Skip to content

යොවුන් සිතේ ගැටලු

යාළු වෙන එක - 1වෙනි කොටස: යාළු වෙන්න කාලේ හරිද?

යාළු වෙන එක - 1වෙනි කොටස: යාළු වෙන්න කාලේ හරිද?

 යාළු වෙන්න ඕනෙ මොන අදහසින්ද?

 අද හුඟක් අය යාළු වෙන්නේ ජොලියට වගේ. හැබැයි මේ ලිපියේ “යාළු වෙනවා” කියන එකෙන් අදහස් කරන්නේ විවාහ වෙන්න කලින් ගෑනු ළමයෙකුයි, පිරිමි ළමයෙකුයි ගැළපෙනවාද කියලා බලන්න කරන ආශ්‍රයට. ඒ කියන්නේ කෙනෙක් එක්ක යාළු වෙන එකට අරමුණක් තියෙනවා. එහෙම නැතුව ඒක ඔයා ආස පිරිමි ළමයාගේ, ගෑනු ළමයාගේ අවධානය ඇදගන්න කරන සෙල්ලමක් නෙවෙයි.

 ගෑනු ළමයෙකුයි, පිරිමි ළමයෙකුයි යාළු වෙද්දී එයාලා ඉස්සරහා තීරණ දෙකක් තියෙනවා. දෙන්නාට දෙන්නා ගැළපෙනවා නම් එක්කෝ එයාලා කසාද බඳින්න ඕනේ. ගැළපෙන්නේ නැත්නම් එයාලාගේ ආදර සම්බන්ධය නවත්තන්න ඕනේ. ඉතින් කෙනෙක් එක්ක යාළු වෙද්දී මේ දෙකෙන් ඕනම එකක් වෙන්න පුළුවන් කියලා තේරුම්ගන්න.

 මේක මතක තියාගන්න: ඔයා යාළු වෙන්න කෙනෙක්ව හොයන්න ඕනෙ විවාහයට ලෑස්ති නම් විතරයි.

බඳින්න අදහසක් නැතුව යාළු වෙන එක හරියට ජොබ් එකක් කරන්න අදහසක් නැතුව ඉන්ටවිව් එකකට යනවා වගේ

 සම්බන්ධයක් පටන්ගන්න ඔයා ලෑස්තිද?

 ඔයා යාළු වෙන්නේ විවාහ වෙන අරමුණෙන්නේ. ඒ නිසා ඔයාගේ ගුණාංග ගැන ආයේ ටිකක් හිතලා බලන එක වැදගත්. මොකද ඔයාගේ විවාහ ජීවිතේ සාර්ථක වෙයිද නැද්ද කියන එකට ඒක කෙළින්ම බලපානවා. මේ උදාහරණ බලන්න.

  •   පවුලේ බැඳීම. ඔයා අම්මායි තාත්තායි එක්ක, සහෝදර සහෝදරියන් එක්ක වැඩ කරන්නේ කොහොමද? විශේෂයෙන්ම ඔයා ලොකු පීඩනයකින් ඉද්දී. මොකද ඒ විදිහටම තමයි දවසක ඔයා බඳින කෙනාටත් සලකන්නේ.

     බයිබල් ප්‍රතිපත්තිය: “දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා මෙන්ම වෙනත් නපුරු දේවල් ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න.”—එෆීස 4:31.

     මේ ගැන හිතන්න: ‘මගේ පවුලේ අය කියනවාද මං එයාලට ගෞරවයෙන් සලකනවා කියලා? එයාලත් එක්ක එකඟ වෙන්න බැරි අවස්ථාවලදී වුණත් කේන්ති ගන්නේ නැතුව මං සන්සුන්ව වැඩ කරනවාද? එහෙම නැත්නම් මං කොයි වෙලෙත් එයාලා එක්ක කට ගහගෙන යනවාද?’

    ඔයාට දෙමාපියන් එක්ක කතා කරලා ප්‍රශ්නයක් විසඳගන්න බැරි නම් බැන්ද දවසක ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙයිද?

