Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

දෙන්නාගේ අදහස් හිතුවට වඩා වෙනස්ද?

දෙන්නාගේ අදහස් හිතුවට වඩා වෙනස්ද?

ප්‍රශ්නය

ඔයා ආස ක්‍රීඩාවට. එයා ආස පොත් කියවන්න. ඔයා පිළිවෙළට වැඩ කරනවා. ඒත් එයාගේ වැඩවල පිළිවෙළක් නැහැ. ඔයා ආසයි යාළුවෝ ආශ්‍රය කරන්න. ඒත් එයා කැමති තනියම ඉන්න.

ඒ නිසා ඔයාට මෙහෙම හිතෙනවා ඇති. ‘අපි දෙන්නා ආස කරන දේවල් වෙනස්. ඇයි අපි යාළු වෙලා ඉන්න කාලේ මේක තේරුණේ නැත්තේ?’

ඒ කාලේ ඒවා නොපෙනුණා නෙමෙයි. ඔයා ඒවා එච්චර ගණන්ගත්තේ නැහැ. ඉක්මනට අමතක කළා. ඉස්සර වගේ දැනුත් දෙන්නා අතර තියෙන පොඩි පොඩි වෙනස්කම් අමතක කරන්න ඔයාට පුළුවන්. ඒකට උදව් වෙන තොරතුරු ටිකක් අපි මේ ලිපියෙන් බලමු.

දැනගන්න ඕන දේ

සමහර වෙනස්කම් හිතුවට වඩා බරපතළයි. දෙන්නෙක් යාළු වෙලා ඉන්න කාලේ, දෙන්නට දෙන්නා ගැළපෙනවාද කියලා බලනවා. ගැළපෙන්නේ නැහැ කියලා තේරුම්ගත්ත සමහර අය විවාහ වෙලා ප්‍රශ්න ඇති කරගන්නවට වඩා සම්බන්ධය නතර කරන්න තීරණය කරලා තියෙනවා. ඒකෙන් අදහස් වෙනවද විවාහ වන දෙන්නෙක් සීයට සීයක්ම ගැළපෙන්න ඕනේ කියලා?

සීයට සීයක් එක වගේ අදහස් තියෙන දෙන්නෙක් නැහැ. ඒ නිසා විවාහ වන දෙන්නෙක් අතරේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ අතරින් කිහිපයක් අපි බලමු.

කැමති අකමැති දේවල්. බිරිඳක් වන ඇනා * මෙහෙම කියනවා. “මං ගමන්බිමන් යන්න ආස නැහැ. ඒත් මගේ මහත්තයා පොඩි කාලේ ඉඳන්ම කඳු නඟින්න, ඇවිදින්න යන්න හරි ආසයි.”

පුරුදු. “මගේ නෝනට රෑ වෙන කල් ඇහැරිලා හිටියත් පාන්දර 5 වෙද්දී නැඟිටින්න පුළුවන්. ඒත් මට නම් පැය හතඅටක් නිදාගන්නම ඕනේ. නැත්නම් මට කේන්ති යනවා” කියලා බ්‍රයන් කියනවා.

ගතිගුණ. ඔයා වැඩිය කතාබහ කරන්න කැමති නැති කෙනෙක්. ඒත් ඔයාගේ සැමියා හෝ බිරිඳ කතාබහට කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගැන සැමියෙක් වන ඩේවිඩ් මෙහෙම කිව්වා. “සාමාන්‍යයෙන් අපේ පවුලේ අය පෞද්ගලික ප්‍රශ්න අනිත් අයත් එක්ක කතා කරන්නේ නැහැ. ඒත් මගේ නෝනා හැදිලා තියෙන්නේ හැම දේම අනිත් අයත් එක්ක කතා කරන පවුලක.”

වෙනස් අදහස් තියෙන එක ප්‍රයෝජනවත්. බිරිඳක් වන හෙලේනා කියන්නේ “මං දෙයක් කරන ක්‍රමය හොඳ වෙන්න පුළුවන්. ඒත් ඒ දේ කරන්න තවත් හොඳ ක්‍රම තියෙන්න පුළුවන්” කියලයි.

