Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලනයට සම්බන්ධ නොවන්නේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලනයට සම්බන්ධ නොවන්නේ ඇයි?

 බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට එකඟව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රියා කරන නිසා දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැහැ. යම් දේවල් වෙනස් කරන්න කියලා හෝ යමක් කරන්න කියලා දේශපාලන තනතුරු හොබවන අයට අපි බලපෑම් කරන්නේ නැහැ. දේශපාලන පක්ෂයක් පත් කරගන්න හෝ දේශපාලනඥයෙක් පත් කරගන්න ඡන්ද දාන්නෙත් නැහැ. ඒ වගේම දේශපාලනයට සම්බන්ධ කිසිම තනතුරක් දරන්නෙත් නැහැ. අපිට ඒ වගේ ස්ථාවරයක් ගන්න බයිබලය මත පදනම් හේතු තියෙනවා.

  •   අපි ආදර්ශයට ගන්නේ දේශපාලන තනතුරු ප්‍රතික්ෂේප කළ යේසුස්වයි. (යොහන් 6:15) “මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී” ඉන්න කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කියලා දුන්නා. දේශපාලනය හා සම්බන්ධ කාරණාවලදී පැති නොගෙන ඉන්න අවශ්‍යයි කියලා යේසුස් ඔවුන්ට පැහැදිලි කළා.—යොහන් 17:14, 16; 18:36; මාක් 12:13-17.

  •   අපි පක්ෂපාත වෙන්නේ දෙවිගේ රාජ්‍යයටයි. ඒ රාජ්‍යය සම්බන්ධයෙන් යේසුස් මෙහෙම කිව්වා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.” (මතෙව් 24:14) දේවරාජ්‍යයේ නියෝජිතයන් හැටියට ඒ රාජ්‍යය ගැන අනිත් අයට කියන්න අපි බැඳිලා ඉන්නවා. ඒ නිසා කිසිම රටක අඩුම තරමේ අපි ජීවත් වෙන රටේවත් දේශපාලනයට අපි සම්බන්ධ වෙන්නේ නැහැ.—2 කොරින්ති 5:20; එෆීස 6:20.

  •   දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති නිසා දේවරාජ්‍යය ගැන ශුභාරංචිය අපිට නිදහසේ ඕනෑම කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මිනිසුන් අද්දකින සියලුම ප්‍රශ්න ගැටලුවලට විසඳුම ගේන්න හැකියාව තියෙන්නේ දේවරාජ්‍යයට විතරක් කියලත් අපි විශ්වාස කරනවා. ඒ බව අපේ කතාවෙන් හා ක්‍රියාවෙන් පෙන්වනවා.—ගීතාවලිය 56:11.

  •   අපි අතරේ දේශපාලනික බෙදීම් නැති නිසා මුළු ලෝකයේම ඉන්න සාක්ෂිකරුවන් අතර එකමුතුකමක් තියෙනවා. (කොලොස්සි 3:14; 1 පේතෘස් 2:17) ඒත් දේශපාලනයට සම්බන්ධ ආගම්වල ඉන්න සාමාජිකයන් අතර බෙදීම් තියෙනවා.—1 කොරින්ති 1:10.

 ආණ්ඩුවලට යටත් වෙනවා. අපි දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැති වුණත් පවතින ආණ්ඩුවට කීකරු වෙනවා. බයිබලයෙත් අපිට මෙහෙම කියලා තියෙනවා. “සියලුදෙනාම උසස් බලධාරීන්ට යටත් විය යුතුයි.” (රෝම 13:1) අපි රජයේ නීතිවලට කීකරු වෙනවා. බදු ගෙවනවා. ඒ විතරක් නෙමෙයි මහජනයාගේ ශුභ සිද්ධිය තකා රජයෙන් ගන්න පියවරවලටත් සහයෝගය දෙනවා. අපි ආණ්ඩු පෙරළන්න ක්‍රියා කරනවා වෙනුවට බයිබලයේ උනන්දු කරලා තියෙන විදිහට “රජවරුන් සහ උසස් නිලතල දරන” අය වෙනුවෙන් යාච්ඤා කරනවා. අපි එහෙම කරන්නේ විශේෂයෙන්ම අපේ නමස්කාරයට බාධා ඇති වෙන්න පුළුවන් අවස්ථාවලදියි.—1 තිමෝති 2:1, 2.දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අනිත් අය ගන්න තීරණවලට අපි බලපෑම් කරන්නේ නැහැ. උදාහරණයකට අපි ඡන්ද වැඩකටයුතුවලටවත් ඡන්ද දායකයන්ටවත් බාධා කරන්නේ නැහැ.

 අපි දේශපාලන පැති නොගන්නේ මෑතක ඉඳලද? නැහැ. පළවෙනි සියවසේ හිටිය පාවුල් හා වෙනත් ක්‍රිස්තියානීන්ද ක්‍රියා කළේ එහෙමයි. එක් පොතක සඳහන් වෙන්නේ “තමන් ආණ්ඩුවලට ගරු කළ යුතු බව එදා සිටි ක්‍රිස්තියානීන් අවබෝධ කරගෙන සිටියත් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම වැරදි බව ඔවුන් දැන සිටියා” කියලයි. (Beyond Good Intentions) තවත් පොතකත් කියන්නේ මුල් ක්‍රිස්තියානීන් “දේශපාලන නිලතල දැරුවේ නැහැ” කියලයි.—On the Road to Civilization.

 අපි දේශපාලන පැති නොගන්න එක රජයට තර්ජනයක්ද? නැහැ. අපි සාමයට කැමති සෙනඟක් නිසා අපි ගැන බය වෙන්න ආණ්ඩුවලට කිසිම හේතුවක් නැහැ. යුක්රේනයේ 2001දී ඉදිරිපත් කළ වාර්තාවක (National Academy of Sciences) අපි දේශපාලනය සම්බන්ධයෙන් පැති නොගන්න එක ගැන මෙහෙම කියලා තිබුණා. “යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ගේ මේ ස්ථාවරය ගැන සමහරුන් අකමැති වෙන්න පුළුවන්. නාට්සි මෙන්ම කොමියුනිස්ට් දරුණු පාලනයන් පැවති කාලවලදී පීඩා විඳින්න සිදු වුණේ ඔවුන්ගේ ඒ ස්ථාවරය නිසයි.” පසු කාලයේ සෝවියට් පාලන සමයේදිත් සාක්ෂිකරුවන් පීඩාවලට මුහුණ දුන්නත් ඔවුන් “නීතිගරුක පුරවැසියන් වුණා. ඔවුන් ගොවිපොළවල්වල හා කර්මාන්තශාලාවල අවංකව හා පරාර්ථකාමීව වැඩ කළා. ඔවුන් කොමියුනිස්ට් පාලනයට කිසිම දවසක තර්ජනයක් වුණේ නැහැ.” අද දවසෙත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් හා ඔවුන්ගේ නමස්කාරයට අදාළ ක්‍රියා “කිසිම රටකට තර්ජනයක් නෙමෙයි” කියලා එම වාර්තාවේ සඳහන් වෙනවා.