Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලේ ගන්නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලේ ගන්නැත්තේ ඇයි?

වැරදි මත කීපයක්

 සමහරු හිතන්නේ මෙහෙමයි: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ගන්නෙවත් බෙහෙත් ගන්නෙවත් නැහැ.

 ඇත්ත මේකයි: අපි නිතරම උත්සාහ කරන්නේ අපිටත් අපේ පවුල්වල අයටත් හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නයි. ඒ නිසා රුධිර ප්‍රවේශනයක් ලබා නොදී සැත්කම් හෝ ප්‍රතිකාර කරන්න හැකියාව තියෙන වෛද්‍යවරයෙක් ළඟට යන්න අපි කැමතියි. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක සොයාගෙන තියෙන අලුත් ප්‍රතිකාර ක්‍රම අපිට හුඟක් වටිනවා. රුධිර ප්‍රවේශන වෙනුවට සාක්ෂිකරුවන් ලබාගත් වෙනත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හුඟක් සාර්ථක නිසා මේ වෙද්දී වෙන අයටත් ඒ ප්‍රතිකාර ලබා දෙන්න වෛද්‍යවරුන්ට හැකි වෙලා තියෙනවා. රුධිර ප්‍රවේශනයක් ලබාගද්දී සමහර රෝග වැලඳෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ශරීරයට ඇතුල් කරන රුධිරය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඔරොත්තු නොදෙන්නත් පුළුවන්. රුධිර ප්‍රවේශන ලබා දෙද්දී සිද්ධ වෙන්න පුළුවන් අත්වැරදි නිසාත් රෝගියෙකුට ඒක අහිතකර විදිහට බලපාන්න ඉඩ තියෙනවා. ඒ වගේ හේතු නිසා සමහර රටවල රුධිර ප්‍රවේශනයන් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය රෝගීන්ට දීලා තියෙනවා.

 සමහරු හිතන්නේ මෙහෙමයි: ප්‍රතිකාර නැතුව විශ්වාසයෙන් (ඇදහිල්ලෙන්) ලෙඩ සනීප කරගන්න පුළුවන් කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා.

 ඇත්ත මේකයි: අපි ඇදහිල්ලෙන් ලෙඩ සුව වෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ.

 සමහරු හිතන්නේ මෙහෙමයි: රුධිරය ගන්නැතුව කරන වෙනත් ප්‍රතිකාරවලට ගොඩක් සල්ලි යනවා.

 ඇත්ත මේකයි: රුධිරය ගන්නැතුව කරන වෙනත් ප්‍රතිකාරවලින් සල්ලි ඉතුරු කරගන්න පුළුවන්. a

 සමහරු හිතන්නේ මෙහෙමයි: ලේ ගන්නැති සාක්ෂිකරුවන් හා ඒ අයගේ දරුවන් හුඟදෙනෙක් හැම අවුරුද්දකම මැරෙනවා.

 ඇත්ත මේකයි: ඒ ප්‍රකාශයට කිසිම පදනමක් නැහැ. ශල්‍ය වෛද්‍යවරුන් රෝගීන්ට රුධිරය ලබා දෙන්නැතුව හදවත් සැත්කම්, අස්ථි හා පේෂි සම්බන්ධ සැත්කම් හා ඉන්ද්‍රියයන් බද්ධ කිරීම් වගේ හුඟක් සංකීර්ණ සැත්කම් කරනවා. b රුධිරය ලබාගන්නේ නැතුව ඒ වගේ බරපතළ සැත්කම්වලට භාජනය වන වැඩිහිටියන් සහ දරුවන් සාමාන්‍යයෙන් රුධිරය ලබාගෙන සැත්කම් කරන අය වගේම සුවය ලබනවා. සමහර අවස්ථාවලදී රුධිරය අරන් සැත්කම් කරන අයට වඩා රුධිරය නැතුව සැත්කම් කරන අය ඉක්මනින් සුව වෙන අවස්ථාත් තියෙනවා. c ඒ මොනවා වුණත් රුධිරය ගත්තොත් රෝගියෙක්ගේ ජීවිතය බේරෙයි කියලවත් රුධිරය ගත්තේ නැත්නම් එයා මැරෙයි කියලවත් කියන්න කිසිම පදනමක් නැහැ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලේ ගන්නැත්තේ ඇයි?