  •   කැප කිරීම්. කසාද බැන්දාට පස්සේ සමහරවිට ඔයාගේ සැමියාගේ, බිරිඳගේ ආසාවන් වෙනුවෙන් ඔයාගේ ආසාවන් වුණත් කැප කරන්න ඔයාට සිද්ධ වෙයි.

     බයිබල් ප්‍රතිපත්තිය: “සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.”—1 කොරින්ති 10:24.

     මේ ගැන හිතන්න: ‘මං හැම වෙලාවෙම කොහොමහරි මට ඕන දේ කරගන්න හදන කෙනෙක්ද? මං සාධාරණ කෙනෙක් කියලා අනිත් අය කියයිද? මං හැම තිස්සේම අනිත් අය ගැන හිතනවා කියලා මං වැඩ කරන විදිහෙන් පේනවාද?’

  •   නිහතමානිකම. හොඳ බිරිඳක්, සැමියෙක් එයාගේ අතින් වෙන වැරදි පිළි අරන් හදවතින්ම සමාව ඉල්ලන්න දෙසැරයක් හිතන්නේ නැහැ.

     බයිබල් ප්‍රතිපත්තිය: “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි.”—යාකොබ් 3:2.

     මේ ගැන හිතන්න: ‘මගේ අතින් වරදක් වුණොත් මං ඒක ඉක්මනටම පිළිගන්නවාද? එහෙම නැත්නම් නිදහසට කරුණු කියනවාද? කෙනෙක් ආදරෙන් මගේ වරදක් පෙන්නලා දෙද්දී මට කේන්ති යනවාද?’

  •   වියහියදම්. හුඟක් වෙලාවට සල්ලි නිසා පවුල්වල ප්‍රශ්න ඇති වෙනවා. ඒ හින්දා දැන් ඉඳන්ම අරපිරිමැස්මෙන් වියහියදම් කරන්න ඉගෙනගත්තොත් ඉස්සරහට ගොඩක් ප්‍රශ්න මඟහරවා ගන්න ඔයාට පුළුවන්.

     බයිබල් ප්‍රතිපත්තිය: “මෙහෙම සිතන්න. ඔබ අතර සිටින කෙනෙක් යම් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා. නමුත් ඔහුට එය සම්පූර්ණයෙන්ම ගොඩනඟා අවසන් කරන්න හැකි වෙයිද කියා දැනගැනීමට මුලින්ම ඔහු ඒ සඳහා යන වියදම ගණන් බලන්නේ නැද්ද?”—ලූක් 14:28.

     මේ ගැන හිතන්න: ‘මට පාලනයක් ඇතුව සල්ලි වියදම් කරන්න පුළුවන්ද? නැත්නම් මං හැම තිස්සේම ණය වෙන කෙනෙක්ද? මං නාස්ති කරන්නේ නැතුව සල්ලි අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා කියලා පේනවාද?’

  •   දෙවියන් එක්ක තියෙන බැඳීම. ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් ඔයා වරද්දන්නේ නැතුව බයිබලේ අධ්‍යයනය කරන්න ඕනේ. රැස්වීම් යන්න ඕනේ.

     බයිබල් ප්‍රතිපත්තිය: “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.

     මේ ගැන හිතන්න: ‘දෙවියන් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න මං මගේ පැත්තෙන් උපරිමය කරනවාද? නමස්කාරයේ දේවල්වලට මං මගේ ජීවිතේ මුල්ම තැන දෙනවාද? එහෙම නැත්නම් අනිත් දේවල් නිසා ඒක දෙවෙනි තැනට වැටිලාද?’

 මේක මතක තියාගන්න: ඔයා හොඳ කෙනෙක්ව හොයනවා වගේම තමයි අනිත් කෙනාත් හොයන්නේ හොඳ කෙනෙක්ව. ඒ නිසා හොඳ ගුණාංග ඇති කරගන්න මහන්සි වෙන්න. එතකොට ගොඩක් වෙලාවට ඔයාටත් හොඳ කෙනෙක්ව හම්බ වෙයි.