Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | යෞවනයන්ට

සම්බන්ධය කැඩුණොත් . . .

සම්බන්ධය කැඩුණොත් . . .

ප්‍රශ්නය

“මට ගැළපෙනම කෙනා හම්බ වුණා කියලා මං හිතුවා. අපි දෙන්නට හැමදාම එකට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලත් මට හිතුණා. ලොකු බලාපොරොත්තු තියාගෙන සම්බන්ධේ පටන්ගත්තත් මාස 2කට පස්සේ මං ඒක නතර කළා.”—ඇනා. *

“මං ආස දේවල්වලටම තමයි එයාත් ආස කළේ. අපි බඳියි කියලමයි මං හිතුවේ. කාලයක් යද්දි තමයි මට තේරුණේ අපි දෙන්නගේ අදහස් කොච්චර වෙනස්ද කියලා. ඒ නිසා මං අපේ සම්බන්ධේ නැවැත්තුවා.”—ඉලෙන්.

ඔයාත් ඒ වගේ දෙයක් අද්දැකලා තියෙනවාද? එහෙමනම් මේ ලිපිය ඔයාට උදව් වෙයි.

දැනගන්න ඕන දේ

නවත්වන්න තීරණය කරන කෙනාටත් ඒක වේදනාවක්. යාළු වෙලා මාස 6කට පස්සේ සම්බන්ධය නවත්වපු සේරා මෙහෙම කියනවා. “එක වෙලාවක මගේ මුළු ජීවිතයම වෙලා හිටපු කෙනා ඊළඟ මොහොතේ මගේ ජීවිතයෙන් අයින් වුණාම ඒක දරාගන්න මට ලේසි වුණේ නෑ. අපි දෙන්නා ආස කරපු සිංදු ඇහෙද්දී මට ඒ කාලේ මතක් වුණා. ඒ දවස්වල අපි දෙන්නා ගිය තැන්වලට ගියාම මට එයා නැති අඩුව දැනුණා. සම්බන්ධය නතර කරන්න තීරණය කළේ මමයි. ඒත් මට ලොකු දුකක් දැනුණා.”

වේදනාවක් වුණත් හොඳ තීරණයක් වෙන්න පුළුවන්. “අනිත් එක් කෙනාගේ හිත රිදවන්න බැරි නිසා සම්බන්ධේ දිගටම පවත්වගෙන ගියොත් අන්තිමට වෙන්නේ දෙන්නටම දුක් විඳින්නයි” කියලා ඉලේන් කිව්වා. සේරාත් මෙහෙම කිව්වා. “යාළු වෙලා ඉන්න කාලේ දෙන්නා අතර හැම තිස්සෙම ප්‍රශ්න ඇති වෙනවා නම් බැන්දට පස්සේ සතුටින් ඉඳියි කියලා හිතන්න පුළුවන්ද? සම්බන්ධේ නතර කරන එක තමයි හොඳම දේ.”

ඔයා නරක කෙනෙක් වෙන්නේ නැහැ. ආදර සම්බන්ධයක් පටන්ගන්නේ දෙන්නට දෙන්නා විවාහ වෙන්න සුදුසුද කියලා බලලා තීරණයක් ගන්නයි. ඒ නිසා සමහර සම්බන්ධකම් විවාහයෙන් කෙළවර වුණාට තවත් ඒවා එහෙම නොවෙන්න පුළුවන්. ඔය දෙන්නට විවාහ වෙලා සතුටින් ඉන්න බැරි වෙයි කියලා හිතෙනවා නම් හොඳම දේ සම්බන්ධය නවත්වන එකයි. එහෙම කළා කියලා ඔයා නරක කෙනෙක් වෙන්නේ නැහැ. ඔයාට දුකක් දැනෙයි. ඒත් ඒකෙන් ගොඩ එන්න පුළුවන්.

මොනවද කරන්න පුළුවන්?

