Skip to content

යොවුන් සිතේ ගැටලු

යාළුකමක්ද? ආදරයක්ද? - 2වෙනි කොටස: මං කරන කියන දේවල්වලින් අඟවන්නේ මොකක්ද?

යාළුකමක්ද? ආදරයක්ද? - 2වෙනි කොටස: මං කරන කියන දේවල්වලින් අඟවන්නේ මොකක්ද?

 ඔයා ඕනම යාළුවෙක්ට උදව් කරන්න කැමති පිරිමි ළමයෙක්. ඒ නිසාම වෙන්න ඇති ළඟකදී ඉඳලා එක යාළුවෙක් එයාගේ හිතේ තියෙන දේවල් ගැන නිතරම වගේ ඔයාත් එක්ක කතා කරනවා. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නේ මේ යාළුවා ගෑනු ළමයෙක්. ‘අපි නිකං යාළුවෝ විතරයිනේ’ කියලා සමහරවිට ඔයා හිතයි. ඒත් ඇත්තටම ඒ ගෑනු ළමයාත් හිතනවා ඇත්තේ එහෙමද?

 වෙන්න පුළුවන් මොනවාද?

 ගෑනු ළමයි, පිරිමි ළමයි යාළුවෝ විදිහට ආශ්‍රය කරන එක වැරදි නැහැ. හැබැයි අනික් යාළුවන්ට වඩා එක ගෑනු ළමයෙක්ට ඔයා වැඩි අවධානයක් දෙනවා නම් ඒ ගැන කියන්න තියෙන්නේ මොනවාද? එතකොට ඒ ගෑනු ළමයා හිතයි ඔයාගේ හිතේ එයා ගැන අදහසක් තියෙනවා කියලා.

 ඒත් ඔයා ඒ ගෑනු ළමයා එක්ක කතාබහ කරන්නේ ඒ වගේ අදහසකින් නෙවෙයි. හැබැයි කරන කියන දේවලින් ඔයා ඒ වගේ ඇඟවීමක් එයාට දෙනවා ඇති. මේ පැති ගැන හිතන්න.

  •   ඔයා නිතරම එයා එක්ක කතා කරනවා.

     “වෙන කෙනෙක්ට අපි ගැන හැඟෙන විදිහ වෙනස් කරන්න අපිට බැහැ තමයි. ඒත් ‘අපි නිකං යාළුවෝ විතරයි’ කියකියා කෙනෙක්ගේ හිතේ ඔයා ගැන ආසාවක් ඇති වෙන විදිහට නිතරම එයා එක්ක කතා කරනවා නම් ඔයා කරන්නේ ගින්නට පිදුරු දානවා වගේ වැඩක්.”සියෙරා.

  •   එයා කතා කරන නිසා ඔයාත් කතා කරනවා.

     “එක ගෑනු ළමයෙක් හැම වෙලාවෙම මට මෙසේජ් එව්වා. ඒ හැම එකකටම වගේ මාත් රිප්ලයි කළා. ඒ නිසා එයා හිතුවා මම එයාට කැමතියි කියලා. එහෙම අදහසක් මගේ හිතේ තිබුණේ නැහැ කියලා එයාට කිව්වාම ඒක පිළිගන්න එයාට අමාරු වුණා.”රිචඩ්.

  •   ඔයා ගැන අදහසක් ඇති වෙන විදිහට ඔයා වැඩ කරනවා.

     “වෙන අයගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක වැරදියි කියලා සමහර අයට තේරෙන්නේ නැහැ. එයාලා සෙල්ලමට වගේ වෙන අයට බලාපොරොත්තු දෙනවා. ඒකෙන් අන්තිමේදි වෙන්නේ එක් කෙනෙක්ගේ හිත හොඳටම රිදෙන එකයි. මම ඒක ඕන තරම් දැකලා තියෙනවා.”—තමාරා.

 මේක මතක තියාගන්න. ඔයා ගෑනු ළමයෙක් එක්ක නිතරම කතාබහ කරනවා නම්, එයාට වැඩිපුර අවධානය දෙනවා නම් ඔයාගේ හිතේ එයා ගැන අදහසක් තියෙනවා කියලා එයාට හිතෙයි.

 ඒ ගැන හිතලා බලන්න ඕනෙ ඇයි?

  •   එයාගේ හිත හුඟක් රිදෙයි.

     බයිබලයේ කියන දේ. “බලාපොරොත්තු වන දේ ප්‍රමාද වූ විට සිත කලකිරෙන්නේය.” (හිතෝපදේශ 13:12) ඔයා ගැන හිතේ අදහසක් තියෙනවා කියලා ඇඟවෙන විදිහට ගෑනු ළමයෙක් වැඩ කළොත් ඔයාගේ හිතෙත් එයා ගැන බලාපොරොත්තුවක් ඇති වෙනවා නේද?

     “ඔයාට කෙනෙක් ගැන හිතේ කිසිම අදහසක් නැතුව එයාට බොරුවට ආලවන්ත හැඟීම් පානවා නම් ඔයා කරන්නේ එයාට ලොකු වේදනාවක් දෙන එකයි.”ජෙසිකා.

  •   ඔයාගේ නම කැත වෙනවා.

     බයිබලයේ කියන දේ: “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.” (ෆිලිප්පි 2:4) අනික් කෙනාට මොනවා වුණත් කමක් නැහැ කියලා හැම තිස්සේම තමන්ගේ සතුට ගැන විතරක් හිතන කෙනෙක් ගැන ඔයාට මොනවාද හිතෙන්නේ? ඒ වගේ කෙනෙක්ට හොඳ නමක් තියෙනවා කියලා ඔයා හිතනවාද?

