Skip to content

යොවුන් සිතේ ගැටලු

ලිංගික කාරණා ගැන මගේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්නේ කොහොමද?

ලිංගික කාරණා ගැන මගේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්නේ කොහොමද?

“ඔයා තාම කා එක්කවත් එකට ඉඳලා නැද්ද?”

කවුරු හරි ඔයාගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවොත් නැහැ කියලා ස්ථිරවම කියන්න පුළුවන් වුණත් ඒක කියන්න ඔයා බයද? එහෙමනම් මේ ලිපිය ඔයාට උදව් වෙයි.

 පිවිතුරු කෙනෙක් කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ටද?

 පිවිතුරු කෙනෙක් කියන්නේ කිසිම දවසක ලිංගික ඇසුරක් පවත්වලා නැති කෙනෙකුටයි.

 සමහරු හිතනවා සංසර්ගයේ යෙදිලා නැති අය පිවිතුරුයි කියලා. ඒත් ඒ අය වෙනත් ලිංගික ක්‍රියාවල යෙදිලා තියෙනවා නම් පිවිතුරුයි කියලා කියන්න බැහැ.

 ලිංගික ක්‍රියාවලට, මුඛය හා ගුද මාර්ගය යොදාගන්න එකත් ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න එකිනෙකාගේ ලිංගික අවයව අත පත ගාන එකත් ඇතුළත් වෙනවා.

 මේක මතක තියාගන්න: වෙනත් කෙනෙක් එක්ක මුඛ සංවාසයේ, ගුද සංවාසයේ හෝ වෙන කෙනෙකුගේ ලිංගේන්ද්‍රයන් පිරිමැදීම වගේ මොනම ආකාරයේ හෝ ලිංගික ක්‍රියාවක යෙදුණු කෙනෙක්ට තමන් පිවිතුරු කෙනෙක් කියලා කියන්න බැහැ.

 ලිංගික කාරණා ගැන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් මොනවාද?

 ලිංගික ඇසුරක් පවත්වන්න අවසර තියෙන්නේ විවාහ වෙලා ඉන්න යුවළකට විතරයි කියලා බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. (හිතෝපදේශ 5:18) ඒ නිසා කෙනෙක්ට ඇත්තටම දෙවියන්ව සතුටු වෙන විදිහට ජීවත් වෙන්න ඕන නම් එයා විවාහ වෙන තුරු ලිංගික ඇසුරක් පවත්වන එකෙන් වැළකෙන්න ඕනේ.—1 තෙසලෝනික 4:3-5.

 සමහර අය හිතනවා බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අද කාලෙට ගැළපෙන්නේ නැති කෝපි කාලේ ඒවා කියලා. ඒ වෙනුවට සමාජය යන අතට අපිත් යන්න ඕන කියලා ඒ අය හිතනවා. ඒත් මේක මතක තියාගන්න. ලිංගික කාරණා ගැන මේ සමාජයේ තියෙන්නේ හරිම ලිහිල් ආකල්පයක්. ඒ නිසා තමයි වැරදි හැසිරීමෙන් සිද්ධ වන ගැබ්ගැනීම්, සමාජ රෝග හා දික්කසාද වගේ දේවල් ගැන නිතරම අහන්න ලැබෙන්නේ. එහෙමනම් මේ නූතන සමාජය දිහා බලලා අපිට කවදාවත් හරි වැරැද්ද මොකක්ද කියලා ඉගෙනගන්න බැහැ.—1 යොහන් 2:15-17.

 ලිංගික කාරණා ගැන බයිබලයේ දීලා තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න එක තමයි ඥානවන්තම දේ. මේ උදාහරණය ගැන හිතන්න. ඔයාට තෑග්ගක් හැටියට කවුරු හරි රුපියල් ලක්ෂයක් දුන්නොත් ඔයා උස තැනකට ගිහිල්ලා ඒ සල්ලි ටික කැමති කෙනෙකුට ගන්න කියලා හුළඟේ පා කරලා අරිනවාද?

 විවාහ නොවී ලිංගික සම්බන්ධකම් පවත්වන එකත් ඒ වගේ අනුවණ වැඩක්. අවුරුදු 14ක් වයස සියෙරා මෙහෙම කිව්වා. “කොහේවත් යන කෙනෙක් නිසා මගේ පිවිතුරුකම නැති කරගන්න මං කැමති නැහැ.” අවුරුදු 17ක් වයස ටැමී කිව්වෙත් මෙහෙමයි. “විවාහ වුණු දෙන්නෙකුට ලිංගික සම්බන්ධකම් පවත්වන්න ලැබිලා තියෙන එක වටිනා තෑග්ගක් වගෙයි. ඇයි ඒක නිකරුණේ නාස්ති කරන්නේ?”

