ක්‍රියා 7:1-60

7  එවිට උත්තම පූජකයා, “මේ කියන දේවල් ඇත්තද” කියා ඇසුවේය.  ස්තේපන් මෙසේ කීවේය. “සහෝදරයෙනි, පියවරුනි, මට සවන් දෙන්න. අපේ මුතුන්මිත්තා වූ ආබ්‍රහම් හාරාන් නුවරෙහි පදිංචි වීමට කලින්+ මෙසපොතේමියාවේ සිටි කාලයේදී අපගේ තේජවත් දෙවි+ ඔහුට දර්ශනය වී,  ‘ඔබේ දේශයෙන් පිට වී යන්න. ඔබේ නෑදෑයන්ව අත්හැර මා ඔබට පෙන්වන දේශයට යන්න’+ කියා පැවසුවා.  එවිට ඔහු කල්දිවරුන්ගේ දේශයෙන් පිට වී හාරාන්හි පදිංචියට ගියා. ඔහුගේ පියා මිය ගිය පසු+ එතැනින්ද ඔහුගේ පදිංචිය මාරු කර, අප සියලුදෙනාම දැන් ජීවත් වන මේ දේශයට පැමිණෙන්න කියා දෙවි ඔහුට මඟ පෙන්නුවා.+  ඒ අවස්ථාවේදී දෙවි මේ දේශයේ බිම් අඟලක්වත්+ ඔහුට දුන්නේ නැහැ. නමුත් ඒ වන විට දරුවෙකු නොසිටි ඔහුට,+ දෙවි පොරොන්දු වුණේ ඔහුටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත්+ මෙම දේශය උරුමයක් ලෙස පසුව දෙන බවයි.+  ඒ වගේම ඔහුගෙන් පැවතෙන්නන් වෙනත් රටක+ විදේශිකයන් වන බවත්+ එහි ජනයා ඔවුන්ව වහලුන් ලෙස තබාගෙන අවුරුදු හාරසියයක් පුරා ඔවුන්ට හිරිහැර කරන බවත්+ දෙවි පැවසුවා.  ‘ඔවුන්ව වහල් කරගෙන සිටින ඒ ජාතියට මම දඬුවම් කරනවා’+ කියාත්, ‘ඒ දේවල් සිදු වූ පසු ඔවුන් ඒ දේශයෙන් නිදහස් වී මේ දේශයේදී මට නමස්කාර කරනවා’+ කියාත් දෙවි පැවසුවා.  “ඒ වගේම දෙවි චර්මච්ඡේදනය වීමේ පිළිවෙත ඇතුළත් ගිවිසුමක්+ ආබ්‍රහම් සමඟ ඇති කරගත්තා. ඔහුගේ පුත් ඊසාක් ඉපදුණේ ඉන්පසුවයි.+ ඒ අනුව ඔහුව අටවන දවසේදී චර්මච්ඡේදනය කළා.+ ඊසාක්ගේ පුතා යාකොබ්. ඒ වගේම යාකොබ්ට පුතුන් දොළොස්දෙනෙක් හිටියා. අපේ ගෝත්‍ර දොළහේ ප්‍රධානීන් වුණේ ඔවුනුයි.+  මේ අතර අපේ ගෝත්‍රවල ප්‍රධානීන් යෝසෙප්ට ඊර්ෂ්‍යා කළ නිසා+ ඔවුන් ඔහුව ඊජිප්තුවේ වැසියන්ට විකුණුවා.+ නමුත් දෙවිගේ ආශීර්වාදය ඔහුට නිතරම ලැබුණා.+ 10  දෙවි සියලු පීඩාවලින් ඔහුව ගැලවූ අතර ඔහුට ප්‍රඥාව ලබා දී ඊජිප්තුවේ රජු වූ පාරාවෝගේ ප්‍රසාදය දිනාගන්නත් අවස්ථාව උදා කළා. පාරාවෝ ඊජිප්තුව හා තම ගෙයි වැසියන් සියලුදෙනාවම පාලනය කිරීමට පත් කළේ ඔහුවයි.+ 11  ඒ කාලයේදී මුළු ඊජිප්තුවේත් කානාන් දේශය පුරාත් සාගතයක් ඇති වුණා. ඒ සාගතය ඉතා දරුණු එකක් වූ නිසා අපේ මුතුන්මිත්තනුත් කෑම සොයාගැනීමට නොහැකිව පීඩා වින්දා.