Skip to content

යොවුන් සිතේ ගැටලු

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 4වෙනි කොටස: මම නිර්මාණය ගැන විශ්වාස කරන දේ පැහැදිලි කරන්නේ කොහොමද?

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 4වෙනි කොටස: මම නිර්මාණය ගැන විශ්වාස කරන දේ පැහැදිලි කරන්නේ කොහොමද?

පරිණාමය ගැන පාඩම් පොත්වලින් උගන්වනවා. ඒත් ඔයා විශ්වාස කරන්නේ නිර්මාණය ගැනයි. ගුරුවරුන්ගේ සහ යාළුවන්ගේ උසුළු විසුළුවලට ලක් වෙයි කියන බය හින්දා නිර්මාණය ගැන පැහැදිලි කරන්න ඔයා අදිමදි කරයි. ඒත් නිර්මාණය ගැන ඔයා විශ්වාස කරන දේ බය නැතුව පැහැදිලි කරන්න ඔයාට පුළුවන් කොහොමද?

 ඔයාට පුළුවන්

 ඔයා මෙහෙම හිතයි: ‘විද්‍යාව ගැන සාකච්ඡා කරන්නත් පරිණාමය ගැන වාද කරන්නත් මං දක්ෂ නැහැ.’ එක වෙලාවක ඩැනිඑල්ට හැඟුණේ එහෙමයි. “මගේ ගුරුවරයාගෙයි පන්තියේ ළමයින්ගෙයි අදහස්වලට විරුද්ධ අදහසක් ඉදිරිපත් කරන්න මම අකමැති වුණා” කියලා ඇය කියනවා. ඩයෑනාත් කියන්නේ “විද්‍යාත්මක යෙදුම් පාවිච්චි කරලා ඒගොල්ලන් වාද කරනකොට දන්න ටිකත් අමතක වෙනවා” කියලයි.

 කොහොමවුණත්, ඔයාගේ අරමුණ වාද කරලා දිනන එක නෙමෙයි. අවට පරිසරයේ දේවල් නිර්මාණය කළා කියලා ඔයා විශ්වාස කරන්න තියෙන හේතු පැහැදිලි කරන්න විද්‍යාව ගැන ලොකුවට දැනගෙන ඉන්න ඕන නැහැ.

 යෝජනාවක්: බයිබලයේ හෙබ්‍රෙව් 3:4 තියෙන මේ සරල උදාහරණය යොදාගන්න. “ඇත්තෙන්ම සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.”

 කැරල් කියන තරුණ කාන්තාව හෙබ්‍රෙව් 3:4 තියෙන අදහස විස්තර කරන්නේ මේ විදිහටයි. “හිතන්න ඔයා ඉන්නේ ඝන වනාන්තරයක් ඇතුළේ කියලා. ඔයා කැලේ මැද්දටම ඇවිදගෙන ඇවිල්ලා. බිම බලනකොට එකපාරටම ඔයා දකිනවා ගිනි පෙට්ටියක්. එතකොට ඔයාගේ හිතේ ඇඳෙන්නේ මොකක්ද? ‘කවුරුහරි මෙහෙට ඇවිල්ලා තියෙනවා’ කියලා හිතෙයි. ඒ වගේ දෙයක් ඉබේ එන්න පුළුවන්ද? ගිනිපෙට්ටිය වගේ පොඩි දෙයක් හදන්න බුද්ධිමත් කෙනෙක් ඕන නම් මේ මුළු විශ්වයත් ඒකේ තියෙන දේවලුත් බුද්ධිමත් කෙනෙක් නිර්මාණය කළා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?”

 කවුරු හරි මෙහෙම කිව්වොත්: “හරි, නිර්මාණය ඇත්තයි කියමුකෝ. එහෙමනම් නිර්මාණය කරපු කෙනාව නිර්මාණය කළේ කවුද?”

 මෙහෙම කියන්න ඔයාට පුළුවන්: “නිර්මාතෘ ගැන හැම දෙයක්ම තේරුම්ගන්න අපිට බැහැයි කියන එකෙන් අදහස් කරන්නේ නැහැනේ නිර්මාතෘ කෙනෙක් නැහැයි කියලා. උදාහරණයකට ඔයා ළඟ තියෙන ෆෝන් එක හදපු කෙනාගේ හැම තොරතුරක්ම ඔයා දන්නේ නැති වුණත් ඔයා විශ්වාස කරනවා නේද ඒක කවුරු හරි හැදුවා කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] නිර්මාතෘ ගැන දැනගන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔයා කැමති නම් මට පුළුවන් නිර්මාතෘ ගැන මම දැනගෙන තියෙන දේවල් ඔයාට කියලා දෙන්න.”

