Skip to content

යොවුන් සිතේ ගැටලු

මට දාලා තියෙන නීති තද වැඩියි කියලා අම්මලාට කියන්නේ කොහොමද?

මට දාලා තියෙන නීති තද වැඩියි කියලා අම්මලාට කියන්නේ කොහොමද?

 “අවුරුදු 15දී නම් අම්මලා දාපු නීති ගැන මට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මට දැන් 19යි. අම්මලා දාන නීති තද වැඩියි, මීට වඩා නිදහසක් මට තියෙන්න ඕනෙ කියලා දැන් හිතෙනවා.”—සිල්වියා.

 සිල්වියාට හිතුණා වගේ දෙයක් ඔයාටත් හිතිලා තියෙනවාද? එහෙමනම් අම්මලා එක්ක ඒ ගැන කතා කරන්න ඔයාට පුළුවන්. ඒත් ඔයාට හිතෙන විදිහ ගැන අම්මායි, තාත්තායි එක්ක කතා කරන්නේ කොහොමද? ඒක තේරුම්ගන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.

 ඔයා දැනගෙන ඉන්න ඕන දේ

 අම්මායි, තාත්තායි එක්ක ඒ ගැන කතා කරන්න කලින් මේ දේවල් ගැන හිතන්න.

  •  නීති නැත්නම් ඔක්කොම අවුල් වෙන්න පුළුවන්. ඔයා වාහනයක් එළවගෙන යනවා කියලා හිතන්න. ඔයා යන පාරේ මාර්ග සංඥා, ට්‍රැෆික් ලයිට් නැහැ. ඒ වගේ පාරක යන එකෙන් ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. මාර්ග නීති තියෙන එක ජීවිතයට ආරක්ෂාවක්. අම්මලා ඔයාට දාන නීතිවලිනුත් වෙන්නේ ඔයාගේ ජීවිතේ ආරක්ෂා වෙන එකයි. ඒවා තියෙන්නේ ඔයාගෙම හොඳටයි.

  •  නීති දාන එකෙන් අම්මායි, තාත්තායි ඔයා ගැන ගොඩක් සැලකිලිමත් කියලා පේනවා. නීතියක් දාන්නේ නැතුව ඔයාට ඕන ඕන දේ කරන්න අම්මලා ඉඩ දෙනවා නම් ඒකෙන් තේරෙන්නේ එයාලා ඔයා ගැන සැලකිලිමත් නැහැ කියන එකයි. එහෙම කරනවා නම් එයාලා ඔයාට ඇත්තටම ආදරෙයි කියලා කියන්න පුළුවන්ද?

 මේක දැනගෙන හිටියාද? දෙමාපියන් විදිහට එයාලත් යටත් වෙන්න ඕනෙ නීති තියෙනවා. ඒවායින් සමහරක් ගැන දැනගන්න මේ බයිබල් පද කියවලා බලන්න. උත්පත්ති 2:24; ද්විතීය කතාව 6:6, 7; එෆීස 6:4; 1 තිමෝති 5:8.

 “නීති දාන්න ඕනෙ තමයි, ඒත් අම්මලා මට දාලා තියෙන නීති තද වැඩියි.” ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? එහෙමනම් . . .

 ඔයාට කරන්න පුළුවන් දේ

 මේ ගැන හිතන්න. මීට කලින් අම්මලා දාපු නීතිවලට මම කීකරු වෙලා තියෙනවාද? අම්මායි, තාත්තායි මාව දකින්නේ කිසිම දේකට කීකරු වෙන්නේ නැති කෙනෙක් විදිහටද? එහෙමනම් අම්මලා දාන නීති ගැන කතා කරන්න හොඳම වෙලාව මේක නෙමෙයි. මුලින්ම දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න පියවර ගන්න. “දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් කොහොමද?” කියන ලිපිය ඒකට ඔයාට උදව් වෙයි.

 ඔයා දැනටමත් එයාලගේ විශ්වාසය දිනාගෙන තියෙනවා නම් මොනාද කරන්න පුළුවන්? එයාලා එක්ක කතා කරන්න කලින් කියන්නේ මොනවාද කියලා හොඳට හිතන්න. ඔයා දෙමාපියන් එක්ක කතා කරන්න යන දේවල් පොඩි කොළයක ලියාගන්නත් පුළුවන්. ඔයා දෙමාපියන්ගෙන් ඉල්ලන දේ සාධාරණද නැද්ද කියලා තේරුම්ගන්නත් ඒක ඔයාට උදව් වෙයි. ඊළඟට, අම්මලා එක්ක නිවිහැනහිල්ලේ කතා කරන්න පුළුවන් තැනක්, වෙලාවක් එයාලගෙන් අහලා ලෑස්ති කරගන්න. අම්මලා එක්ක කතා කරද්දී මේ දේවල් මතක තියාගන්න.

 ගෞරවයෙන් කතා කරන්න. “සිත රිදවන වචනයකින් තරහ උපදවයි” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 15:1) ඔයා කතා කරන්නේ ඔයාගේ අම්මායි, තාත්තායි එක්ක කියලා අමතක කරන්න එපා. ඔයාට හිතෙන හිතෙන විදිහට වචන පාවිච්චි කරන්න ගියොත් එහෙම නැත්නම් එයාලගේ නීති තද වැඩියි කියලා එයාලට චෝදනා කරන්න ගියොත් වැඩි වෙලාවක් ඒ සාකච්ඡාව කරගෙන යන්න බැරි වෙයි.