+ 12  නමුත් ඊජිප්තුවේ ආහාර තිබෙන බව යාකොබ්ට ආරංචි වී+ ඔහු මුල්ම වතාවට අපේ මුතුන්මිත්තන්ව ඒ දේශයට යැව්වා.+ 13  ඔවුන් දෙවෙනි වතාවට ඊජිප්තුවට පැමිණි අවස්ථාවේදී යෝසෙප් තම සහෝදරයන්ට තමා කවුද කියා හෙළි කළා.+ පාරාවෝ යෝසෙප්ගේ පවුලේ තොරතුරු දැනගත්තේ එවිටයි.+ 14  පසුව යෝසෙප් මිනිසුන්ව යවා තම පියා වූ යාකොබ්වත් ඔහුගේ සියලු නෑදෑයන්වත් කානාන් දේශයෙන් ගෙන්වාගත්තා.+ ඒ අනුව හැත්තෑපස්දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊජිප්තුවට ගියා.+ 15  යාකොබ් ඉන්පසුව පදිංචි වුණේ ඊජිප්තුවෙයි.+ ඔහු මිය ගියේ එම දේශයේදීයි.+ අපේ මුතුන්මිත්තනුත් එම දේශයෙහි මිය ගියා.+ 16  නමුත් ඔවුන් සියලුදෙනාවම තැන්පත් කළේ ෂීකෙම් නුවරෙහියි.+ ඔවුන්ව තැන්පත් කළේ ෂීකෙම් නුවරෙහි ජීවත් වූ හාමෝර්ගේ පුත්‍රයන්ගෙන් ආබ්‍රහම් රිදී කාසිවලට මිල දී ගත්+ සොහොන් ගෙය තුළයි.+ 17  “කාලයක් ගත වූ පසු දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු වීමේ කාලය ළඟා වුණා. ඒ වන විට ඊජිප්තුවේ සිටි ඊශ්‍රායෙල් ජනයා බොහෝ සෙයින් වර්ධනය වී තිබුණා.+ 18  ඒ කාලයේදී ඊජිප්තුව පාලනය කළේ යෝසෙප් ගැන නොදන්නා වෙනත් රජෙක්.+ 19  ඒ රජ කපටි ලෙස තම බලය යොදාගෙන අපේ ජාතියට දුෂ්ටකම් කළා.+ ඔහු අපේ පියවරුන්ට බල කළේ තම දරුවන් ඉපදුණු මොහොතේම ඔවුන්ව අත්හැර දමන්න කියායි. ඔහුගේ අදහස වුණේ ඔවුන්ව නැති කර දමන්නයි.+ 20  මෝසෙස් ඉපදුණේ ඒ කාලයේදීයි.+ ඔහු දෙවිට ඉතා පියකරු දරුවෙක්.+ ඔහුට කිරි දී මාස තුනක් පුරා ඔහුව රැකබලා ගත්තේ ඔහුගේ පියාගේ නිවසේ තබාගෙනයි. 21  නමුත් දරුවාව තවදුරටත් සඟවා තබාගැනීමට බැරි බව තේරුම්ගත් ඔවුන්ට ඔහුව අත්හැර දමා යන්න සිදු වුණා. පසුව පාරාවෝගේ දුව ඔහුව රැගෙන ඔහුව ඇතිදැඩි කළේ ඇගේම පුතෙක් ලෙසයි.+ 22  ඒ නිසා ඊජිප්තුවරුන් ලැබූ දැනුම් සම්භාරය ලබාගන්න මෝසෙස්ටත් හැකි වුණා.+ ඔහු දැනුමෙන් හා ක්‍රියාවෙන් ඉතා දක්ෂ කෙනෙක්.+ 23  “ඔහුට අවුරුදු හතළිහ සම්පූර්ණ වෙද්දී තම සහෝදරයන් වන ඊශ්‍රායෙල්වරුන් ගැන සොයා බලන්න හිතුණා.+ 24  ඊජිප්තු ජාතිකයෙක් තම ජාතියට අයත් කෙනෙකුට අයුතු ලෙස සලකද්දී ඔහු ඊජිප්තු ජාතිකයාට පහර දී පීඩා වින්ද තැනැත්තා වෙනුවෙන් සාධාරණය ඉටු කළා.+ 25  දෙවි තමන්ව යොදාගෙන තම සහෝදරයන්ට ගැලවීම සලසා දෙන බව ඔවුන් අවබෝධ කරගනියි කියා ඔහු සිතුවත්+ ඒ දේ ඔවුන් අවබෝධ කරගත්තේ නැහැ. 