මතෙව් 6:1-34

6  “මෙය මතක තබාගන්න. ඔබ යම් ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරනවා නම්+ එය කළ යුත්තේ මිනිසුන්ට පෙන්වීමේ අදහසින් නොවෙයි. මන්ද ඔබ එසේ කළොත් ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගෙන් කිසි ත්‍යාගයක් ඔබට ලැබෙන්නේ නැහැ.  ඔබ දිලිඳුන්ට යම් යහපතක් කරන විට+ ඔබට ඉදිරියෙන් හොරණෑවක් පිඹිමින් එය ප්‍රසිද්ධ නොකරන්න.+ කුහක පුද්ගලයන් මිනිසුන්ගෙන් ගෞරවය ලැබීම සඳහා සිනගෝගවලදීත් වීථිවලදීත් එසේ කරනවා. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔවුන්ට මිනිසුන්ගේ ගෞරවය ලැබුණත් ඊට වඩා වැඩි යමක් නම් ඔවුන්ට නොලැබෙන බවයි.*  එහෙයින් ඔබ දිලිඳුන්ට යම් යහපතක් කරන විට ඔබේ දකුණත කරන දේ වමතට දැනගන්න ඉඩ නොදෙන්න.  ඔබ දිලිඳුන්ට කරන ඒ යහපත් දෙය අනුන්ට නොපෙනෙන සේ කරන්න. එවිට ස්වර්ගයේ සිට බලා සිටින ඔබේ පියාණන් ඔබට ආශීර්වාද කරයි.+  “ඔබ යාච්ඤා කරද්දී, කුහකයන් මෙන් කටයුතු කරන්න එපා. මන්ද ඔවුන් කැමති වන්නේ සිනගෝගවලදීත් ප්‍රධාන මංසන්ධිවලදීත් සිටගෙන යාච්ඤා කිරීමටයි.+ ඔවුන්ගේ අරමුණ වන්නේ මිනිසුන්ට පෙනෙන්න+ ඒ දේවල් කිරීමයි. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔවුන්ට මිනිසුන්ගේ ගෞරවය ලැබුණත් වෙන කිසි දෙයක් නම් නොලැබෙන බවයි.  ඔබ යාච්ඤා කරන විට ඔබේම කාමරයට ගොස්+ දොර වසාගෙන ස්වර්ගයේ සිට බලා සිටින ඔබේ පියාණන්ට යාච්ඤා කරන්න.+ එවිට ස්වර්ගයේ සිට බලා සිටින ඔබේ පියාණන් ඔබට ආශීර්වාද කරයි.  නමුත් ඔබ යාච්ඤා කරන විට වෙනත් ජාතීන් කරන ආකාරයට එකම දේ නැවත නැවතත් නොකියන්න.+ ඔවුන් සිතන්නේ වචන රාශියක් පැවසුවොත් දෙවි ඔවුන්ට සවන් දෙයි කියායි.  නමුත් ඔබ, ඔවුන්ට සමාන නොවන්න. මන්ද ඔබේ පියාණන් වන දෙවිගෙන් ඔබ ඉල්ලන්නත් කලින් ඔබට අවශ්‍ය කුමක්ද කියා ඔහු දන්නවා.+  “එමනිසා ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි.+ “‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය+ සැමදා ශුද්ධව පවතීවා!*+ 10  ඔබගේ රාජ්‍යය+ පැමිණේවා! ඔබගේ කැමැත්ත+ ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද+ සිදු වේවා! 11  දිනපතා අපට අවශ්‍ය ආහාර*+ අපට ලබා දෙන්න. 12  අපට වැරදි කළ අයට* අප සමාව දී තිබෙන ආකාරයටම+ අපේ වැරදිවලටද* අපට සමාව දෙන්න. 13  වරදට පෙලඹීමට ඉඩ නොදී+ දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.’+ 14  “ඔබ අනිත් අයගේ වැරදිවලට සමාව දෙනවා නම් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබටත් සමාව දෙයි.+ 15  නමුත් ඔබ ඔවුන්ගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම් ඔබේ පියාණන් ඔබේ වැරදිවලටත් සමාව දෙන්නේ නැහැ.+ 16  “ඔබ නිරාහාරව සිටින විට+ කුහකයන් මෙන් දුක්මුසු මුහුණක් ඇතුව තවදුරටත් නොසිටින්න. මන්ද ඔවුන් දුක්මුසු මුහුණක් මවාපාමින් සිටින්නේ තමන් නිරාහාරව සිටින බව මිනිසුන්ට පෙන්වන්නයි.+ ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔවුන්ට මිනිසුන්ගේ ගෞරවය ලැබුණත් ඊට වඩා වැඩි යමක් නම් ඔවුන්ට නොලැබෙන බවයි.* 17  නමුත් ඔබ නිරාහාරව සිටින විට ඔබේ හිසේ තෙල් ආලේප කර මුහුණ සෝදාගෙන+ නිරාහාරව සිටින්න. 18  එසේ කරද්දී ඔබ නිරාහාරව සිටින බව පෙන්වන්නේ මිනිසුන්ට නොව ස්වර්ගයේ සිට බලා සිටින ඔබේ පියාණන්ටයි.