වේදනාවට මුහුණ දෙන්න සූදානම් වෙන්න. කලින් අදහස් දක්වපු ඉලේන් මෙහෙම කියනවා. “මට නැති වුණේ මගේ හොඳම යාළුවා.” ඔයා ළඟින්ම හිටපු කෙනෙක් එක්ක ඔයාට තිබුණු ආශ්‍රය නැති වුණාම ටික කාලෙකට වේදනාවක් දැනෙන එක සාමාන්‍යයි. ඒ ගැන ඇඩම් කිව්වේ “සම්බන්ධය නතර කරන්නේ හොඳ හේතුවක් ඇතුව වුණත් ලොකු දුකක් දැනෙනවා” කියලයි. බයිබලයේ සඳහන් කරලා තියෙන දාවිත් රජත් එයාට දුකක් දැනුණු වෙලාවේ මෙහෙම කිව්වා. “මාගේ කඳුළුවලින් යහන තෙත් වී ඇත.” (ගීතාවලිය 6:6) ඒ නිසා වේදනාව දැනෙන එක සාමාන්‍ය දෙයක් කියලා තේරුම්ගන්න. ඒකෙන් පැනලා යන්න හදන්න එපා.—ගීතාවලිය 4:4 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

ඔයාව තේරුම්ගන්න අයව ආශ්‍රය කරන්න. සම්බන්ධයක් කැඩුණු ගමන්ම අනිත් අය එකක් කතා බහ කරන එක ලේසි නැහැ. “මං මුලින් කා එක්කවත් කතා කරන්න කැමති වුණේ නෑ. මට ඕන වුණේ තනි වෙන්නයි” කියලා කලින් අදහස් දක්වපු ඇනා කිව්වා. ඒත් කාලයක් ගියාට පස්සේ එයාට උදව් කරන්න පුළුවන් යාළුවෝ ආශ්‍රය කරන එක කොච්චර වටිනවාද කියලා ඇය තේරුම්ගත්තා. යාළුවන්ගෙන් ලැබුණු උදව් නිසා “මට මගේ හිත හදාගන්න පුළුවන් වුණා. ඉස්සර තරම් දැන් මට වේදනාවක් දැනෙන්නේ නෑ” කියලා ඇය කියනවා.—හිතෝපදේශ 17:17 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

සිද්ධ වුණු දෙයින් පාඩමක් ඉගෙනගන්න. ‘මගෙන් වෙච්ච අඩුපාඩු මොනවද? ආයෙත් සම්බන්ධයක් පටන්ගත්තම ඒ අඩුපාඩු නොවෙන්න මං මොනවද කරන්න ඕන’ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. “වෙච්ච දේ ගැන හරියටම තේරුම්ගන්න කාලයක් යන්න ඕන. මොකද හැඟීම්වලට වහල් වෙන්නේ නැතුව කාරණා දිහා බලන්න පුළුවන් වෙන්නේ එතකොටයි” කියලා මාසියා කියනවා. කලින් සඳහන් කරපු ඇඩම්ටත් ඒ වගේම හැඟුණා. ඔහු කිව්වේ “මට දැනුණු දුකෙන් ගොඩ එන්න අවුරුද්දක් විතර ගියා. මගෙන් වුණු අඩුපාඩු ගැන තේරුම්ගන්න ඊට වඩා කාලයක් ගියා. මට මං ගැනත් ආදර සම්බන්ධයක් කියන්නේ කොච්චර බැරෑරුම් දෙයක්ද කියන එක ගැනත් තේරුම්ගන්න පුළුවන් වුණේ පස්සෙයි.”

හිතේ දුක දෙවියන්ට කියන්න. දෙවියන් ‘බිඳුණු සිත් ඇත්තන්ට සහනය දෙන්නේය. ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය’ කියලා බයිබලයේ කියනවා. (ගීතාවලිය 147:3) දෙන්නෙක් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති කරන්නේ දෙවියන් නෙමෙයි. ඒ නිසා සම්බන්ධය කැඩුණාමත් දෙවියන්ට දොස් කියන්න එපා. ඒත් දෙවියන් ඔයා ගැන සැලකිලිමත් වෙන නිසා ඔයාට දැනෙන දුක දෙවියන්ට කියන්න.—1 පේතෘස් 5:7 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

^ 4 ඡේ. නම් වෙනස් කර ඇත.