 මේක මතක තියාගන්න: විවාහ නොවූ අයට බයිබලයේ දිරිගන්වලා තියෙන්නේ තමන්ගේ පිවිතුරුකම රැකගෙන නිර්මල ජීවිතයක් ගත කරන්න කියලයි.—1 කොරින්ති 6:18; 7:8, 9.

 ලිංගික කාරණා සම්බන්ධයෙන් ඔයාගේ ප්‍රතිපත්තිය මොකක්ද?

  •   ඔයා හිතන්නේ ලිංගික කාරණා ගැන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් සාධාරණයි කියලද නැත්නම් තද වැඩියි කියලද?

  •   බැඳපු නැති දෙන්නෙක් පණට පණ වගේ ආදරේ නම් ලිංගික සම්බන්ධකම් පැවැත්තුවාට කමක් නැහැ කියලා ඔයා හිතනවාද?

 කරුණු කාරණා ගැන හොයලා බැලුවට පස්සේ යෞවන අය හුඟදෙනෙක්ගේ තීරණය වුණේ පිවිතුරුකම රැකගෙන නිර්මල ජීවිතයක් ගත කරන එක තමයි හොඳම දේ කියලා. ඒ අය තමන් ගත්තු තීරණය ගැන ළත වෙන්නේවත් තමන්ට යමක් අහිමි වුණා කියලා හිතන්නෙවත් නැහැ. ඔවුන්ගෙන් කීපදෙනෙක් කියන දේ බලමු.

  •  “මම තාමත් කන්‍යාවක්. ඒ ගැන මං සතුටු වෙනවා. මොකද විවාහ වෙන්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වපු අයට වගේ මට දුක් විඳින්න සිද්ධ වෙලා නෑ.”—එමලි.

  •  “කාත් එක්කවත් ලිංගික සම්බන්ධකම් පවත්වලා නැති එක ගැන මම සතුටු වෙනවා. බය නැතුව කියන්න පුළුවන් මට කිසිම සමාජ රෝගයක් හැදෙන්න ඉඩක් නැහැ කියලා.”ඉලේන්.

  •  “මගේ වයසේ වගේම මට වඩා වයසින් වැඩි ගෑනු ළමයි කීපදෙනෙක් ලිංගික සම්බන්ධකම් පවත්වපු එක ගැන අද දුක් වෙනවා. ඒගොල්ලන් කියන්නේ එහෙම නොකර හිටියා නම් හොඳයි කියලයි. ඒගොල්ලන් වැටුණු වළේ මට වැටෙන්න අවශ්‍ය නැහැ.”වෙරා.

  •  “පිවිතුරුකම නැති කරගත්තු අයත් එක එක අය එක්ක සම්බන්ධකම් පවත්වපු අයත් පස්සේ දුක් වෙනවා මම දැකලා තියෙනවා. ඒ වගේ දුක්බර ජීවිතයක් මොකටද?”ඩිඈන්.

 මේක මතක තියාගන්න: ලිංගික කාරණා ගැන පැහැදිලි ප්‍රතිපත්තියක් ඔයාගේ මනසේ තියෙන්න ඕනේ. එතකොට තමයි වැරදි දෙයක් කරන්න බලපෑමක් හෝ ආශාවක් ආවොත් හරි දේ කරන්න ඔයාට පුළුවන් වෙන්නේ.—යාකොබ් 1:14, 15.

 ඔයාගේ ප්‍රතිපත්ති අනිත් අයට පැහැදිලි කරන්නේ කොහොමද?

 ලිංගික කාරණා ගැන කවුරු හරි ඔයාගෙන් ප්‍රශ්න කළොත් ඔයා මොනවද කියන්නේ? ප්‍රශ්නේ අහන කෙනා ඒක අහන අරමුණ තේරුම් අරගෙන තමයි ඔයා උත්තර දෙන්න ඕනේ.

 “සමච්චලේට කවුරු හරි ලිංගික කාරණා ගැන මගෙන් ඇහුවොත් ‘ඒකෙන් ඔයාට වැඩක් නැහැනේ’ කියලා මං එතනින් යනවා.”කොරින්.

 “ඉස්කෝලේ සමහර ළමයි අනිත් අයව මඩවලා විනෝදයක් ලබනවා. මගෙන් ප්‍රශ්න අහන්නෙත් ඒකට නං මං කොහොමටවත් උත්තර දෙන්නේ නෑ.”—ඩේවිඩ්.

