Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ මොනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ මොනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපි උත්සාහ කරන්නේ යේසුස් ඉගැන්නුව ඔහුගේ නියෝජිතයන් පිළිපැද්ද දේවලට ඇලිලා ඉන්නයි. අපි විශ්වාස කරන ප්‍රධාන දේවල් ගැන මේ ලිපියේ කෙටියෙන් විස්තර කරනවා.

  1.   දෙවියන්. අපි නමස්කාර කරන්නේ සියලු බලැති එකම සැබෑ දෙවියන්ටයි. සියල්ලේ නිර්මාතෘ වන ඔහුගේ නම යෙහෝවා. (ගීතාවලිය 83:18; එළිදරව් 4:11) ඔහු ආබ්‍රහම්ගේ, මෝසෙස්ගේ සහ යේසුස්ගේ දෙවියන්.—නික්මයාම 3:6; 32:11; යොහන් 20:17.

  2.   බයිබලය. බයිබලය දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලැබුණා කියලා අපි පිළිගන්නවා. (යොහන් 17:17; 2 තිමෝති 3:16) අපේ විශ්වාසයන් ගොඩනැඟිලා තියෙන්නේ “පරණ ගිවිසුම” සහ “අලුත් ගිවිසුම” ඇතුළත් බයිබලයේ පොත් 66යේම තියෙන දේවල් මතයි. ඒ ගැන ආගම් පිළිබඳව අධ්‍යයනය කරන මහාචාර්යවරයෙක් වන ජේසන් ඩී. බිඩූන් මේ විදිහට ලිව්වා. ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තම විශ්වාසයන් සහ වත්පිළිවෙත් පදනම් කරගෙන තිබෙන්නේ සම්පූර්ණයෙන්ම බයිබලයේ තිබෙන අදහස් මතයි.’ a

     මුළු බයිබලයම පිළිගත්තත් අපි මූලධර්මවාදීන් නම් නෙමෙයි. බයිබලයේ සමහර දේවල් ලියලා තියෙන්නේ සංකේත භාෂාවෙන් නිසා අපි වචනානුසාරයෙන්ම ඒවා තේරුම්ගන්නේ නැහැ.—එළිදරව් 1:1.

  3.   යේසුස්. අපි යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් සහ ඔහුගේ ආදර්ශය අනුගමනය කරනවා. ඒ වගේම අපේ ගැලවුම්කරු හැටියටත් දෙවියන්ගේ පුත්‍රයා හැටියටත් අපි ඔහුට ගෞරව කරනවා. (මතෙව් 20:28; ක්‍රියා 5:31) ඒ නිසා අපි ක්‍රිස්තියානීන්. (ක්‍රියා 11:26) ඒත් යේසුස් සියලු බලැති දෙවියන් නෙමෙයි කියන එක අපි බයිබලයෙන් ඉගෙනගෙන තියෙනවා. ඒ හින්දා ත්‍රිත්වය කියන ඉගැන්වීමට බයිබලයේ කිසිම පදනමක් නැහැ.—යොහන් 14:28.

  4.   දේවරාජ්‍යය. දේවරාජ්‍යය ක්‍රිස්තියානීන්ගේ හිතේ තියෙන දෙයක් නෙමෙයි ස්වර්ගයේ තියෙන සැබෑ ආණ්ඩුවක්. මිනිස් ආණ්ඩු නැති කරලා පොළොව සඳහා දෙවියන්ගේ අරමුණ ඉටු කරන්නේ ඒ ආණ්ඩුවෙන්. (දානියෙල් 2:44; මතෙව් 6:9, 10) ඒ දේ ළඟදිම වෙනවා. මොකද බයිබලයේ අනාවැකිවලින් පෙන්වනවා අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” කියලා.—2 තිමෝති 3:1-5; මතෙව් 24:3-14.

     ස්වර්ගයේ තියෙන දේවරාජ්‍යයේ රජ යේසුස්. ඔහු පාලනය පටන්ගත්තේ 1914දී.—එළිදරව් 11:15.

  5.   ගැලවීම. යේසුස්ගේ ජීවිත පූජාව නිසා පාපයෙන් සහ මරණයෙන් නිදහස් වෙන්න පුළුවන්. (මතෙව් 20:28; ක්‍රියා 4:12) ඒ පූජාවෙන් ප්‍රයෝජන ගන්න කැමති අය යේසුස්ව විශ්වාස කරලා විතරක් මදි තමන්ගේ ජීවිත වෙනස් කරගෙන බව්තීස්ම වෙන්නත් ඕනේ. (මතෙව් 28:19, 20; යොහන් 3:16; ක්‍රියා 3:19, 20) කෙනෙක් ඇත්තටම යේසුස්ව විශ්වාස කරනවාද කියලා ඔප්පු වෙන්නේ ඔහුගේ ක්‍රියාවලින්. (යාකොබ් 2:24, 26) කොහොමවුණත් ගැලවීම අපේ හැකියාවෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ලැබෙන්නේ ‘දෙවි පෙන්වා ඇති මහත් කරුණාව’ නිසයි.—ගලාති 2:16, 21.

