Skip to content

යොවුන් සිතේ ගැටලු

මම හුඟක් ලැජ්ජයි නම් කරන්න පුළුවන් මොනවාද?

මම හුඟක් ලැජ්ජයි නම් කරන්න පුළුවන් මොනවාද?

 නරක ආරංචිය: ඔයා ලැජ්ජ කෙනෙක් නම් යාළුවන් ඇති කරගන්න, හොඳ අද්දැකීම් ලබාගන්න තියෙන අවස්ථාවන් නැති වෙන්න පුළුවන්.

 හොඳ ආරංචිය: ලැජ්ජ වෙන එක හැම තිස්සේම වැරදි නැහැ. දෙයක් කියන්න කලින් දෙපාරක් හිතලා බලන්න ඒක ඔයාට උදව් වෙනවා. ඒ වගේම අනිත් අයට හොඳට ඇහුම්කන් දෙන්න, එයාලා කරන කියන දේවල්වලට හොඳට අවධානය දෙන්න ඒ නිසා ඔයාට පුළුවන් වෙනවා.

 හොඳම ආරංචිය: ලැජ්ජාව කියන්නේ ජීවිත කාලෙටම තියෙන දෙයක් නෙවෙයි. ඒක පාලනය කරගන්න ඔයාට පුළුවන්. එහෙම කරන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.

 බයක් දැනෙන්නේ ඇයි කියලා අඳුරගන්න

 ඔයා ලැජ්ජාශීලී කෙනෙක් නම් කෙනෙක් එක්ක මූණට මූණ බලන් කතා කරන්න ඔයාට ලොකු බයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට හිතෙන්න පුළුවන් ඔයා තනි වෙලා කියලා. ඒක හරියට කළුවර කාමරයක තට්ට තනියම ඉන්නවා වගේ දෙයක්. එතකොට ඔයාට බය හිතෙනවා. ඒත් ලයිට් එකක් දාලා ඒ කළුවර නැති කරනවා වගේ බය වෙන්න හේතු වෙන දේවල් අඳුරගෙන ඒවා නැති කරගන්න ඔයාට පුළුවන්. ඒකට උදාහරණ තුනක් අපි බලමු.

  •   1වෙනි බය: “මං මොනාද කියන්න ඕනෙ කියලා මට තේරෙන්නේ නැහැ.”

     ඇත්ත මේකයි: අනිත් අයට වැඩියෙන් මතක තියෙන්නේ ඔයා කියන දේවල්වලට වඩා එයාලත් එක්ක ඉද්දී ඔයා හැසිරෙන විදිහ. හොඳින් ඇහුම්කන් දෙන්න පුරුදු වෙන එකෙන් ඔයාගේ බය පාලනය කරගන්න ඔයාට පුළුවන්. ඒ නිසා අනිත් අය දෙයක් කියද්දී එයාලා ගැන අවංකවම සැලකිලිමත් වෙලා ඇහුම්කන් දෙන්න.

     හිතන්න දෙයක්: ඔයා කැමති ගිරවෙක් වගේ හැම තිස්සේම කියවන කෙනෙක් ඔයාගේ යාළුවෙක් කරගන්නද නැත්නම් හොඳට ඇහුම්කන් දෙන කෙනෙක් ඔයාගේ යාළුවෙක් කරගන්නද?

  •   2වෙනි බය: “මාත් එක්ක ඉන්න එක හරි කම්මැළියි කියලා අනිත් අයට හිතෙයි.”

     ඇත්ත මේකයි: ඔයා ලැජ්ජ කෙනෙක්ද නැද්ද කියන එක ගැන අනිත් අය දේවල් කියයි. ඒත් ඔයාගේ බය පාලනය කරගෙන ඔයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා එයාලට පෙන්නන්න. එතකොට එයාලා ඔයා ගැන හිතන විදිහ වෙනස් කරගනියි.

     හිතන්න දෙයක්: අනිත් අය ඔයාට කැමති නැහැ කියලා ඔයා හැම තිස්සේම හිතනවා නම් එයාලා ගැන වැරදියට හිතන්නේ ඔයා වෙන්න පුළුවන් නේද?

  •   3වෙනි බය: “මං හරියන්නේ නැති දෙයක් කිව්වොත් ලැජ්ජ වෙන්න වෙයි.”

     ඇත්ත මේකයි: ඒක ඕනෙම කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ අතිනුත් වරදිනවා කියන එක ඔයා පිළිගන්නවා කියලා අනිත් අයට පෙන්නන්න. එහෙම කරන එක ඔයාගේ බය නැති කරගන්න උදව් වෙනවා.