 ලෑස්ති පිට ඉන්න

 බයිබලයේ මෙහෙම කියනවා. “ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට ඔබ නිතරම සූදානම් වී සිටිය යුතුයි. එවැනි අවස්ථාවකදී මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින් පිළිතුරු දීමට වගබලා ගන්න.” (1 පේතෘස් 3:15) ඒ නිසා කියන දේ සහ කියන විදිහ ගැන කලින්ම හිතන්න.

  1.   කියන දේ. ඔයා දෙවියන්ට ප්‍රේම කරන එක වැදගත්. ප්‍රේම කරනවා නම් බය නැතුව ඔහු ගැන කතා කරන්න ඔයා පෙලඹෙයි. හැබැයි දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියලා අවබෝධ කරලා දෙන්න ඔයා දෙවියන්ට කොච්චර ප්‍රේම කරනවාද කියලා කියන එක විතරක් මදි. නිර්මාණය ගැන විශ්වාස කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න නම් අවට පරිසරයේ තියෙන දේවල් යොදාගෙන ඒ ගැන පැහැදිලි කරන්න අවශ්‍යයි.

  2.   කියන විදිහ. ස්ථිර විශ්වාසයෙන් කියන්න. හැබැයි දමලා ගහනවා වගේ, නැත්නම් අනිත් කෙනාව පහත් කරනවා වගේ කියන්න එපා. ඒගොල්ලන් විශ්වාස කරන දේ ගැන ගෞරවයෙන් කතා කරනවා නම් සහ යම් නිගමනවලට එන්න ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා කියලා ඔයා පිළිගන්නවා නම් ඔයා ඉදිරිපත් කරන අදහස් ගැන ඒගොල්ලන් කල්පනා කරලා බලයි.

     “අපහාස වෙන විදිහට කියන එකෙනුත් එයා මුකුත් දන්නේ නෑ කියන හැඟීම ඇති කරන එකෙනුත් වෙන්නේ හානියක් මිස හොඳක් නම් නෙමෙයි.”—ඉලේන්.

 විශ්වාසයන් ගැන පැහැදිලි කරන්න ඔයාට උපකාර

ඔයාගේ විශ්වාසයන් ගැන කතා කරන්න ලෑස්ති පිට ඉන්න එක හරියට වැස්ස එන්න කලින් ඒකට ලෑස්ති වෙලා ඉන්නවා වගේ

 “ලෑස්ති පිට හිටියේ නැත්නම් ලැජ්ජ වෙන්න අකමැති නිසා අපි මුකුත් නොකියා ඉඳියි” කියලා යෞවනියක් වන අලීසියා කියනවා. අලීසියා කියන විදිහට හොඳ සාකච්ඡාවක් කරන්න නම් ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ජෙනා කියන්නේ මෙහෙමයි. “මං විශ්වාස කරන දේ පැහැදිලි කරන්න හොඳට හිතලා බලලා ගැළපෙන උදාහරණයක් ලෑස්ති කරගෙන ඉන්නකොට මට බය නැතුව සාකච්ඡාවක් පටන්ගන්න පුළුවන්.”

 ඔයාට ඒ වගේ උදාහරණ හොයාගන්න පුළුවන් කොහෙන්ද? හුඟක් යෞවනයන් පහත සඳහන් දේවලින් හොඳ උදාහරණ හොයාගෙන තියෙනවා.

 “නිර්මාණය කළාද? පරිණාමය වුණාද?” කියන ලිපි මාලාවේ කලින් ලිපිත් බලන්න පුළුවන්.

  1.  1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?

  2.  2වෙනි කොටස: පරිණාමය ඇත්තක්ද කියලා හොයලා බලන්න ඕනද?

  3.  3වෙනි කොටස: හැම දෙයක්ම නිර්මාණය කළා කියලා විශ්වාස කරන්න හේතු තියෙනවාද?

 යෝජනාවක්: ඔයාගේ හිතට කාවැදුණු උදාහරණ තෝරගන්න. ඒවා ලේසියෙන්ම මතක් කරගන්න පුළුවන් නිසා ස්ථිර විශ්වාසයකින් බය නැතුව කතා කරන්න පුළුවන්. ඔයාගේ විශ්වාසයන් පැහැදිලි කරන විදිහ ගැන පෙරහුරු කරන්න.