26  පසුවදා ඔවුන් අතරේ ආරවුලක් සිදු වෙද්දී ඔහු ඔවුන් ළඟට ගොස් ඔවුන්ව සමාදාන කරන්න උත්සාහ කරමින්,+ ‘ඔබ දෙදෙනා සහෝදරයෝ නේද? ඉතින් ඇයි මේ වගේ අසාධාරණ විදිහට එකිනෙකාට සලකන්නේ’ කියා ඇසුවා.+ 27  නමුත් තමා සමඟ සිටි තැනැත්තාට අසාධාරණ ලෙස සලකමින් සිටි පුද්ගලයා, මෝසෙස්ව පැත්තකට තල්ලු කර මෙසේ ඇසුවා. ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා හැටියට ඔබව පත් කළේ කවුද?+ 28  ඔබ ඊයේ ඊජිප්තු ජාතිකයාව මරා දැමූ විදිහට අද මාවත් මරා දමන්නද හදන්නේ?’+ 29  ඒ කතාව අසා බියට පත් වූ මෝසෙස් එතැනින් පලා ගියා. පසුව ඔහු මිදියන් දේශයට ඇවිත් එහි විදේශිකයෙකු ලෙස ජීවත් වෙමින්+ දරුවන් දෙදෙනෙකුගේ පියෙක් බවටත් පත් වුණා.+ 30  “එහි අවුරුදු හතළිහක් ජීවත් වූ පසු මෝසෙස් සීනයි කන්ද අවට පාළුකරයෙහි සිටියදී එහි තිබූ කටු පඳුරක් ගිනි ගත්තා. එහි දේවදූතයෙක් සිටිනවා ඔහු දැක්කා.+ 31  පුදුමයට පත් ඔහු,+ සිදු වන දේ ගැන සොයා බැලීමට එතැනට ළං වූ විට ඔහුට ඇසුණේ යෙහෝවා දෙවිගේ කටහඬයි. 32  ‘ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි මමය. ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේද දෙවිත් මමය’+ කියා දෙවි පැවසුවා. එය අසා මෝසෙස් කොතරම් බියට පත් වුණාද කිවහොත් ඒ ගැන තවත් සොයා බලන්න ඔහු තුළ ධෛර්යයක් තිබුණේ නැහැ. 33  එවිට යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබ සිටගෙන සිටින්නේ ශුද්ධ භූමියකයි. ඒ නිසා ඔබේ පාවහන් ගලවන්න.+ 34  ඊජිප්තුවේ සිටින මගේ සෙනඟට මුහුණ දෙන්න සිදු වන අසාධාරණකම් මම දුටුවෙමි.+ ඔවුන් සුසුම්ලන ආකාරයත් මට ඇසිණ.+ එමනිසා මම ඔවුන්ව ගලවාගන්නෙමි.+ ඒ සඳහා මම දැන් ඔබව ඊජිප්තුවට යවන්නෙමි.’+ 35  නමුත් ඊට කලින් ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කරමින්, ‘ඔබව අපේ පාලකයා හා විනිශ්චයකාරයා හැටියට පත් කළේ කවුද’+ කියා ප්‍රශ්න කර තිබුණා. ඒ මෝසෙස්වම තමයි දෙවි ඔවුන් වෙනුවෙන් පාලකයෙක් හා මිදුම්කරුවෙක් හැටියට ඔවුන් ළඟට යැව්වේ.+ ඔහුට ඒ පැවරුම ලැබුණේ කටු පඳුරේ ඔහු ඉදිරියේ පෙනී සිටි දේවදූතයා මාර්ගයෙනුයි. 36  ඒ මිනිසා ඊජිප්තුවේදීත්+ රතු මුහුදේදීත්+ ඒ වගේම අවුරුදු හතළිහක් පුරා පාළුකරයේ සැරිසරද්දීත්+ බොහෝ පුදුම දේවල් සහ ආශ්චර්යයන් සිදු කරමින් ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නුවා.