Skip to content

යොවුන් සිතේ ගැටලු

අසභ්‍ය පින්තූර බලන්න හොඳ නැත්තේ ඇයි?

අසභ්‍ය පින්තූර බලන්න හොඳ නැත්තේ ඇයි?

 අසභ්‍ය පින්තූර බලන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්ද?

 ඔයා ඉන්ටනෙට් එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම අසභ්‍ය දර්ශන තියෙන පින්තූර දකින්න ලැබෙයි. අවුරුදු 17ක් වයස හේලි මෙහෙම කියනවා. “ඔයා අසභ්‍ය පින්තූර හොයාගෙන යන්න ඕන නෑ. ඒවා ඔයාව හොයාගෙන එයි.”

 අසභ්‍ය පින්තූර බලන්නේ නෑ කියලා ස්ථිර අධිෂ්ඨානයක් අරගෙන හිටපු අය පවා ඒවා බලන්න පෙලඹිලා තියෙනවා. “මම නම් කවදාවත් ඒ උගුලට අහු වෙන්නේ නෑ කියලා හිතුවත් මම අහු වුණා. ඒ නිසා කවදාවත් මම නං අහු වෙන්නේ නෑ කියලා කාටවත් කියන්න බෑ” කියලා අවුරුදු 18ක් වයස ග්‍රෙග් කියනවා.

 වෙන කවදාටත් වඩා වැඩියෙන් දැන් අසභ්‍ය පින්තූර දකින්න ලැබෙන අවස්ථා වැඩියි. මොකද හුඟක් යෞවනයන් ජංගම දුරකථන හරහා අශික්ෂිත ඡායාරූප හා පණිවිඩ හුවමාරු කරගන්නවා. සමහර අය වෙන අයගේ විතරක් නෙමෙයි තමන්ගේම අසභ්‍ය පින්තූර අරං යවනවා.

 මේක මතක තියාගන්න: ඔයා මූණ දෙන්නේ ඔයාගේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඔයාගේ වයසේ ඉද්දී මූණ දුන්නට වඩා දරුණු අභියෝගවලටයි. ඒත් ප්‍රශ්නේ, අසභ්‍ය පින්තූර බලන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්ද කියන එකයි.—ගීතාවලිය 97:10.

 ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. ඒත් ඒක තියෙන්නේ ඔයාගේ අතේ. ඔයා ස්ථිර අධිෂ්ඨානයක් ගන්නවා නම් ඔයාට බලන්නේ නැතුව ඉන්න පුළුවන්. ඉස්සෙල්ලම ඔයා පිළිගන්න ඕන අසභ්‍ය පින්තූර බලන එක හානිකරයි කියලා. ඒ ගැන තියෙන වැරදි අදහස් හා නිවැරදි අදහස් ගැන දැන් බලමු.

 වැරදි අදහස් හා නිවැරදි අදහස්

 වැරදි අදහස: අසභ්‍ය දර්ශන බැලුවට කිසිම හානියක් වෙන්නේ නෑ.

 නිවැරදි අදහස: සිගරට් දුම පෙණහලුවලට බලපානවා වගේ අසභ්‍ය පින්තූර මනසට බලපානවා. ඒ කියන්නේ මනස විකෘති කරනවා. දෙවියන් අරමුණු කළේ යුවළක් නොබිඳෙන ශක්තිමත් බැඳීමක් ඇතුව ඉන්න ඕන කියලයි. ඒත් මේ නරක පුරුද්ද නිසා ඒ බැඳීම සුළු කරන්න කෙනෙක් පෙලඹෙනවා. (උත්පත්ති 2:24) කාලයක් යද්දී ඒ වගේ කෙනෙක්ට මොකක්ද හරි මොකක්ද වැරදි කියලා තේරුම්ගන්න බැරි වෙනවා. සමහර විද්වතුන් කියන්නේ දිගටම අසභ්‍ය පින්තූර බලන්න වහල් වෙලා ඉන්න අය කාන්තාවන්ට දරුණු විදිහට සලකන එක වැරදි නෑ කියලා හිතන්න ඉඩ තියෙනවා කියලයි.

  සමහර අය “කිසිම හැඟීමක් දැනීමක් නැති” තත්වයකට පත් වෙලා ඉන්නවා කියලා බයිබලයේ කියනවා. (එෆීස 4:19) ඒ අයගේ හිත් කොච්චර ගල් වෙලාද කියනවා නම් නරක දෙයක් කළත් ඒක ඔවුන්ට පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑ.

 වැරදි අදහස: අසභ්‍ය පින්තූර බැලුවම ලිංගික කාරණා ගැන දැනුවත් වෙනවා.