 මේක දැනගෙන හිටියාද? සමහර අවස්ථාවලදී සරදම් කරන අයට යේසුස් ‘පිළිතුරු’ දුන්නේ නිහඬව ඉඳලයි.—මතෙව් 26:62, 63.

 ඒත් කෙනෙක් ඔයාගෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ අවංකවම දැනගන්න නම් ඒ ගැන පැහැදිලි කරන්නේ කොහොමද? එයා බයිබල් ප්‍රතිපත්තිවලට ගරු කරන කෙනෙක් නම්, 1 කොරින්ති 6:18 වගේ බයිබල් පදයක් පෙන්වන්න පුළුවන්. ඒකේ කියන්නේ විවාහ වෙන්න කලින් ලිංගික ඇසුරේ යෙදෙන කෙනෙක් තමන්ගෙම ශරීරයට විරුද්ධව පව් කරගන්නවා නැත්නම් හානි කරගන්නවා කියලයි.

 ඒ වෙලාවෙම බයිබල් පදයක් පෙන්නුවත් නැතත් ස්ථිර විශ්වාසයකින් උත්තර දෙන එක වැදගත්. නිර්මල ජීවිතයක් ගත කරන්න ඔයා අරගෙන තියෙන අධිෂ්ඨානය ගැන ඔයාට පොඩ්ඩක්වත් පසුතැවිලි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න.—1 පේතෘස් 3:16.

 “ස්ථිර විශ්වාසයකින් උත්තර දෙද්දී අනිත් අය තේරුම්ගන්නවා අපිට තියෙන ප්‍රතිපත්ති ගැන අපිට කිසි සැකයක් නැහැ කියලා. අපි එහෙම කරන්නේ ඒක හරියි කියලා අපිටම තහවුරු වෙලා තියෙන නිසා මිසක කවුරුත් කියන නිසා නෙමෙයි කියලා ඒගොල්ලෝ තේරුම්ගන්නවා.”—ජිල්.

 මේක මතක තියාගන්න: ලිංගික කාරණා ගැන යම් ප්‍රතිපත්තියක ඔයා ස්ථිරව ඉන්නවා නම් ඒ ගැන අනිත් අයට පැහැදිලි කරන්න පුළුවන් වෙයි. ඒගොල්ලෝ දක්වන ප්‍රතිචාරය ගැන ඔයා පුදුම වෙයි. “පිවිතුරුව ඉන්න මම අරන් තියෙන අධිෂ්ඨානය හොඳ දෙයක් කියලා මාත් එක්ක වැඩ කරන අය මට කිව්වා. මම අමුතු ජාතියේ කෙනෙක් කියලා ඒගොල්ලෝ හිතන්නේ නෑ. ඒ අය මාව දකින්නේ මම හැඟීම් පාලනය කරගන්න පුළුවන් චරිතවත් කෙනෙක් හැටියටයි” කියලා 21 හැවිරිදි මෙලින්ඩා කිව්වා.

 යෝජනාවක්: ලිංගික කාරණා ගැන ස්ථිර ප්‍රතිපත්ති පිහිටුවාගන්න උපකාර අවශ්‍ය නම් “ලිංගික කාරණා ගැන ඔයාගේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්නේ කොහොමද?” යන වැඩ පිටුව ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ යන පොතත් බලන්න.

 “‘යොවුන් සිතේ ගැටලු’ පොත්වල කරුණු පැහැදිලි කරලා තියෙන විදිහට මං කැමතියි. උදාහරණයකට 1වන පොතේ 187වෙනි පිටුවේ පින්තූරයේ පෙන්නලා තියෙන විදිහට විවාහ වෙන්න කලින් ලිංගික ඇසුරේ යෙදෙන එක හරියට වටිනා මාලයක් නොමිලේ දෙනවා වගෙයි. එහෙම කරන එකෙන් ඔයාගේ වටිනාකම නැති වෙනවා. ඒ වගේම 177වෙනි පිටුවේ පෙන්නන්නේ විවාහයට කලින් ලිංගික ඇසුරේ යෙදෙන එක හරියට වටිනා චිත්‍රයක් පාපිස්සක් හැටියට පාවිච්චි කරනවා වගේ කියලයි. හැබැයි මං කැමතිම පින්තූරේ තියෙන්නේ 2වන පොතේ 54වෙනි පිටුවේ. ‘බඳින්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එක හරියට තෑග්ග ලැබෙන්න කලින් ඒක හොරෙන් කඩලා බලනවා වගේ’ කියලයි ඒකේ කියන්නේ. එහෙම කරන එක ඔයාගේ අනාගත සහකරු හෝ සහකාරියට අයිති දෙය හොරකම් කරනවා වගෙයි.”—වික්ටෝරියා.