+ 37  “‘දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘවරයෙකුව පත් කරයි’+ කියා ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ ඒ මෝසෙස්මයි. 38  ඊශ්‍රායෙල් සෙනඟ සමඟ+ පාළුකරයෙහි සිටියේ ඔහුයි.+ සීනයි කන්දේදී දේවදූතයා සමඟත්+ සිටියේ ඔහුයි. දේවදූතයා ඔහුට කතා කළ පසු මෝසෙස් අපේ මුතුන්මිත්තන් සමඟ ඒ තොරතුරු බෙදාගත්තා. ඒ වගේම ඔබට ලබා දීම සඳහා දෙවිගේ ශුද්ධ පණිවිඩය භාර දුන්නෙත් ඔහුටයි.+ 39  නමුත් ඔහුට කීකරු වෙන්න අකමැති වූ අපේ මුතුන්මිත්තන් ඔහුව ප්‍රතික්ෂේප කර+ නැවත ඊජිප්තුවට යන්න සිතා,+ 40  ‘ඊජිප්තු දේශයෙන් අපිව පිටතට ගෙනා මෝසෙස්ට මොනවා වුණාද කියා අපි දන්නේ නැහැ.+ අපට මඟ පෙන්වන්න කවුරු හරි අවශ්‍යයි. ඒ සඳහා දෙවිවරුන්ව අපට සාදා දෙන්න’ කියා ආරොන්ට පැවසුවා. 41  ඔවුන් ඒ අවස්ථාවේදී වස්සෙක් සාදා,+ ඒ රූපයට පූජාවක් ඔප්පු කරමින් තමන් සෑදූ ඒ රූපය ඉදිරියේ විනෝද වුණා.+ 42  දෙවි ඔවුන්ගෙන් ඉවත් වී ඉර සඳ හා තාරකාවන්ට නමස්කාර කරන්න ඔවුන්ට ඉඩහැරියා.+ ඇත්තටම ඒ ගැන අනාගතවක්තෘවරුන්ගේ පොතේ සඳහන් වන්නේ මෙසේයි.+ ‘ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ පාළුකරයේ ගෙවූ අවුරුදු හතළිහ පුරා සත්ව පූජා හා වෙනත් පූජා ඔප්පු කළේ මට නොවේ.+ 43  ඒ වෙනුවට ඔබ යන යන තැන රැගෙන ගියේ මෝලොක්ගේ කූඩාරම+ හා රේෆන් දෙවියාගේ තාරකාවයි.+ නමස්කාරය සඳහා ඔබ සාදාගත්තේ එම දෙවිවරුන්ගේ රූපයි. එහෙයින් මම ඔබව දුර ඈත පිහිටි බැබිලෝනියට පිටුවහල් කරන්නෙමි.’+ 44  “මීට අමතරව අපේ මුතුන්මිත්තන්ට පාළුකරයේදී දෙවිගේ සාක්ෂි ඇතුළත් කූඩාරමක් තිබුණා. මෝසෙස් එය සෑදුවේ දෙවි ඔහුට පෙන්වා දුන් සැලැස්මට අනුවයි.+ 45  අපේ මුතුන්මිත්තන්ගේ දරුවනුත් එම කූඩාරම භාවිත කළා. ඉන්පසුව යොෂුවාගේ ප්‍රධානත්වයෙන්+ ඔවුන් වෙනත් ජාතීන්ට අයිති වී තිබූ මේ දේශයේ පදිංචි වීමට පැමිණි අතර+ දෙවි ඒ ජාතීන්ව අපේ මුතුන්මිත්තන්ගේ දරුවන් ඉදිරියේම පන්නා දැමුවා.+ ඔවුන් මෙහි පදිංචි වෙද්දී ඒ කුඩාරමත් මේ දේශයට රැගෙන ආවා. ඒ කූඩාරම දාවිත්ගේ කාලය දක්වාම භාවිතයට ගත්තා. 46  දාවිත්ට දෙවිගේ අනුමැතිය ලැබුණු නිසා+ යාකොබ්ගේ දෙවි වෙනුවෙන් වාසස්ථානයක්+ ගොඩනැඟීමේ වරප්‍රසාදය තමාට ලබා දෙන මෙන් ඔහු දෙවිගෙන් ඉල්ලා සිටියා. 