  6.   ස්වර්ගය. නොපෙනෙන පුද්ගලයන් හැටියට යෙහෝවා දෙවියන්, යේසුස් ක්‍රිස්තුස් සහ විශ්වාසවන්ත දේවදූතයන් ඉන්නේ ස්වර්ගයේ. b (ගීතාවලිය 103:19-21; ක්‍රියා 7:55) නැවත නැඟිටුවන අයගෙන් 1,44,000ක කුඩා සංඛ්‍යාවක් යේසුස් එක්ක දේවරාජ්‍යයේ පාලනය කරන්න හවුල් වෙනවා.—දානියෙල් 7:27; 2 තිමෝති 2:12; එළිදරව් 5:9, 10; 14:1, 3.

  7.   පොළොව. දෙවියන් පොළොව නිර්මාණය කෙරුවේ ඒක මිනිසුන්ගේ සදාකාලික නිවහන විදිහටයි. (ගීතාවලිය 104:5; 115:16; දේශනාකාරයා 1:4) තමන්ට කීකරු වෙන මිනිසුන්ට දෙවියන් පරිපූර්ණ සෞඛ්‍යයක් සහ පාරාදීස පොළොවක සදාකාල ජීවනය ලබා දෙනවා.—ගීතාවලිය 37:11, 34.

  8.   නපුර සහ දුක් වේදනා. මේ ලෝකේ නපුර සහ දුක් වේදනා ඇති වෙන්න පටන්ගත්තේ දේවදූතයෙක් කැරලිගැහුව අවස්ථාවෙදියි. (යොහන් 8:44) කැරලිගැහුවාට පස්සේ ඒ දේවදූතයාව හැඳින්නුවේ “සාතන්” නැත්නම් “යක්ෂයා” කියලයි. ඔහු මුල් මිනිස් යුවළව ඔහුගේ කැරැල්ලට පොලඹවගත්තා. ඒ නිසා ඔවුන්ගෙන් පැවතෙන අයටත් නරක ප්‍රතිඵල අත්විඳින්න සිද්ධ වුණා. (උත්පත්ති 3:1-6; රෝම 5:12) සාතන් නැඟුව ප්‍රශ්නවලට විසඳුමක් ගේන්න අවශ්‍ය නිසා නපුර සහ දුක් වේදනාවලට දෙවියන් ඉඩහැරියත් ඒවා සදහටම පවතින්න ඉඩහරින්නේ නැහැ.

  9.   මරණය. මිනිසුන්ගේ පැවැත්ම මරණයෙන් අවසන් වෙනවා. (ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5, 10) ඔවුන් පාතාලයේ නැත්නම් නිරයේ වධ විඳින්නේ නැහැ.

     මැරුණ බිලියන ගණන් දෙනාව දෙවියන් නැවත නැඟිටුවලා ඔවුන්ට ආයෙත් ජීවිතය දෙනවා. (ක්‍රියා 24:15) ඒත් නැවත නැඟිටින අය දෙවියන්ගේ මාර්ග ඉගෙනගන්න අකමැති වුණොත් ඔවුන්ව සදහටම විනාශ කරනවා.—එළිදරව් 20:14, 15.

  10.   පවුල් ජීවිතය. පුරුෂයෙක් එක ස්ත්‍රියක් එක්ක පමණක් විවාහ විය යුතුයි කියන දෙවියන්ගේ මුල් ප්‍රමිතියට අපි ඇලිලා ඉන්නවා. දික්කසාද වෙන්න එකම පදනම විදිහට බයිබලයේ සඳහන් වෙන්නේ වේශ්‍යාකම විතරයි. (මතෙව් 19:4-9) බයිබලයේ තියෙන ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් පවුල් ජීවිතය සාර්ථක කරගන්න උදව් වෙනවා කියලා අපිට ස්ථිරයි.—එෆීස 5:22–6:1.

  11.   අපේ නමස්කාරය. අපි කුරුසයටවත් වෙනත් කිසිම රූපයකටවත් වඳින්නේ නැහැ. (ද්විතීය කතාව 4:15-19; 1 යොහන් 5:21) අපේ නමස්කාරයට ඇතුළත් ප්‍රධාන දේවල් කීපයක් බලන්න.

