Skip to content

රූපවලට හෝ සුරුවම්වලට වඳින එක හරිද?

රූපවලට හෝ සුරුවම්වලට වඳින එක හරිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඒක වැරදියි. ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් දීපු නීති ගැන කතෝලික විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “බයිබලයේ සඳහන් විවිධ සිද්ධීන්වලින් පැහැදිලි වෙන්නේ සැබෑ දෙවියන්ට නමස්කාර කරපු අය කවදාවත් රූප භාවිත කළේ නැහැ කියලයි.” (New Catholic Encyclopedia) මේ බයිබල් පද සැලකිල්ලට ගන්න.

  •   “රූප සාදා නොගන්න. අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයකට සමාන රූප සාදා නොගන්න. ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න. මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.” (නික්මයාම 20:4, 5) දෙවි පියාණන් ‘වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින’ නිසා සංකේත, රූප, සුරුවම්, පින්තූර වගේ දේවල් යොදාගෙන ඔහුට නමස්කාර කරනවාට ඔහු කොහෙත්ම කැමති නැහැ.

  •   “මට ලැබිය යුතු ප්‍රශංසාව දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි.” (යෙසායා 42:8) රූප මාර්ගයෙන් තමාට නමස්කාර කරනවාට දෙවි පියාණන් කොහෙත්ම කැමති නැහැ. අතීතයේ හිටිය සමහර ඊශ්‍රායෙල්වරු වස්සෙකුගේ රූපයක් හදලා ඒ මාර්ගයෙන් දෙවි පියාණන්ට නමස්කාර කළාම “සෙනඟ හැසිරෙන්නේ ඉතාමත් දුෂ්ට ලෙසයි” කියලා දෙවියන් කිව්වා.—නික්මයාම 32:7-9.

  •   “රන්, රිදී හෝ ගල් යොදා මිනිසුන් විසින් සාදා ඇති රූපයකට දෙවිව සමාන කිරීම සුදුසු දෙයක් වන්නේ නැහැ.” (ක්‍රියා 17:29) වෙනත් දෙවිවරුන් අදහන අය පුරුදු වෙලා ඉන්නේ යම් දෙයක් දිහා බලාගෙන නමස්කාර කරන්නයි. ඒ නිසා ඒ අය ‘මිනිසුන් හදපු රූපයක්’ පාවිච්චි කරනවා. ඒත් බයිබලයේ ක්‍රිස්තියානීන්ට කියලා තියෙන්නේ ‘දකින දෙයින් නොව විශ්වාසයක් ඇතුව ගමන් කරන්න’ කියලයි.—2 කොරින්ති 5:7.

  •   “දේවතා රූපවලින් වැළකී සිටින්න.” (1 යොහන් 5:21) අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට හා මුල් ක්‍රිස්තියානීන්ට දෙවියන් දීපු නීති බයිබලයෙන් සලකා බලද්දී පැහැදිලිවම පේන්නේ දෙවියන්ට නමස්කාර කරන්න රූප පාවිච්චි කළාට වරදක් නැහැ කියන ඉගැන්වීම අමූලික බොරුවක් කියලයි.