Skip to content

අසභ්‍ය දර්ශන බලන එක වැරදිද? ඉන්ටර්නෙට් එක හරහා ලිංගික ආශාවන් ඉටු කරගන්න එක වැරදිද?

අසභ්‍ය දර්ශන බලන එක වැරදිද? ඉන්ටර්නෙට් එක හරහා ලිංගික ආශාවන් ඉටු කරගන්න එක වැරදිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 අසභ්‍ය දර්ශන බලන එක වැරදියි කියලා බයිබලේ කෙළින්ම කියලා නැහැ. ඒ වගේම ඉන්ටර්නෙට් එකෙන් කාට හරි ලිංගික පණිවිඩ යවන එක නැත්නම් ලිංගික දේවල් ගැන කතා කරන එක වැරදියි කියලත් කෙළින්ම කියලා නැහැ. හැබැයි විවාහෙන් පිට ලිංගික සම්බන්ධකම්වලට මඟ පාදන දේවල් හා ලිංගික සම්බන්ධකම් ගැන මනසේ විකෘති අදහස් ඇති කරන දේවල් දෙවියන් හෙළා දකිනවා කියලා නම් බයිබලේ පැහැදිලිවම පෙන්නලා තියෙනවා. ඒක තේරුම්ගන්න මේ බයිබල් පද බලන්න.

  •   “වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද . . . සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.” (කොලොස්සි 3:5) අසභ්‍ය දර්ශන බලද්දි වෙන්නේ වැරදි ආශාවල් නැති වෙන එක නෙමෙයි ඒවා තව තවත් වැඩි වෙන එකයි. ඒ නිසා අසභ්‍ය දර්ශන බලන කෙනෙක්ව දෙවි සලකන්නේ අපවිත්‍ර කෙනෙක් හැටියටයි.

  •   ‘කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇත.’ (මතෙව් 5:28) පහත් ලිංගික ක්‍රියා ඇතුළත් අසභ්‍ය දර්ශන බලන කෙනෙක්ගේ මනසේ වැරදි ආශාවන් සහ පහත් අදහස් ඇති වෙනවා. එතකොට එයා ඒ ආශාවන් ඉටු කරගන්න උත්සාහ කරනවා.

  •   “වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි.” (එෆීස 5:3) වින්දනයක් ලබාගන්න ලිංගික දේවල් ගැන කතා කරන එක වැරදියි. ඒ වගේම අසභ්‍ය දේවල් බලන එකත් අසභ්‍ය දේවල් කියවන එකත් වැරදියි.

  •   “කෙනෙක් තම පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන විට ඔහු හැසිරෙන ආකාරය පැහැදිලිය. වේශ්‍යාකම, අපවිත්‍රකම . . . යනාදි දේවල් ඔහු තුළ දක්නට ලැබේ. මීට කලින් මා ඔබට අනතුරු ඇඟවූ ලෙසම මා දැනුත් ඔබට අනතුරු අඟවන්නේ එවැනි දේවල් කරන අයට දෙවිගේ රාජ්‍යය උරුම නොවන බවය.” (ගලාති 5:19-21) අසභ්‍ය දර්ශන (pornography) බලන අයවත්, ෆෝන් එකෙන් වෙන අය එක්ක ලිංගික දේවල් ගැන කතා කරන (phone sex) අයවත්, ලිංගික හැඟීම් අවුස්සන SMS හා පින්තූර ෆෝන් එකෙන් යවන (sexting) අයවත්, ඉන්ටර්නෙට් එකෙන් වෙන අය එක්ක ලිංගික දේවල් ගැන කතා කරන හා ලිංගික පණිවිඩ යවන (cybersex) අයවත් දෙවියන් සලකන්නේ අපවිත්‍ර අය හැටියටයි. ඒ වගේ දේවල් කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ට දෙවිගේ අනුමැතිය සම්පූර්ණෙන්ම නැති වෙලා යන්න පුළුවන්.