     හිතන්න දෙයක්: ඔයා වුණත් යාළුවෙක් කරගන්න කැමති තමන්ටත් වරදිනවා කියලා පිළිගන්න කෙනෙක්ව නේද?

 මේක දැනගෙන හිටියාද? සමහරු හිතනවා හුඟක් මැසේජ් කරන නිසා එයාලා ලැජ්ජ අය නෙවෙයි කියලා. ඒත් කෙනෙක් එක්ක යාළුකමක් ඇති කරගන්න පුළුවන් හොඳම විදිහ තමයි එයාව හම්බ වෙලා කතා කරන එක. මනෝවිද්‍යාඥයෙක් වගේම තාක්ෂණය සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් වන ෂෙරී ටර්කල් පොතක මෙහෙම සඳහන් කරලා තියෙනවා. “කෙනෙක් එක්ක මූණට මූණ බලන් කතා කරද්දී, එයාගේ කටහඬ ඇහෙද්දී තවත් වැඩියෙන් එයාට කිට්ටු වෙන්න අපිට පුළුවන් වෙනවා.” a

ඔයාගේ බය ටිකෙන් ටික පාලනය කරගද්දී ඔයාට තේරෙයි කෙනෙක්ව හම්බ වෙලා කතා කරන්න හිතපු තරම් බය වෙන්න ඕනෙ නැහැ කියලා

 කරන්න පුළුවන් දේවල්

  •   සන්සන්දනය කරන්න එපා. ඔයා ඕනෑවට වඩා සමාජශීලී කෙනෙක් වෙන්න යන්න ඕනෙ නැහැ. ඒ වෙනුවට ඔයාගේ ලැජ්ජාව පාලනය කරගත්තා නම් ඇති. එතකොට යාළුවන් ඇති කරගන්නත් හොඳ අද්දැකීම් ලබාගන්නත් තියෙන අවස්ථාවන් මඟහැරෙන්නේ නැහැ.

     “ඔයා කෙනෙක් එක්ක කතා කරද්දී ඕනෑවට වඩා දේවල් කියන්න ඕනෙ නෑ. කට්ටියක් එක්ක ඉද්දී හැමෝගෙම අවධානය ඇදගන්න කෙනා වෙන්න ඔයා උත්සාහ කරන්න ඕනෙත් නෑ. සාමාන්‍ය විදිහට පොඩි ප්‍රශ්නයක් දෙකක් අහලා කෙනෙක් එක්ක කතා කරන්න.”—ඇලීෂියා.

     බයිබල් ප්‍රතිපත්තිය: “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.”—ගලාති 6:4.

  •   නිරීක්ෂණය කරන්න. අනිත් අයත් එක්ක හොඳට කතාබහ කරලා ඉන්න අය දිහා බලන්න. කට්ටියක් එක්ක ඉද්දී එයාලා කරන කියන මොන වගේ දේවල්ද එතනට හරියන්නේ? මොන වගේ දේවල්ද හරියන්නේ නැත්තේ? එයාලට තියෙන මොන වගේ හැකියාවන්ද ඔයාට තව දියුණු කරගන්න පුළුවන්?

     “අනිත් අයත් එක්ක ඉක්මනින්ම යාළු වෙන අය දිහා බලලා එයාලගෙන් ඉගෙනගන්න. එයාලා කෙනෙක්ව මුල්ම වතාවට හම්බ වුණාම කියන කරන දේවල් හොඳට බලන්න.”—ඒරන්.

     බයිබල් ප්‍රතිපත්තිය: “යකඩින් යකඩ මුවහත් වෙයි. එසේම, මිනිසෙකුට දියුණු වීමට තවත් මිනිසෙකුට උපකාර කළ හැක.”—හිතෝපදේශ 27:17.

  •   ප්‍රශ්න අහන්න. සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙක් එයාලට හැඟෙන විදිහ ගැන කියන්න කැමතියි. ඒක නිසා කතාබහක් පටන්ගන්න ප්‍රශ්න අහන එක හොඳ විදිහක්. ඒකෙන් ඔයාට අවධානය එන එකත් අඩු වෙනවා.

     “කලින්ම ලෑස්ති වෙන එකෙන් ඔයාට දැනෙන බය අඩු කරගන්න පුළුවන්. කට්ටියක් එකතු වෙද්දී අහන්න පුළුවන් ප්‍රශ්න ගැන, කතා කරන්න පුළුවන් දේවල් ගැන කලින්ම හිතන්න. එහෙම කරන එක ඔයාට උදව් වෙනවා අලුත් අයත් එක්ක කතා කරද්දී ඇති වෙන පීඩනය අඩු කරගන්න.”—එලානා.

     බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.

a Reclaiming Conversation කියන පොතෙන්.