Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | යෞවනයන්ට

ඔයාටත් තනිකමක් දැනෙනවාද?

ඔයාටත් තනිකමක් දැනෙනවාද?

ප්‍රශ්නය

“මගේ යාළුවෝ දෙන්නා නිතරම එකට දේවල් කරනවා. ඒත් මාව හවුල් කරගන්නේ නෑ. සමහර වෙලාවට ඒ දෙන්නා එකතු වෙලා සතුටු වෙච්ච වෙලාවල් ගැන කියනවා මට ඇහිලා තියෙනවා. දවසක් මං එක යාළුවෙකුට කෝල් කළාම කෝල් එක ගත්තේ ගෙදර වෙන කෙනෙක්. එතකොට මට ඇහුණා මගේ යාළුවෝ දෙන්නා හයියෙන් හිනා වෙවී කතා කරකර ඉන්නවා. ඒ වෙලාවේ මට දැනුණේ ලොකු තනිකමක්.”—මරියා. *

ඔයාටත් කවදා හරි ඒ වගේ දැනිලා තියෙනවාද? එහෙමනම් බයිබලයේ දෙන මඟ පෙන්වීම් ඔයාට ප්‍රයෝජනවත් වෙයි. ඒත් අපි මුලින්ම තනිකම ගැන විස්තර ටිකක් බලමු.

දැනගන්න ඕන දේ

හැමෝටම තනිකම දැනෙන වෙලාවල් තියෙනවා. ප්‍රසිද්ධ අය වටේ දහස් ගණන්දෙනා රොක් වෙලා හිටියත් ඒ අයටත් තනිකමක් දැනෙනවා. මොකද කෙනෙක්ට තනිකමක් දැනෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ එයා වටේ කීදෙනෙක් ඉන්නවාද කියන එකෙන් නෙමෙයි. ඇත්තටම එයාට ආදරේ කරන යාළුවෝ කීදෙනෙක් ඉන්නවාද කියන එකෙනුයි.

සෞඛ්‍යයටත් හානිකරයි. සමාජ ආශ්‍රයක් නොකර මුලුගැන්වෙලා ඉන්න එක ජීවිතයට හානිකරයි කියලා පර්යේෂකයන් හොයාගෙන තියෙනවා. ඒක “දවසකට සිගරට් 15ක් බිව්වම වෙන හානිය වගේ” කියලත් “තරුබාරුකම නිසා ඇති වන හානිය වගේ දෙගුණයක්” හානිකරයි කියලත් පර්යේෂකයන් කියනවා.

වැරදි තේරීම්වලට මඟ පාදයි. තනිකමක් දැනුණාම හොඳ හෝ නරක ඕනම කෙනෙක්ව යාළුවෙක් කරගන්න සමහරවිට ඔයා පෙලඹෙයි. ඇලන් කියන යෞවනයා කිව්වේ මෙහෙමයි. “තනිකමක් දැනෙනකොට කාව හරි යාළුවෙක් කරගන්න හිතෙනවා. ඒ වගේ තීරණ නිසා පස්සේ කරදරේක වැටෙන්නත් ඉඩ තියෙනවා.”

මෙසේජ් යවන එක විසඳුමක් නෙමෙයි. “දවසකට යාළුවෝ 100කට විතර ඊ-මේල් යැව්වත් කෙටි පණිවිඩ යැව්වත් තනිකම නැති වෙන්නේ නෑ” කියලා නැටලි කිව්වා. “කෙටි පණිවිඩ යවනවා කියන්නේ හරියට බඩගින්නට පොඩි කඩචෝරුවක් කනවා වගේ දෙයක්. ඒත් කාව හරි හම්බ වෙලා කතා කරනවා කියන්නේ බඩ පිරෙන්න කෑම කනවා වගෙයි” කියලා යෞවනයෙක් වන ටයිලර් කිව්වා.

මොනවද කරන්න පුළුවන්?

හොඳ පැත්ත ගැන හිතන්න. යාළුවෝ ටිකක් එකතු වෙලා දාපු පාටියක පින්තූර ඔයා දැක්කා කියලා හිතන්න. ඒත් ඔයාට ඒ පාටියට එන්න කියලා නැහැ. ඒ වෙලාවට ‘උවමනාවෙන්මයි ඒගොල්ලො මාව අයින් කළේ’ කියලා ඔයාට හිතෙයි. ඒත් ඔයා ඒ පාටිය ගැන හැම තොරතුරක්ම දන්නේ නැති නිසා වැරදියට හිතන්න ඉක්මන් වෙන්න එපා. ඒ වෙනුවට ඒකට නොගිය එකෙන් ඔයාට වුණු යහපත ගැන හිතන්න. එතකොට තනිකමේ හැඟීම් ජය ගන්න ඔයාට පුළුවන්.—හිතෝපදේශ 15:15 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

තනිකම ඇති කරන සිතුවිලි අයින් කරන්න. ‘විනෝද වෙද්දී මට කවුරුත් එන්න කියන්නේ නෑ,’ ‘මට කවුරුත් කැමති නෑ’ වගේ දේවල් සමහර වෙලාවට තනියම ඉද්දී ඔයාට හිතෙන්න පුළුවන්. ඒ වගේ සිතුවිලිවලින් ඔයාට වෙන්නේ හානියක්. මොකද ඔයාව අනිත් අය කොන් කරලා කියලා හිතුවොත් ඔයා අනිත් අයගෙන් ඈත් වෙනවා. එහෙම ඈත් වුණාම වෙන්නේ ඔයා තවත් තනි වෙන එකයි.හිතෝපදේශ 18:1 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

වයසින් වැඩි අයවත් මිතුරන් කරගන්න. බයිබලයේ සඳහන් වෙන දාවිත් කියන කෙනාට වඩා යොනාතාන් කියන කෙනා අවුරුදු 30ක් විතර වැඩිමල්. ඒත් ඒ දෙන්නා අතර තිබුණේ කිට්ටු මිත්‍රත්වයක්. (1 සාමුවෙල් 18:1) ඔයාටත් ඒ වගේ යාළුවන් ඇති කරගන්න පුළුවන්. අවුරුදු 21ක් වයස කියාරා කියන දේ බලන්න. “මට වඩා ගොඩක් වයසින් වැඩි යාළුවෝ මට ඉන්නවා. ඒ අය හිතන විදිහ වෙනස්. මම ඒ අයගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා. වයසින් වැඩි යාළුවෝ ඉන්න එක කොච්චර හොඳද කියලා දැන් මට තේරෙනවා.”යෝබ් 12:12 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

තනිකමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න. සමහර අයට ටික වෙලාවකට හරි තනියම ඉන්න වුණොත් ලොකු පාළුවක් තනිකමක් දැනෙනවා. ඒත් යේසුස් ගැන හිතන්න. ඔහු අනිත් අය එක්ක කාලය ගත කරන්න කැමති වුණා වගේම තනියම ඉන්නත් කාලය හොයාගත්තා. (මතෙව් 14:23; මාක් 1:35) ඒ නිසා ඔයත් තනියම ඉද්දී ඒක දුකක් කියලා හිතනවා වෙනුවට ප්‍රයෝජනවත් දේකට මනස යොදන්න. ඔයාට ලැබිලා තියෙන දේවල් හා ආශීර්වාද ගැන හිතන්න. එතකොට තනි වුණත් තනිකමක් දැනෙන්නේ නැහැ. ඔයා එහෙම කරනවා නම් ඔයාව යාළුවෙක් කරගන්න අනිත් අයත් කැමති වෙයි.—හිතෝපදේශ 13:20.

^ 4 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.