47  නමුත් දෙවිට ගෘහයක් ගොඩනැඟුවේ සලමොන්.+ 48  ඒ වුණත් මහෝත්තම දෙවි මිනිසුන් සාදන ගෘහවල වාසය නොකරන බව අප මතක තබාගත යුතුයි.+ ඒ ගැන එක් අනාගතවක්තෘවරයෙක් පවසන්නේ මෙසේයි. 49  ‘ඔබ මා සඳහා සාදන්නේ කෙබඳු ගෘහයක්ද? එසේ නැතහොත් මට විවේක ගැනීමට ස්ථානයක් සාදන්නේ කොතැනද+ කියා යෙහෝවා දෙවි අසයි. මන්ද ස්වර්ගය මාගේ සිංහාසනයය.+ පොළොව මාගේ පා පුටුවය.+ 50  ඒ සෑම දෙයක්ම සෑදුවේ මාගේ දෑතින් නොවේද?’+ 51  “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්‍රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්‍රියා කළ විදිහටමයි.+ 52  ඔබේ මුතුන්මිත්තන් සෑම අනාගතවක්තෘවරයෙකුටම පීඩා කළා.+ ඇත්තෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැමිණීම ගැන කලින් දැන්වූ අයව+ මරා දැමුවා.+ දැන් ඔබ කළේ එම තැනැත්තාව පාවා දී මරා දැමීමයි.+ 53  දේවදූතයන් මාර්ගයෙන් ලබා දුන්+ නීතිය ඔබ භාරගත්තත් එය පිළිපදින්න ඔබ අපොහොසත් වුණා.” 54  ඒ දේවල් ඔවුන්ට ඇසුණු විට ඔවුන් තුළ කොතරම් කෝපයක් ඇති වූවාද+ කිවහොත් ඔවුහු ඔහුට විරුද්ධව කෝපයෙන් දත්මිටි කෑවෝය.+ 55  ඒ අවස්ථාවේදී ස්තේපන් තුළ දෙවිගේ බලය ප්‍රබල ලෙස ක්‍රියාත්මක විය. ඔහු අහස දෙස බැලූ විට දෙවිගේ තේජසත් දෙවිගේ දකුණු පැත්තේ යේසුස් සිටින ආකාරයත් දුටුවේය.+ 56  එවිට ඔහු, “මේ බලන්න! අහස* විවර වෙලා!+ මනුෂ්‍ය පුත්‍රයා+ දෙවිගේ දකුණු පැත්තේ සිටිනවා+ මට පේනවා” කියා කීවේය. 57  එය ඇසූ ඔවුහු සියලුදෙනාම මහත් ශබ්දයකින් කෑගසා, දෑත්වලින් තම කන් වසාගෙන,+ ඔහු වෙතට පැන, 58  ඔහුව අල්ලා නුවරින් පිටතට ඇදගෙන ගොස්+ ඔහුට ගල් ගසන්න පටන්ගත්තෝය.+ ඔහුට ගල් ගැසුවේ ඔහුට විරුද්ධව සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටි අයයි.+ ඔවුහු තමන්ගේ වස්ත්‍ර සාවුල් නම් තරුණයෙකුගේ පාමුල තැබූහ.+ 59  ඔවුන් දිගින් දිගටම ගල් ගසද්දී ස්තේපන් මහත් ඕනෑකමින්, “යේසුස් මගේ ස්වාමීනි, මගේ ජීවිතය ඔබට භාරයි”+ කියා පැවසුවේය. 60  ඉන්පසු ඔහු දණින් වැටී, “යෙහෝවා දෙවියනි, මේ පාපය සඳහා ඔවුන්ට දඬුවම් කරන්න එපා”+ කියා මහත් හඬින් කෑගැසුවේය. එසේ පවසමින් ඔහු මිය ගියේය.

පාදසටහන්

මූ.අ., “ඔබට ඇත්තේ චර්මච්ඡේදනය නොවූ සිත් සහ කන්.”
හෝ, “ස්වර්ගය.”