මොනවද කරන්න පුළුවන්?

සහයෝගය දෙන්න. ඇඩම් මෙහෙම කියනවා. “මගේ නෝනා ක්‍රීඩාවලට ආස නැහැ. ඒත් මං ඒවාට ආස නිසා එයා මාත් එක්ක ක්‍රීඩා තරඟ බලන්න යන්න එනවා. එයා ආස කලාත්මක දේවල්වලට. ඒ නිසා මාත් එයාත් එක්ක ඒ දේවල් තියෙන කෞතුකාගාර බලන්න යනවා. එයා කැමති වෙලාවක් එයාත් එක්ක මං ඉන්නවා. මං එහෙම කරන්නේ එයා කලාවට ගොඩක් ආසයි කියලා දන්න නිසයි.”—1 කොරින්ති 10:24 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

හිතන විදිහ වෙනස් කරගන්න. කාරණයක් දිහා ඔයාගේ සැමියා හෝ බිරිඳ බලන විදිහ ඔයා ඒ කාරණේ දිහා බලන විදිහට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එයා වැරදියි කියලා. ඒ ගැන ඇලෙක්ස් මෙහෙම කියනවා. “මුලින් මං හිතාගෙන හිටියේ වැඩක් හරියට කරන්න පුළුවන් මගේ ක්‍රමයට කළොත් විතරයි කියලා. ඒත් ඒ වැඩේ හරියට කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා කියලා බැන්දට පස්සේ මට තේරුණා.”1 පේතෘස් 5:5 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

සාධාරණ වෙන්න. දෙන්නාට දෙන්නා ගැළපෙනවා කියන්නේ දෙන්නගේ අදහස් හැම අතින්ම එක වගේ වෙනවා කියන එක නෙමෙයි. ඒ නිසා පොඩි පොඩි නොගැළපීම් මතු වෙනකොට ‘මං තෝරගත්තේ වැරදි කෙනාව’ කියලා හිතන්න එපා. ඒ ගැන එක පොතක මෙහෙම කියනවා. “නොගැළපෙන අදහස් මතු වෙද්දී ගොඩක් අය ‘මං ආදරෙන් අන්ධ වෙලා හිටියේ’ වගේ දේවල් කියනවා. ඒත් ඔය දෙන්නා සතුටින් ගත කරපු හැම දවසකින්ම ඔප්පු වෙන්නේ මොන නොගැළපීම් තිබුණත් දෙන්නාට ආදරෙන් ඉන්න පුළුවන් කියන එකයි.” (The Case Against Divorce) ඒ නිසා ‘අනිත් කෙනා කරන දේ ගැන අමනාපයක් ඇති වෙන්න සාධාරණ හේතු තිබුණත් ඉවසන්න.’—කොලොස්සි 3:13.

මෙහෙම කරලා බලන්න: දෙන්නා එක වගේ හිතන දේවල් මොනවද කියලා කොලේක ලියන්න. ඊටපස්සේ දෙවිදිහකට හිතන දේවලුත් ලියන්න. එතකොට හිතපු තරම් ලොකු නොගැළපීමක් දෙන්නා අතර නැහැ කියලා ඔයාට තේරෙයි. ඔයාට යම් වෙනසක් කරගන්න පුළුවන් පැති ගැන හිතන්නත් ඒ ලියපු දේවල් උදව් වෙයි. සැමියෙක් වන කෙනෙත් මෙහෙම කියනවා. “මං ආස විදිහට වැඩ කරන්න මගේ නෝනා උත්සාහ කරද්දී මට හරිම සතුටුයි. මමත් එයා කැමති විදිහට දේවල් කරද්දී එයාත් සතුටු වෙනවා කියලා මං දන්නවා. ඒ නිසා මට කැප කිරීමක් කරන්න වුණත් මං ඒක කරනවා. මොකද එයා සතුටින් ඉන්නවා දකින්න මං ආසයි.”—ෆිලිප්පි 4:5 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

^ 10 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.