     “දකින දකින ගෑනු ළමයින්ට ඉඟිබිඟි පාන පිරිමි ළමයෙක්ට මම නම් කැමති නැහැ. එහෙම කරන අය කසාද බැන්දාට පස්සේ බිරිඳට විශ්වාසවන්තව ඉඳියි කියලා හිතන්න පුළුවන්ද? වෙන කෙනෙක්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරලා සතුටු වෙන එක හරි ආත්මාර්ථකාමී දෙයක්.”ජූලියා.

 මේක මතක තියාගන්න. ආදරය කරන්න කිසිම අදහසක් නැතුව බොරුවට ආලවන්ත හැඟීම් පාන්න එපා. එහෙම කරන එකෙන් ඔයා අනික් අයට ලොකු දුකක් දෙනවා. ඒ විතරක්නෙවෙයි ඔයාටත් විඳවන්න වෙනවා.

 ඔයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවාද?

  •   ‘තරුණයන්ව තම සහෝදරයන් මෙන්ද, තරුණියන්ව පවිත්‍ර සිතින් තම සහෝදරියන් මෙන්ද සලකන්න’ කියලා බයිබලයේ කියනවා. (1 තිමෝති 5:1, 2) ඒ උපදෙස පිළිපදිනවා නම් පිරිමි ළමයින්ටයි ගෑනු ළමයින්ටයි හැමදාම හොඳ යාළුවෝ වගේ ඉන්න පුළුවන්.

     “මම කසාද බැඳලා හිටියා නම් කීයටවත් වෙන කෙනෙක්ගේ ස්වාමිපුරුෂයෙක්ට ආලවන්ත හැඟීම් පාන්නේ නැහැනේ. දැන් පිරිමි ළමයින්ව ආශ්‍රය කරද්දී ඕනෑවට වඩා යන්නේ නැතුව ඉන්න මම ඉගෙනගත්තොත් තමයි මට ඒක කරන්න පුළුවන් වෙන්නේ.”ලෙයා.

  •   “කතාබහ වැඩි වූ විට වරදකට හසු වීමේ ඉඩකඩද වැඩිය” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 10:19) ඒ උපදෙස අදාළ වෙන්නේ අපි කතා කරන දේවල්වලට විතරක් නෙමෙයි. අපි යවන මෙසේජ්වලටත් අදාළයි. ඒ නිසා ඔයා එයාට මෙසේජ් කරන්නේ මොනවා ගැනද, දවසට කීපාරක් මෙසේජ් යවනවාද කියන එක ගැන සැලකිලිමත් වෙන්න.

     “ගෑනු ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන්ගන්න අදහසක් නැත්නම් දවස ගාණේ එයාට මෙසේජ් කරන්න එපා.”බ්‍රයන්.

  •   “ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙකු තුළ මුලින්ම දක්නට ලැබෙන්නේ නිර්මලකමය” කියලා බයිබලයේ කියනවා. (යාකොබ් 3:17) පිරිසිදු හිතකින් කෙනෙක්ව වැලඳගන්න පුළුවන් වගේම කෙනෙක් ගැන හිතේ අදහසක් තියෙනවා කියලා ඇඟවීමක් දෙන විදිහට වැලඳගන්නත් පුළුවන්.

     “මම පිරිමි ළමයින් එක්ක කතාබහ කරනවා. ඒත් මගේ සීමාව දැනගෙන නිතරම ඒ සීමාව ඇතුළේ ඉන්න මම උත්සාහ කරනවා.”මරියා.

 මේක මතක තියාගන්න. ඔයා පිරිමි ළමයෙක් නම් ගෑනු ළමයින්ව ඔයා ආශ්‍රය කරන විදිහ ගැනත් ඔයා ගෑනු ළමයෙක් නම් පිරිමි ළමයින්ව ආශ්‍රය කරන විදිහ ගැනත් හොඳට හිතලා බලන්න. ජෙනිෆ කියන යෞවනිය මෙහෙම කිව්වා. “හොඳ යාළුකම් ඇති කරගන්න එක හරිම අමාරුයි. ඒ නිසා කෙනෙක්ගේ හිතේ බොරු බලාපොරොත්තු ඇති වෙන විදිහට වැඩ කරන්න එපා. ඒකෙන් වෙන්නේ වටිනා යාළුවෝ නැති වෙන එකයි.”

 මේක කරලා බලන්න

  •    කවුරු හරි කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් “ඔයායි අරයයි අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවාද” කියලා ඒක ගණන්ගන්නේ නැතුව ඉන්න එපා. මොකද ඒකෙන් අදහස් වෙන්නේ ඔයා ඒ ගෑනු ළමයාට හුඟක් ළං වෙලා කියලයි.

  •    හැමෝවම එකම විදිහට ආශ්‍රය කරන්න. ඔයා පිරිමි ළමයෙක් නම් එක ගෑනු ළමයෙක්ට විතරක් වැඩිපුර අවධානයක් දෙන්න එපා. ඒක ගෑනු ළමයින්ටත් අදාළයි.

  •    මෙසේජ් යවද්දී පරෙස්සම් වෙන්න. ඇලිසා මෙහෙම කියනවා. “මහ රෑ පිරිමි ළමයෙක්ට මෙසේජ් යවන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි.” ඒ නිසා ඔයා මෙසේජ් යවන්නේ මොන වගේ වෙලාවටද කියලත් දවසට කීපාරක් මෙසේජ් යවනවාද කියලත් යවන්නේ මොන වගේ මෙසේජ්ද කියලත් හොඳට හිතන්න.