Skip to content

යොවුන් සිතේ ගැටලු

යාළුවා කරපු දෙයක් නිසා මගේ හිත රිදුණොත් . . .

යාළුවා කරපු දෙයක් නිසා මගේ හිත රිදුණොත් . . .

 ඔයා දැනගෙන ඉන්න ඕන දේ

  •   මිනිස්සු අතර ප්‍රශ්න ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. අපි හැමෝම අතින් වැරදි වෙනවා. සමහරවිට ඔයාගේ හොඳම යාළුවා කියපු දෙයක් නැත්නම් කරපු දෙයක් නිසා ඔයාගේ හිතත් හොඳටම රිදිලා ඇති. ඒත් ඔයා කියපු කරපු දෙයක් නිසා අනිත් අයගේ හිත රිදුණ අවස්ථා නැද්ද?—යාකොබ් 3:2.

  •   ඉන්ටර්නෙට් එක නිසා හිත රිදෙන්න පුළුවන් අවස්ථා වැඩියි. යෞවනයෙක් වුණ ඩේවිඩි කියන දේ බලන්න. “හිතන්න ඔයා ඔන්ලයින් ගියාම දකිනවා ඔයාගේ යාළුවා තව කට්ටියක් එක්ක පාටියක් දාලා කියලා. ඒත් එයා ඔයාට ඉන්වයිට් කරලා නැහැ. එතකොට ඔයාගේ හිත ගොඩක් රිදෙන්න පුළුවන්.”

  •   ඒක හිත රිද්දගන්න තරම් දෙයක්ද?

 ඔයාට කරන්න පුළුවන් දේ

 ඔයාවම සෝදිසි කරලා බලන්න. බයිබලයේ මෙහෙම කියනවා. “අමනාප වීමට ඉක්මන් නොවන්න. මන්ද සිත තුළ අමනාපයක් ඇති කරගන්නේ මෝඩයන්ය.”—දේශනාකාරයා 7:9.

 “ලොකු ප්‍රශ්නයක් කියලා හිතුණාට පස්සේ ඔයාටම තේරෙයි අප්සෙට් යන්න තරම් දෙයක් එතන වෙලා නැහැ කියලා.”—ඇලීසා.

 හිතන්න දෙයක්: ඔයා දේවල් ගැන ඕනෑවට වඩා හිතනවා වෙන්න බැරිද? මීට වඩා අනිත් අයගේ අඩුපාඩුකම් ඉවසන්න පුරුදු වෙන්න පුළුවන්ද?—දේශනාකාරයා 7:21, 22.

 සමාව දෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න. බයිබලයේ මෙහෙම කියනවා. ‘වැරදි අමතක කර දැමීම අලංකාර ගුණාංගයකි.’—හිතෝපදේශ 19:11.

 “සමහරවිට ඔයාගේ යාළුවා ඇත්තටම ඔයාව රිද්දන්න ඇති. ඒ වුණත් එයාට සමාව දෙන්න. එහෙම කරද්දී හිතට ලොකු සහනයක් දැනෙයි. හැබැයි සමාව දුන්නාට පස්සේ ඒක මතක් කර කර එයාව රිද්දන්න එපා.”මැලරි.

 හිතන්න දෙයක්: ඇත්තටම හිත රිද්දගන්න තරම් ප්‍රශ්නයක් වුණාද? සමාව දීලා සමාදානය ඇති කරගන්න ඔයාට පුළුවන්ද?—කොලොස්සි 3:13.

යාළුවෝ කරන කියන හැම පුංචි දේටම හිත රිද්දගන්න එක හරියට සීතල දවසක උණුසුම් කාමරයක් ඇතුළේ ඉඳන් දොර නිතර නිතර ඇරලා සීතල හුළං ඇතුළට ගන්නවා වගේ දෙයක්. ඒකෙන් කාමරේ උණුසුම ඉක්මනටම නැති වෙලා යනවා

 අනිත් කෙනා ගැන හිතන්න. බයිබලයේ කියන දේ බලන්න. “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.

 “ඔයාගේ හිතේ අනිත් කෙනා ගැන ලොකු ආදරයක්, ගෞරවයක් තියෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ප්‍රශ්නේ විසඳගන්න තමයි බලන්නේ. මොකද එයාගේ යාළුකම ඔයාට ගොඩක් වටිනවා. ඒක නැති කරගන්න ඔයා කැමති නෑ.”නිකෝල්.

 හිතන්න දෙයක්: ඔයාගේ යාළුවා ඒ දේ කිව්වේ ඇයි නැත්නම් කළේ ඇයි කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න.—ෆිලිප්පි 2:3.

 මේක මතක තියාගන්න: හිත රිදෙන දේවල් වෙද්දී ඒවා දරාගන්න ලේසි නැහැ තමයි. ඒත් ඒ වගේ දේවලට මුහුණ දෙන්න ඉගෙනගන්න එක කවදා හරි ඔයා වැඩිහිටියෙක් වුණ දවසක ප්‍රශ්න ගැටලුවලට හොඳට මුහුණ දෙන්න ඔයාට උදව් වෙයි.