 නිවැරදි අදහස: අසභ්‍ය පින්තූර බලන එකෙන් වෙන්නේ ලිංගික ආශාවන් පිනවගන්න ඔයාට දැඩි පෙලඹීමක් ඇති වෙන එකයි. ඔයා අනිත් අයව දකින්නේ ඔයාගේ ආශාවන් ඉටු කරන භාණ්ඩ විදිහටයි. අධ්‍යයනයකින් හෙළි වුණේ පුරුද්දක් විදිහට අසභ්‍ය පින්තූර බලන අය විවාහ වුණාට පස්සේ ලිංගික සම්බන්ධකම්වලින් හුඟක් වෙලාවට තෘප්තියක් ලබන්නේ නැහැ කියලයි.

  අසභ්‍ය දර්ශන බලන එකෙන් වෙන්නේ ‘වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවත් කාමාශාවත් වෙනත් හානිකර ආශාත් තණ්හාවත්’ ඇති වෙන එකයි. ඒවායින් වළකින්න කියලා ක්‍රිස්තියානීන්ට බයිබලයේ උනන්දු කරලා තියෙනවා.—කොලොස්සි 3:5.

 වැරදි අදහස: අසභ්‍ය දර්ශන බලන්නේ නැති අය ලිංගික කාරණා ගැන කියද්දීත් කලබල වෙනවා.

 නිවැරදි අදහස: අසභ්‍ය දර්ශන බලන්නේ නැති අය ලිංගික සම්බන්ධකම පහත් කරලා සලකන්නේ නෑ. විවාහ වෙලා ඉන්න පුරුෂයෙක් හා ස්ත්‍රියක් අතරේ බැඳීම ශක්තිමත් කරගන්න දෙවියන් දීලා තියෙන වටිනා තෑග්ගක් හැටියටයි ඔවුන් ඒක සලකන්නේ. ඒ වගේ හිතන අය විවාහ වුණාට පස්සේ ලිංගික සම්බන්ධකම්වලින් හුඟක් වෙලාවට තෘප්තියක් ලබනවා.

  ලිංගික කාරණා ගැන බයිබලයේ විවෘතව කතා කරනවා. බයිබලයේ කියන්නේ “ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න. . . . ඇගේ ප්‍රේමයෙන් සැමදා ප්‍රීති ප්‍රමෝදයට පත් වන්න” කියලයි.—හිතෝපදේශ 5:18, 19.

 අසභ්‍ය පින්තූර නොබලා ඉන්න නම් කරන්න ඕන මොනවාද?

  ඔයාට අසභ්‍ය පින්තූර බලන්නේ නැතුව ඉන්න බැහැ කියලා හිතෙනවා නම් මොනවද කරන්න පුළුවන්? “අසභ්‍ය පින්තූර නොබලා ඉන්න නම් කරන්න ඕන මොනවාද?” කියන වැඩ පිටුව ඒකට උදව්වක් වෙයි.

 අසභ්‍ය පින්තූර බලන්න ඇති වෙන පෙලඹීම වළක්වගන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. මේ වෙනකොටත් ඔයා අසභ්‍ය පින්තූර බලන කෙනෙක් නම් ඒකෙන් ගොඩ එන්න පුළුවන් කියලා මතක තියාගන්න. එහෙම කරනවා නම් යහපතක් වෙන්නේ ඔයාටමයි.

 වයස අවුරුදු 13 ඉඳන්ම අසභ්‍ය පින්තූර බලන්න පුරුදු වෙලා හිටපු කැල්වින්ගේ අද්දැකීම බලන්න. “මම දන්නවා ඒක වැරදියි කියලා. ඒත් අසභ්‍ය පින්තූර බලන්න පෙලඹීමක් ආවාම ඒක වළක්වගන්න මට බැරි වෙනවා. බැලුවට පස්සේ මට මං ගැනම පිළිකුලක් ඇති වෙනවා. දවසක් තාත්තාට මාව අහු වුණා. ඇත්තටම ඒක මට ලොකු සහනයක් වුණා. මොකද මට ඒ නරක පුරුද්දෙන් ගොඩ එන්න ඕන කරන උදව් ලැබුණේ එතකොටයි.”

 අසභ්‍ය පින්තූර බලන එක නතර කරන්න කැල්වින්ට පුළුවන් වුණා. එයා මෙහෙම කියනවා. “අසභ්‍ය පින්තූර බලන්න පුරුදු වෙච්ච එක මම ජීවිතේ කරපු ලොකුම මෝඩකමක්. මොකද සමහර දර්ශන මගේ හිතෙන් ඈත් කරන්න අමාරුයි. සැරෙන් සැරේ ඒවා මැවිලා පේනවා. ඒවා බලන්න තාමත් පෙලඹීමක් ඇති වෙනවා. එතකොට මං කරන්නේ දෙවියන් කැමති දේවල් කරනවා නම් මට පිරිසිදු ජීවිතයක් ගත කරන්නත් ප්‍රීතියෙන් ඉන්නත් පුළුවන් වෙයි කියලා හිතන එකයි. ඒ විතරක් නෙමෙයි මට දීප්තිමත් අනාගතයක් තියෙයි කියලත් මම හිතනවා.”