 “අම්මාටයි, තාත්තාටයි ගෞරවයෙන් කතා කරන තරමට එයාලා මං කියන දේ අහන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා මං තේරුම්ගත්තා. එහෙම කරද්දී දෙගොල්ලන්ම කැමති විදිහේ තීරණයකට එන්න ලේසියි.”—බියංකා, අවුරුදු 19යි.

 ඇහුම්කන් දෙන්න. බයිබලයේ කියන්නේ “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි” කියලා. (යාකොබ් 1:19) අම්මලා කියන දේ හොඳින් අහගෙන ඉඳලා සුහදව ඒ ගැන සාකච්ඡා කරන්න. එහෙම නැතුව එයාලට දේශනයක් දෙන්න යන්න එපා.

 “ටික ටික තරුණ වයසට එද්දී සමහරවිට හිතෙන්න පුළුවන් අම්මලා මොනවාද දන්නේ කියලා. ඒත් එහෙම හිතන එක වැරදියි. එයාලට ගොඩක් අද්දැකීම් තියෙනවා. එයාලා අපේ වයස පහු කරලයි තියෙන්නේ. ඒ නිසා එයාලා දෙන උපදෙස් හොඳින් හිතට ගන්න ඕනේ.”—ඩේවන්, අවුරුදු 20යි.

 එයාලගේ පැත්තෙන් හිතන්න. අම්මලා නීති දාන්නේ ඇයි කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. බයිබලයේ කියන්නේ “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න” කියලා. (ෆිලිප්පි 2:4) ඒ නිසා අම්මලාගේ පැත්තෙන් කාරණා දිහා බලන්න පුරුදු වෙන්න.

ඔයා කොයි විදිහට කතා කළොත්ද හොඳ?

 “අම්මලා දාලා තිබුණ නීති නිසා ඉස්සර මට හිතුණේ එයාලා මගේ හතුරෝ කියලා. ඒත් පස්සේ තමයි මට තේරුණේ එයාලා එහෙම කළේ මට තියෙන ආදරේ නිසා කියලා. එයාලගේ මඟ පෙන්වීම් ලැබුණේ නැත්නම් කවදාවත් මං වගකීමෙන් වැඩ කරන්න ඉගෙනගන්න එකක් නැහැ.”—ජොෂුවා, අවුරුදු 21යි.

 සාධාරණ විසඳුමක් යෝජනා කරන්න. හිතන්න, ඔයා අම්මාගෙනුයි, තාත්තාගෙනුයි පාටියකට යන්න අවසර ඉල්ලනවා කියලා. ඒත් එයාලා ඔයාට යන්න එපා කියලා කියනවා. කේන්ති ගන්න කලින් එයාලා එහෙම කියන්නේ ඇයි කියලා හිතන්න. අම්මලා යන්න එපා කියන්නේ ඉවර වෙලා එද්දී රෑ වෙන නිසාද? නැත්නම් පාටියට එන අය කවුද, ඒක මොන වගේ පාටියක්ද කියලා එයාලා දන්නේ නැති නිසාද?

  •   එයාලා එපා කියන්නේ රෑ වෙන නිසා නම් තනියම යන්නේ නැතුව කට්ටියක් එකතු වෙලා පාටියට ගියාට කමක් නැද්ද කියලා එයාලගෙන් අහන්න.

  •   එයාලා එපා කියන්නේ පාටියට එන අය නිසා නම් ඒකට එන්නේ මොන වගේ අයද, ඒක අධීක්ෂණය කරන්න වැඩිහිටි කෙනෙක් ඉන්නවාද වගේ කාරණා එයාලට පැහැදිලි කරන්න.

 අම්මලා එක්ක කතා කරද්දී ගෞරවනීය විදිහට කතා කරන්නත් එයාලා කියන දේට ඇහුම්කන් දෙන්නත් අමතක කරන්න එපා. කෑගහලා කොහොමහරි ඔයාට ඕන දේ කරගන්න හදන්න එපා. ඒ වෙනුවට “පියාටත් මවටත් ගෞරව කරන්න” කියලා බයිබලයේ කියන දේ හිතට ගන්න. (එෆීස 6:2, 3) ඔයා සාධාරණ විසඳුමක් යෝජනා කළොත් එයාලා සමහරවිට දාපු නීති අයින් කරන්නත් ඉඩ තියෙනවා. ඒත් එහෙම වුණේ නැත්නම් මොකද කරන්නේ?

 අම්මායි, තාත්තායි කියන දේට කීකරු වෙන්න. එහෙම කළේ නැත්නම් ඉතිං දාලා තියෙන නීති ගැන ආයෙත් අම්මලා එක්ක කතා කරනවා බොරු! ඔයා කේන්ති අරන් එකට එක කියන්න ගියොත් තියෙන නිදහසත් නැති වෙයි. ඒ නිසා එයාලා කියන දේට කීකරු වෙලා එයාලගේ විශ්වාසය දිනාගන්න. එතකොට ඊළඟ සැරේ තිබුණාට වඩා වැඩි නිදහසක් දෙන්න එයාලා පෙලඹෙයි.