  12.   අපේ සංවිධානය. අපි සභාවන් හැටියට සංවිධානය වෙලා ඉන්නවා. හැම සභාවකම වැඩකටයුතු බලාගන්න වැඩිමහල් මණ්ඩලයක් ඉන්නවා. ඒත් වැඩිමහල්ලන් පූජකයන් නෙමෙයි. ඒ අයට ගෙවීමක් කරන්නෙත් නැහැ. (මතෙව් 10:8; 23:8) අපි දසයෙන් කොටස ගන්නෙවත් රැස්වීම්වලදී සල්ලි එකතු කරන්නෙවත් නැහැ. (2 කොරින්ති 9:7) අපේ වැඩකටයුතු සිද්ධ වෙන්නේ ස්වේච්ඡාවෙන් දෙන සම්මාදම්වලින්.

     අපේ ලෝක මූලස්ථානයේ සේවය කරන අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන් කුඩා කණ්ඩායමකින් සමන්විත පාලක මණ්ඩලය ලෝකේ පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙනවා.—මතෙව් 24:45.

  13.   අපේ එක්සත්කම. ලෝකේ කොහේ හිටියත් අපිට තියෙන්නේ එකම විශ්වාසයන්. (1 කොරින්ති 1:10) සමාජීය, වාර්ගික, ගෝත්‍රික හා පන්ති භේද නැතුව ඉන්න අපි උත්සාහ කරනවා. (ක්‍රියා 10:34, 35; යාකොබ් 2:4) හැම ක්‍රිස්තියානියෙක්ම තීරණ ගන්නේ බයිබලයට අනුව පුහුණු කරපු තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව නිසා අපි පෞද්ගලික තේරීම්වලට ඉඩහරිනවා.—රෝම 14:1-4; හෙබ්‍රෙව් 5:14.

  14.   අපේ හැසිරීම. අපේ හැම ක්‍රියාවකින්ම අපි උත්සාහ කරන්නේ පරාර්ථකාමී ප්‍රේමයක් පෙන්වන්නයි. (යොහන් 13:34, 35) රුධිරය ශරීරගත කිරීම වගේ දෙවියන්ව අසතුටු කරන දේවලින් අපි වළකිනවා. (ක්‍රියා 15:28, 29; ගලාති 5:19-21) සාමයට ළැදි අපි යුද්ධවලට හවුල් වෙන්නේ නැහැ. (මතෙව් 5:9; යෙසායා 2:4) අපි ජීවත් වෙන රටේ රජයට ගරු කරනවා වගේම දෙවිගේ ප්‍රමිති නොකැඩෙන තාක් කල් රටේ නීතියට කීකරු වෙනවා.—මතෙව් 22:21; ක්‍රියා 5:29.

  15.   අනිත් අය එක්ක තියෙන අපේ බැඳීම්. “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියලා යේසුස් අණ කෙරුවා. ඒ වගේම ක්‍රිස්තියානීන් “මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා” කියලත් ඔහු කිව්වා. (මතෙව් 22:39; යොහන් 17:16) ඒ නිසා අපි උත්සාහ කරන්නේ ‘සියලුදෙනාටම යහපත් දේවල් කරන්නයි.’ හැබැයි අපි දේශපාලන කටයුතුවලට හවුල් වෙන්නේ නැහැ. වෙනත් ආගම්වලට සම්බන්ධ වෙන එකෙනුත් වළකිනවා. (ගලාති 6:10; 2 කොරින්ති 6:14) ඒත් ඒ වගේ කාරණාවලදීඅනිත් අය කරන තේරීම්වලට අපි අකුල් හෙළන්නේ නැහැ.—රෝම 14:12.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන තවත් ප්‍රශ්න මතු වෙනවා නම් අපේ වෙබ් අඩවියෙන් වැඩි විස්තර කියවලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කාර්යාලයකට අමතලා හරි අපේ නමස්කාර මධ්‍යස්ථානයකට ඇවිත් හරි ප්‍රදේශයේ ඉන්න සාක්ෂිකරුවෙක් එක්ක කතා කරලා හරි දැනගන්න පුළුවන්.

a Truth in Translation 165වෙනි පිටුව බලන්න.

b ස්වර්ගයෙන් පිටමං කෙරුවත් දුෂ්ට දූතයන් තවමත් නොපෙනෙන පුද්ගලයන් හැටියට ඉන්නවා.—එළිදරව් 12:7-9.