඒ නිසා ඔයාගේ පෞද්ගලිකත්වය වෙනස් කරගන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම දේ.”

     යාළුවන්ව හරි විදිහට හොයාගන්න: ඇත්තටම ඔයාගේ ජීවිතේ වැදගත් දේවල් මොනවාද කියලා හොඳට කල්පනා කරලා බලන්න. බයිබලයේ මෙහෙම කියනවා. ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’ (ෆිලිප්පි 1:10) ඒ නිසා වඩා වැදගත් වෙන්නේ ‘මං හරියි කියලා දන්න ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන එකද නැත්නම් ඒ ප්‍රතිපත්තිවලට ගරු කරන්නේ නැති අයව සතුටු කරන එකද’ කියලා හොඳට හිතන්න.

     “අනිත් අය වගේ වෙන්න හදන එක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද ඒකෙන් එයාලගේ හිත් දිනාගන්න බෑ. අපේ හොඳ ගතිගුණත් නැති වෙලා යනවා.”—ජේම්ස්.

  •   අනිත් අය වගේ වෙන්න ගියොත් ඔයාගේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. අපි හැම තිස්සේම අනිත් අයව සතුටු කරන්න ඕන නිසා අපේ පෞද්ගලිකත්වය වෙනස් කරන එක හොඳ දෙයක් නෙවෙයි. අන්තිමේදී අපි අනිත් අයට ඕන විදිහට වැඩ කරන කෙනෙක් වෙයි. ජෙරමි මෙහෙම කියනවා. “ඉස්සර මං යාළුවෝ එක්ක සෙට් වුණාම එයාලා කියන ඕනම දෙයක් කළා. ඒකෙන් මගේ නම කැත වුණත් මට ගානක් වුණේ නෑ. අන්තිමට එයාලා ගහන ගහන පදේට මාත් නැටුවා.”

     යාළුවන්ව හරි විදිහට හොයාගන්න: පාට වෙනස් කරන කටුස්සෙක් වගේ වෙන්නේ නැතුව ඔයා හරියි කියලා පිළිගන්න ප්‍රතිපත්තිවලට එකඟව දිගටම ජීවත් වෙන්න. බයිබල් පරිවර්තනයක ඒ ගැන මෙහෙම කියලා තියෙනවා. “හැමෝම දෙයක් කරන හින්දා ඔයාත් ඒක කරන්න යන්න එපා.”—නික්මයාම 23:2, Holy Bible—Easy-to-Read Version.

     “එයාලා ආස කරන හැම දේකටම මාත් ආසයි කියලා පෙන්නන්නයි මට ඕන වුණේ. ඒ නිසා එයාලා ආස කරන සිංදුවලට, එයාලා කරන ක්‍රීඩාවලට, එයාලා අඳින ඇඳුම්වලට, එයාලා මේකප් කරන විදිහට . . . මං ආසයි කියලා පෙන්නන්න මං උත්සාහ කළා. ඒත් මං කරන්නේ බොරුවක් කියලා මටම තේරුණා. එයාලටත් අනිවාර්යයෙන්ම ඒක තේරෙන්න ඇති. අන්තිමේදී මට ලොකු පාළුවක්, තනිකමක්, හිස්බවක් දැනුණා. මං කවුද කියලා මටම අමතක වෙලයි තිබුණේ. මං ඇත්තටම කැමති මොනවාටද කැමති නැත්තේ මොනවාටද කියලවත් මට මතක තිබුණේ නෑ. ඒකෙන් මං වැදගත් පාඩමක් ඉගෙනගත්තා. අපිට හම්බ වෙන හැම කෙනෙක්වම සතුටු කරන්න අපිට බෑ. එයාලා අපේ යාළුවෝ වෙන්න කැමති වෙන එකකුත් නෑ. හැබැයි ඒකෙන් අදහස් කරන්නෙ නෑ යාළුවන් හොයාගන්න බැරි වෙයි කියලා. ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. මොකද හොඳ යාළුවන් හොයාගන්නත් අපි කවුද කියලා හරියට අඳුනගන්නත් ටිකක් කල් යනවා.”—මෙලින්ඩා.

  •   අනිත් අය වගේ වෙන්න ගියොත් ඔයා අතින් වැරදි දෙයක් වුණත් වෙන්න ඉඩ තියෙනවා. තරුණයෙක් වන ක්‍රිස් එයාගේ ඥාති සහෝදරයෙක් ගැන කියපු දේ බලන්න. “යාළුවන්ගේ හිත් දිනාගන්න ඕන හින්දා මල්ලි කවදාවත් කරපු නැති දේවල් කරන්න පටන්ගත්තා. අන්තිමේදී එයා කුඩු ගහන්නත් පටන්ගත්තා. ඒවාට කොච්චර ඇබ්බැහි වුණාද කිව්වොත් එයාගේ මුළු ජීවිතයම අවුල් වුණා.”

     යාළුවන්ව හරි විදිහට හොයාගන්න: කෙනෙක් කරන කියන දේවලින් එයාට හොඳ ප්‍රතිපත්ති තියෙනවාද, නැද්ද කියලා තේරුම්ගන්න පුළුවන්. ඔයා ආශ්‍රය කරන අයට හොඳ ප්‍රතිපත්ති නැහැ කියලා තේරුණොත් ඒ අයගෙන් ඈත් වෙන්න. බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.”—හිතෝපදේශ 13:20.

     “අනිත් අයව සතුටු කරන්න ඕන නිසා එයාලා කැමති දේවල් කරන්න වෑයම් කරන එකේ වරදක් නෑ. හැබැයි වැරදියි කියලා ඔයා හොඳටම දන්න දේවල් නම් කරන්න යන්න එපා. ඔයා කැමති අකමැති දේවලට ගරු කරන, ඔයාව වෙනස් කරන්න හදන්නේ නැති අයව තමයි යාළුවන් කරගන්න ඕනේ.”—මෙලනි.

     යෝජනාවක්: ඔයා කැමති දේවලටම කැමති අයව විතරක් ඔයාගේ යාළුවන් විදිහට තෝරගන්න එපා. දෙවියන්ට ආදරේ කරන, හොඳ ගතිපැවතුම් තියෙන, හරි වැරැද්ද ගැන ඔයා හිතන විදිහටම හිතන අයව ඔයාගේ යාළුවන් කරගන්න.

    සමහර ඇඳුම් ඇන්දාට ඔයා ලස්සන වෙන්නේ නැහැ වගේ සමහර යාළුවන්ව ආශ්‍රය කරන එක ඔයාගේ ගතිගුණ ලස්සන කරගන්න උදව් වෙන්නෙත් නැහැ