 බයිබලයේ පැරණි ගිවිසුමේ හා අලුත් ගිවිසුමේ පැහැදිලිව දෙවියන් සඳහන් කරලා තියෙනවා රුධිරයෙන් වළකින්න කියලා. (උත්පත්ති 9:4; ලෙවී කතාව 17:10; ද්විතීය කතාව 12:23; ක්‍රියා 15:28, 29) ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට අපි ලේ ගන්නේ නැත්තේ වෛද්‍යමය හේතුවකට වඩා ඒක අපේ ආගමික විශ්වාසයක් නිසයි. ජීවිතය රැඳිලා තියෙන්නේ ලේවලයි කියලා යෙහෝවා දෙවියන් කියලා තියෙනවා. (ලෙවී කතාව 17:14) ඒ නිසා ලේ ගන්නැති එකෙන් දෙවිට අපේ කීකරුකම පෙන්නන්නත් අපට ජීවිතය දුන්න කෙනා හැටියට ඔහුට අපි ගෞරව කරනවා කියලා පෙන්නන්නත් පුළුවන්.

වෛද්‍යවරුන් හිතපු විදිහ වෙනස් වෙයි!

ලේ ගන්නැතුව බරපතළ සැත්කම් සාර්ථකව කරන්න පුළුවන්

 යම් කාලයකට කලින් වෛද්‍ය ක්ෂේත්‍රයේ හිටපු අය හිතුවේ ලේ ගන්නැතුව වෙනත් ප්‍රතිකාර කරන එක සියදිවි හානි කරගන්නවා වගේ හරිම භයානක දෙයක් කියලයි. ඒත් කාලයත් එක්කම ඒ අදහස දැන් වෙනස් වෙලා. උදාහරණයකට 2004දී පළ වුණු වෛද්‍ය පොතක මෙහෙම සඳහන් වුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ප්‍රතිකාර කරන්න අනුගමනය කරපු සමහර ක්‍රමවේදයන් ඉදිරි අවුරුදු කිහිපයේදී සම්මත ප්‍රතිකාර ක්‍රම බවට පත් වෙයි.” d වර්ෂ 2010දී පළ වුණු වෛද්‍ය පොතක මෙහෙමත් සඳහන් වුණා. “රුධිරය නැතුව සැත්කම් කරන්න ඕනේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විතරක් නෙමෙයි. ශල්‍ය වෛද්‍යවරුන්ට හැම සැත්කමක්ම රුධිරය නැතුව කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.”—Heart, Lung and Circulation.

 බොහෝ රටවල ඉන්න වෛද්‍යවරු හුඟදෙනෙක් බරපතළ සැත්කම් කරද්දී ලේ නොදී ඒ වෙනුවට රෝගියාගේ රුධිරය අපතේ යෑම අවම කරන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා. දියුණු වෙමින් තියෙන රටවල ඉන්න වෛද්‍යවරුන් පවා දැන් ඒ ක්‍රම අනුගමනය කරන්න කැමතියි. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොවන අයත් ලේ නැතුව සැත්කම් කරන්න කැමැත්තෙන් ඉන්නවා.

a වැඩි විස්තර දැනගන්න Transfusion and Apheresis Science, Volume 33, No. 3, p. 349 බලන්න.

b The Journal of Thoracic and Cardiovascular Surgery, Volume 134, No. 2, pp. 287-288,Texas Heart Institute Journal, Volume 38, No. 5, p. 563, Basics of Blood Management, p. 2 සහ Continuing Education in Anaesthesia, Critical Care & Pain, Volume 4, No. 2, p. 39 බලන්න.

c The Journal of Thoracic and Cardiovascular Surgery, Volume 89, No. 6, p. 918 සහ Heart, Lung and Circulation, Volume 19, p. 658 බලන්න.

d Continuing Education in Anaesthesia, Critical Care & Pain, Volume 4, No. 2, page 39 බලන්න.