උත්පත්ති 2:1-25

2  මෙසේ, අහසත් පොළොවත් ඒවායේ ඇති සියල්ලත්* සාදා නිම කරන ලද්දේය.+  හත්වන දවස වන විට දෙවි එම වැඩ සියල්ල නිම කළේය. හත්වන දවසේ සිට ඔහු ඒ සියලු වැඩවලින් විවේක ගත්තේය.+  දෙවි හත්වන දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස ප්‍රකාශ කළේය. මන්ද දෙවි තමා පටන්ගත් වැඩ නිම කර හත්වන දවසේ සිට ඒ සියලු වැඩවලින් විවේක ගත්තේය.+  යෙහෝවා දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළ දවස ගැන මෙම වාර්තාවේ සඳහන් වේ.+ ඒ දවසේදී ඔහු දේවල් සෑදූ අනුපිළිවෙළ ගැනත් මෙහි විස්තර කර ඇත.  ඒ කාලයේදී, පොළොවේ පඳුරක්වත් පැළෑටියක්වත් හටගෙන තිබුණේ නැත. මන්ද ඒ වන විටත් යෙහෝවා දෙවි පොළොව මතට වැසි+ වස්සවා තිබුණේ නැත. පොළොවේ වගා කිරීමට මනුෂ්‍යයෙක් සිටියේද නැත.  නමුත් දෙවි භූමිය තෙමන පිණිස ජල වාෂ්ප+ පොළොවෙන් ඉහළට නඟින්න සැලැස්වූවේය.+  යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+  යෙහෝවා දෙවි, නැඟෙනහිර දෙසින් පිහිටි ඒදන්හි*+ උයනක් සාදා තමා සෑදූ+ මිනිසාව එහි තැබුවේය.  යෙහෝවා දෙවි ඇසට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් ඒ උයනේ හටගන්න සැලැස්වූවේය. ජීවන වෘක්ෂයද+ ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වූ වෘක්ෂයද+ ඔහු උයන මැද හටගන්න සැලැස්වූවේය. 10  උයනට ජලය සැපයීම සඳහා ඒදන් වෙතින් ගඟක් ගලා ගියේය. එය අතුගංගා හතරකට බෙදුණේය. 11  පළමුවන අතුගංගාවේ නම පීෂෝන්ය. රත්තරන් ඇති මුළු හවිලා දේශය+ වටා ගලා ගියේ ඒ ගංගාවය. 12  ඒ දේශයේ රත්තරන් අනර්ඝය.+ ඩෙලියම් ලාටුද*+ ඔනික්ස් ගල්ද+ එහි ඇත. 13  දෙවන ගංගාවේ නම ගීහොන්ය. මුළු කූෂ් දේශය වටා ගලන්නේ එම ගංගාවය. 14  තුන්වන ගඟෙහි නම හිද්දෙකෙල්ය.+ එය ඇසිරියාවෙන්+ නැඟෙනහිර දෙසට ගලා යයි. හතරවන ගඟ යුප්‍රටීස්ය.+ 15  යෙහෝවා දෙවි මිනිසාව ඒදන් උයනෙහි පදිංචි කළේය.+ උයන බලාගන්නා පිණිසද එහි වගා කරන පිණිසද මිනිසාව එහි තැබුවේය.+ 16  පසුව යෙහෝවා දෙවි මිනිසාට මෙසේ අණ කළේය. “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන.+ 17  නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.”+ 18  යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.”+ 19  යෙහෝවා දෙවි සියලු වනමෘගයන්වද අහසේ පියාසර කරන සියලු ජීවීන්වද දූවිල්ලෙන් සෑදුවේය. පසුව ඒ එක් එක් සත්වයාව මිනිසා වෙතට ගෙන ගොස් උන්ට නම් තබන්න කියා දෙවි ඔහුට කීවේය. මිනිසා එක් එක් සතාට+ යම් නමක් දුන්නේද ඒ නමින්ම උන්ව හඳුන්වනු ලැබීය.+ 20  මිනිසා සියලු හීලෑ සතුන්ටද අහසේ පියාසර කරන ජීවීන්ටද සියලු වනමෘගයන්ටද නම් තැබුවේය. ඒ වන විටත් මිනිසාට ගැළපෙන සහකාරියක් සිටියේ නැත. 21  එබැවින් යෙහෝවා දෙවි මිනිසාව තද නින්දකට+ වැටෙන්න සැලැස්වූවේය. ඔහු නිදා සිටියදී දෙවි ඔහුගෙන් ඉළ ඇටයක් ගත්තේය. ඉන්පසු ඔහු ඉළ ඇටය ගත් ස්ථානය වසා දැමුවේය. 22  පසුව යෙහෝවා දෙවි ඒ ඉළ ඇටයෙන් ස්ත්‍රියක සාදා ඇයව මිනිසා වෙතට ගෙනාවේය.+ 23  ඇයව දුටු විට මිනිසා මෙසේ කීවේය.“මේ මාගේ ඇටවලින් ඇටය,මාගේ මාංසයෙන් මාංසයය.+ඇයට ස්ත්‍රියයයි කියනු ලබන්නේය.මන්ද ඇය මිනිසාගෙන් ගනු ලැබීය.”+ 24  එබැවින් මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී,+ තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.+ 25  මිනිසා සහ ඔහුගේ බිරිඳ නග්නව සිටියෝය.+ නමුත් ඔවුන්ට කිසි ලැජ්ජාවක් දැනුණේ නැත.+

පාදසටහන්

මූ.අ., “ඒවායේ සියලු සේනා.”
තේරුම, “ප්‍රීතිය, සතුට.”
ඩෙලියම් යනු සුවඳවත් ලාටු වර්ගයකි. එය ලබාගන්නේ පත්‍ර අඩු කුඩා පඳුරු වර්ගයකිනි.