1 කොරින්ති 16:1-24

16  ශුද්ධ තැනැත්තන් උදෙසා+ එකතු කරන ලද සම්මාදම් ගැන+ යමක් පවසන්න මා කැමතිය. ඒ ගැන මා ගලාතියේ සභාවන්ට+ දුන් උපදෙස් ඔබටත් අනුගමනය කළ හැක.  සෑම සතියකම පළමුවෙනි දින ඔබ ළඟ තිබෙන දේවලට අනුව තම තමන්ගේ නිවෙස්වලදී යමක් වෙන් කර තැබීමට ඔබට පුළුවන. ඔබ එසේ කළොත් මා පැමිණි විට සම්මාදම් එකතු කිරීමට අවශ්‍ය වන්නේ නැත.  යෙරුසලමට යැවීම සඳහා ඔබ යෝජනා කරන පුරුෂයන් කවුද කියා මට කලින්ම දන්වා එවිය යුතුයි.+ එවිට මා පැමිණි විට ඔබ කාරුණිකව පරිත්‍යාග කරන දේ ඔවුන් අත යැවීමට සැලසුම් යෙදිය හැක.  මාත් එහි යෑම සුදුසුයි කියා පෙනෙනවා නම් මමත් ඔවුන් සමඟ එහි යන්නෙමි.  මම මැසිඩෝනියාවට යෑමටද බලාපොරොත්තු වන නිසා එහි ගොස් පසුව ඔබ ළඟට එන්නෙමි.+  මා අදහස් කරන්නේ ඔබ සමඟ යම් කාලයක් නැවතී සිටීමටය. සමහරවිට ශීත කාලය අවසන් වන තුරු ඔබ සමඟ සිටීමට මට හැකි වේ. මා පිටත්ව යන විට මාව ඇරලවීමට+ යම් දුරක් මා සමඟ පැමිණීමට ඔබටත් පුළුවන.  මා මැසිඩෝනියාවට නොගොස් කෙළින්ම ඔබව හමු වීමට පැමිණියොත් මට නතර විය හැක්කේ කෙටි කලකට පමණි. නමුත් යෙහෝවා දෙවි+ කැමති නම්+ මා අදහස් කරන්නේ ඔබ සමඟ යම් කාලයක් නතර වී සිටීමටය.+  පෙන්තකොස්ත උත්සවය පවත්වන දවස දක්වා මම එෆීසයේ නැවතී සිටීමට+ බලාපොරොත්තු වෙමි.  මන්ද සේවය කිරීම සඳහා විශාල ප්‍රස්තාවක් මට එහි විවෘත වී ඇත.+ නමුත් බොහෝදෙනෙක් ඊට විරුද්ධව සිටිති. 10  සමහරවිට තිමෝති+ ඔබ වෙතට පැමිණීමට ඉඩ තිබේ. ඔහු ඔබ සමඟ සිටින විට ඔහුව අපහසුතාවකට පත් වන අයුරින් කටයුතු නොකරන්න. මන්ද ඔහුත් යෙහෝවා දෙවි වෙනුවෙන් මා කරන සේවය හා සමාන සේවයක් ඉටු කරයි.+ 11  එහෙයින් කිසි කෙනෙකු ඔහුව පහත් කර නොසැලකිය යුතුයි.+ ඔහු මාව හමු වීමට පිටත්ව එන විට ඔහුගේ ආරක්ෂාවට ඔහුව ඇරලවීමට යම් දුරක් ඔහු සමඟ එන්න. මන්ද ඔහු එන තුරු මම සහෝදරයන් සමඟ බලා සිටින්නෙමි. 12  සහෝදරයන් සමඟ ඔබව හමු වීමට යන ලෙස අපගේ සහෝදර අපොලොස්ගෙන්+ මම අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියෙමි. නමුත් දැන්මම ඔබව හමු වීමට ඔහු තුළ අදහසක් නැත. ඉදිරියේදී ඔහුට අවස්ථාවක් ලැබෙන විට ඔහු පැමිණෙයි. 13  අවදිව සිටින්න.+ ඔබේ විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න.+ පුරුෂයන් මෙන් නිර්භීතව කටයුතු කරන්න.+ තව තවත් නිර්භීත වන්න.+ 14  ඔබ කරන සෑම දෙයක්ම ප්‍රේමයෙන් කිරීමට වගබලා ගන්න.+ 15  සහෝදරයෙනි, ඔබට යම් දෙයක් ගැන උනන්දු කිරීමට කැමැත්තෙමි. ඇකේයාවෙහි මුලින්ම යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වූයේ ස්තෙෆනස්+ සහ ඔහුගේ නිවසේ සිටින අය බවත් ඔවුන් ශුද්ධ තැනැත්තන්ට මහත් කැපවීමකින් උපකාර කරන බවත් ඔබ නොදන්නවා නොවේ.+ 16  එවැනි අයටද ඔවුන්ට සහයෝගය දක්වමින් වෙහෙසෙන සියලුදෙනාටද දිගටම යටත්ව සිටින්න.+ 17  මේ අවස්ථාවේදී ස්තෙෆනස්,+ ෆෝටුනාටස් සහ අකායිකස් මා ළඟ සිටීම* ගැන මට මහත් ප්‍රීතියක් දැනේ. මන්ද ඔබ නැති පාඩුව ඔවුහු පිරිමැසුවෝය. 18  ඔවුන් මටත් ඔබටත් මහත් සහනයක් ගෙන දී ඇත.+ එහෙයින් එවැනි පුරුෂයන්ට ගෞරවයෙන් සලකන්න.+ 19  ආසියාවේ පිහිටා ඇති සභාවල සහෝදරයෝ ඔබට සුබ පතති.+ අකිලා සහ ප්‍රිස්කාද ඔවුන්ගේ නිවසෙහි රැස් වන සභාවේ+ සියලුදෙනාද ස්වාමීන්ගේ අනුගාමිකයන් වන ඔබට මුළු හදවතින්ම සුබ පතති. 20  මෙහි සිටින සියලු සහෝදරයෝද ඔබට සුබ පතති. සහෝදර සෙනෙහසකින් එකිනෙකාව සිඹගනිමින් එකිනෙකාට සුබ පතන්න.+ 21  පාවුල් වන මම, මගේම අතින්+ මගේ සුබ පැතුම් ඔබට ලියා එවන්නෙමි. 22  යමෙකුට ස්වාමීන් කෙරෙහි සෙනෙහසක් නැත්නම් ඒ තැනැත්තා ශාප ලද්දෙක් වේවා!+ අපගේ ස්වාමීනි, එන්න!+ 23  ස්වාමීන් වන යේසුස්ගේ මහත් කරුණාව ඔබ සියලුදෙනාටම ලැබේවා! 24  ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් වන ඔබ සියලුදෙනාටම මගේ ප්‍රේමය එවන්නෙමි.

පාදසටහන්

පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.