+ එවිට ස්වර්ගයේ සිට බලා සිටින ඔබේ පියාණන් ඔබට ආශීර්වාද කරයි. 19  “තවදුරටත් මෙලොවෙහි වස්තු රැස් කර නොගන්න.+ මන්ද කාවෝ සහ මලකඩ නිසා ඒවා නාස්ති වී යයි. සොරුන් ඇවිත් ඒවා සොරාගනියි. 20  ඒ වෙනුවට ස්වර්ගයෙහි වස්තු රැස් කරගන්න.+ එහිදී කාවන්ටවත් මලකඩවලටවත් ඒවා නාස්ති කරන්න බැහැ.+ සොරුන්ටවත් ඇවිත් ඒවා සොරා ගන්න බැහැ. 21  ඔබේ වස්තුව කොතැනද ඔබේ සිතත් ඇත්තේ එතැනමයි. 22  “ඇස ශරීරයට පහනක් හා සමානයි.+ එමනිසා ඔබේ ඇස වෙනතකට යොමු නොකර එකම දෙයක් කෙරෙහි යොමු කර* තැබුවොත් එයින් ඔබේ මුළු ජීවිතයම ආලෝකවත් වෙයි. 23  නමුත් ඔබේ ඇස වෙනතකට ගොස් දුෂ්ට දේවලට යොමු වෙයි* නම්+ ඔබේ මුළු ජීවිතයම අඳුරු වෙයි. ඔබව ආලෝකවත් කළ යුතු ඇස ඔබේ ජීවිතය අඳුරු කරයි නම් එය කොතරම් භයානක දෙයක්ද!+ 24  “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න+ පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි. එසේම දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.+ 25  “ඒ නිසා මා ඔබට කියන්නේ මෙයයි. කන්නේ බොන්නේ මොනවාද කියා සිතමින් ඔබේ ජීවිත ගැනවත් අඳින්නේ මොනවාද කියා සිතමින්+ ඔබේ ශරීර ගැනවත් තවදුරටත් කනස්සලු නොවන්න.+ කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වැදගත් වන්නේ නැද්ද?+ 26  අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න.+ උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැහැ. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන්ව පෝෂණය කරනවා. ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද?+ 27  කනස්සලු වුණා කියා තම ආයු කාලය දවසකින්වත්* දික් කරගන්න ඔබ අතරෙන් කාටවත් පුළුවන්ද?+ 28  ඔබ ඇඳුම් ගැන කනස්සලු වන්නේ කුමකටද? තණබිම්වල ලිලී මල් වැවෙන ආකාරයෙන් පාඩමක් ඉගෙනගන්න.+ ඒවා මහන්සි වී වැඩ කරන්නේවත් තමන්ට ඇඳුම් සාදාගන්නේවත් නැහැ. 29  නමුත් මා ඔබට කියන්නේ, මේ මල්වල තිබෙන අලංකාරය සලමොන්+ තම රාජකීය තේජසින් යුතුව පැළඳ සිටි ඇඳුම්වලවත් නොතිබුණු බවයි. 30  අද තිබී හෙට දවා දමන තණබිමේ පැළෑටි දෙවි එසේ සරසනවා නම් ඔහු කෙරෙහි යම් විශ්වාසයක් ඇති ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු වන්නේ නැද්ද?+ 31  එමනිසා ‘කන්නේ බොන්නේ මොනවාද’ කියාවත් ‘අඳින්නේ මොනවාද’ කියාවත් සිතමින් කිසිවිටක කනස්සලු නොවන්න.+ 32  ජනයා මහත් උනන්දුවකින් හඹා යන්නේ ඒ දේවල් පසුපසයි. නමුත් ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නා බව මතක තබාගන්න.+ 33  “එහෙයින් නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත්+ මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.+ 34  හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න.+ මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න.

පාදසටහන්

මූ.අ., “ඔවුන්ගේ ත්‍යාගය ඔවුන්ට සම්පූර්ණයෙන්ම ලැබී තිබෙන බවයි.”
හෝ, “ඔබේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කරනු ලැබේවා!”
මූ.අ., “රොටි.”
හෝ, “අපේ ණයකාරයන්ට.”
හෝ, “ණයවලටද.”
මතෙ 6:2හි පාදසටහන බලන්න.
මූ.අ., “ඔබේ ඇස සරලව.”
මූ.අ., “ඔබේ ඇස දුෂ්ට.”
මූ.අ., “රියනකින්වත්.”